[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවා රැය දැල්වී සමාජයක් දවාලන ගින්න

දිවා රැය දැල්වී සමාජයක් දවාලන ගින්න

" ස්වභාවික ගින්නක දුම හා ගිනිදැල් දැකිය හැකි අතර, රාගය ගින්නක් හා දුමක් නැතිව කවර මොහොතක කවර තැනකදි වුව පුද්ගල තරාතිරම නොසලකා සන්තානගත ව දැල්වේ. බාහිරින් එන අරමුණු මඟින් ලැබෙන උත්තේජනය මඟින් එය අඛණ්ඩ ව දැල්වෙනු ඇත."

බුදුරදුන්ගේ උපමා කෞශල්‍ය ඤාණය විශ්මය ජනකය. තමන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු දහම විවිධ පුද්ගලයන්ට දේශනා කිරීමේ දී ඔවුන්ගේ වෘත්තිය, ජීවත්වන පරිසරය, හැඟීම් හා ආකල්ප අනුව එයට යෝග්‍ය විවිධ විසිතුරු උපමා භාවිතකොට ඇති අයුරු සූත්‍ර දේශනා මඟින් ප්‍රකට වේ.

අසීරු උවදුරු සතරකට මැදි වූ මිනිසා චිත්තාකර්ශනීය උපමා ඇතුළත් ධම්මපද ගාථා කියවන්නෙකුට මෙය මැනවින් පසක් වේ. ධම්මපදයේ මල වග්ගයේ ඇතුළත් දහහත්වන ගාථාවෙහි ප්‍රබල අකුසල සහගත චිත්තවේග හතරක් පිළිබඳ කරුණු ඇතුළත් වේ.

ඒ අනුව

රාගය හා සමාන ගින්නක් නැත (නත්ථි රාග සමො අග්ගි).

ද්වේෂය හා සමාන වූ ග්‍රහණයක් නොමැත (නත්ථි දොස සමො ගහො).

මෝහය හා සමාන දැලක් නොමැත (නත්ථි මොහසමං ජාලං).

තෘෂ්ණාව හා සමාන නදියක් නොමැත (නත්ථි තණ්හාසමා නදී).

අතිශය ගැඹුරුවූත්, ප්‍රබලවූත්, සසර දුක නිර්මාණය කිරීමට මුල්වන්නාවූත්, අකුසල සහගත චිත්තවේග හතරක පවතින යථා ස්වභාවය එය පැහැදිලි කිරීම සඳහා යොදාගත් උපමා මඟින් අනාවරණය වේ.

ලොව විවිධ වර්ගයේ ගිනි දක්නට ලැබේ. ඒ සියලුම ගිනි සන්තානගත රාගය නැමැති ගින්න හා සමාන කළ නො හැකි ය. රාගය ගින්නක් හා උපමා කිරීමෙන් එහි ප්‍රබලත්වය සනාථ වේ.

සන්තානගත රාගය පුද්ගලයාගේ සියොළගම දවාලමින් සෙසු පුද්ගලයන් කරාද ගමන් කරයි. රාගයෙන් රත්වූ මිනිසා තමාගේ මෙන්ම අන්‍යයන්ගේ අයහපත පිණිස සිතන අයුරු වෙනත් සුත්‍ර දේශනාවක ඇතුළත් වේ. රාගය සහජ චිත්තවේගයකි. එය ඇතිවන්නේ ෂඩ් ඉන්ද්‍රියන්ට ගෝචරවන ආරම්මණ ඇසුරෙන් ය.

රාගය ගින්නක් වන හැටි

මෙසේ ඇතිවන රාගය සන්තර්පණය කරගැනීම හෝ ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයා විවිධ ක්‍රම භාවිත කරයි. ඒ ක්‍රම සාධාරණ යුක්තිසහගත ඒවා විය හැකි මෙන් ම අසාධාරණ අයුක්තිසහගත ක්‍රම විය හැකිය. රාගය ගින්නක් බවට පත්වන්නේ එය පාලනය කර ගැනීමට හෝ කළමණාකරනය කර ගැනීමට නොහැකි වූ විටෙක ය. රාග ගින්න හා සම්බන්ධ ලිංගික රාගය මිනිසා දැවෙන ප්‍රබල ම ගින්න වේ. එම ගින්නෙන් දැවීමට වයස් භේදයක් නොමැත.

එසේම එය සියලු සදාචාර සීමාවන් හා යුක්ති ධර්ම දවාලමින් දිවා රැය දැල් වී පුද්ගලයා මෙන්ම සමාජයත් දවාලයි. රාග ගින්නට හසුවී දැවී ගිය පුද්ගලයන් පිළිබඳ කොතෙකුත් නිදසුන් සොයා සපයා ගත හැකිය.

ස්වභාවික ගින්නක දුම හා ගිනිදැල් දැකිය හැකි අතර, රාගය ගින්නක් හා දුමක් නැතිව කවර මොහොතක කවර තැනකදි වුව පුද්ගල තරාතිරම නොසලකා සන්තානගත ව දැල්වේ. බාහිරින් එන අරමුණු මඟින් ලැබෙන උත්තේජනය මඟින් එය අඛණ්ඩ ව දැල්වෙනු ඇත.

පුද්ගලයා විවිධ ග්‍රහණයන්ට හසුවේ. බොහෝවිට එම ග්‍රහණයන් බාහිර ඒවා විය හැකිය. එහෙත් බුදුරදුන් වදාළ පරිදි සන්තානගත ද්වේශය තරම් ප්‍රබල ග්‍රහණයක් ලොව නොමැත. බාහිර වශයෙන් ඇතිවෙන විවිධ ග්‍රහණයන්ගෙන් විවිධ ක්‍රම මගින් නිදහස් විය හැකි ය. එහෙත් ද්වේෂය නැමැති අකුසල චිත්තවේගය නිසා ඇතිවෙන ආධ්‍යාත්මික ග්‍රහණය මේ ජීවිතයෙන් ඔබ්බට ගොස් සසර පුරා බලපෑම් කරනු ඇත. එය නිර්වාණාවබෝධය තෙක් සසර දුක නිර්මාණය කිරීමට හේතු සාධක වේ.

ලොව ප්‍රබලම ග්‍රහණය

ඒ අනුව ද්වේෂය නැමැති සන්තානගත ග්‍රහණය ලොව ඇති ප්‍රබලම ග්‍රහණය වේ. ද්වේෂය මූලය කරගත් ව්‍යාපාදය, බද්ධ වෛරය, හා ඊර්ෂ්‍යාව විසින් සැම අතින්ම පුද්ගලයා ග්‍රහණයට ගනු ලැබේ.

මෝහය අවිද්‍යාව හෙවත් නො දැනීම හා සම්බන්ධ අකුසල මූලයකි. ධම්මපදය එය දැලකට උපමා කරයි. දැලෙක පැටලුණ ජීවියෙකුට එයින් ගැලවීමක් නොමැත. දැලෙන් මිදීම සඳහා ගන්නා සැම ප්‍රයත්නයක ද ීම තවදුරටත් එහිම පැටලෙනු මිස ගැලවීමක් නොමැත. මෝහය නැමති දැලෙහි පැටලුණ පුද්ගලයා තවදුරටත් අවිද්‍යාවේ ගොදුරක් බවට පත්වේ. ඔහුට හෝ ඇයට යථාර්ථය දැකිය නොහැකි ය.

මෝහය පලවාහල ප්‍රඥාව මිනිසාට ඇති රත්නයක් බවත් (පඤ්ඤානරානං රතනං) ප්‍රඥා සම්පන්න ජීවිතය වඩාත් උතුම් ම ජීවිතය යැයි (පඤ්ඤාජීවං ජීවිතමාහු සෙට්ඨං) යනුවෙන් දේශනා කළෙත් මේ නිසා බව පැහැදිලි ය. බුදුරදුන්ගේ ධර්මයේ ඒකායන අරමුණ ප්‍රඥාව සාක්‍ෂාත් කිරීම ය.

ඉහතින් දැක්වූ රාග, දෝස, මෝහ යනු අකුසල මූලයන් ය. පුද්ගලයා විසින් සිදුකරනු ලබන දස අකුසල ක්‍රියාවන්ට මූලික පදනම සැපයෙන්නේ එම අකුසල මූලයන්ගෙනි. රාගය ගින්නක් හා සමය. ද්වේෂය ග්‍රහණයකට, නැතහොත් බන්ධනයකට හසුවීමක් බඳුය. මෝහය දැලක පැටලීමක් බඳුය. බුදුරදුන් වදාළ මෙම උපමාවන්ගෙන් එම අකුසල ධර්මයන්ගේ යථා ස්වභාවය පැහැදිලි වේ.

අඛණ්ඩව ගලා බසින නදිය

ධම්මපද ගාථාවේ දැක්වෙන සිව්වන පාදය අනුව තෘෂ්ණාව හා සමාන නදියක් නොමැත. කුඩා දිය පහරවල් එක්වීමෙන් සෑදෙන ගංගාව හෙවත් නදිය නො නැවතී වේගයෙන් ගලා බසියි. ස්වභාවික නදිය හෝ ගංගාව දිය උල්පත් සිඳීමෙන් හෝ නියඟය හේතුවෙන් නැවතිය හැකි ය. නැතහොත් එහි වේගය දුබල විය හැකි ය. එහෙත් බුදුරදුන් වදාළ තෘෂ්ණා නදිය අඛණ්ඩව ගලා බසියි. පුහුදුන් මිනිසා නිරන්තරයෙන් ම එහි සැඩ පහර විසින් ගසාගෙන යනු ලැබේ. බුදුරදුන් වදාළ පරිදි අග මුල සෙවිය නොහැකි සංසාරය පුරා එය ගලාගෙන යයි. එහි සැඩ පහරට හසු නොවූ කිසිවෙකුත් සිටිය නොහැකි ය. ඒ අනුව සියලු දුකට මූල හේතුව වන තෘෂ්ණාව ද අඛණ්ඩ ව ක්‍රියාත්මක වේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් වර්ගීකරණය කොට ඇති එය සියලු දුක්ඛ දෝමනස්සයන්ගේ මූල හේතුව වේ.

එසේම තෘෂ්ණාව ශෝකය මෙන්ම බිය ජනිත කරන්නකි (තණ්හාය ජායති සොකො තණ්හාය ජායති බයං). ලොව සියල්ලෝ ම තෘෂ්ණාවේ දාසයන් හෝ වහලුන් බවට පත්ව සිටිති (තණ්හා දාසො). සන්තානගත තෘෂ්ණා වැල අඛණ්ඩව වර්ධනය වෙමින් ලෝක සත්වයා වෙලාගෙන තිබේ. තාක්‍ෂණය විසින් මෙහෙයවෙන වර්තමාන මිනිසා නිරන්තරයෙන් ම තෘෂ්ණාව විසින් උත්තේජනය කරනු ලැබේ. එබැවින් එහි බලපෑමෙන් මිදීමට ඔහුට හෝ ඇයට බෙහෙවින් අසීරු වී තිබේ. එයට හේතුව යට දක්වන ලද ත්‍රිවිධ තෘෂ්ණාව විසින් මෙහෙය වන හෙයිනි.

තෘෂ්ණාව හැඳීන්වීම පිණිස බුදුරදුන් විසින් යොදන ලද පරියාය පද රැසකි. එමෙන්ම උපමා රැසකි. එයින් පැහැදිලි වන්නේ එහි ස්වභාවය මෙන්ම ක්‍රියාකාරිත්වයේ විවිධත්වය යි. තෘෂ්ණාවෙන් මිදෙන ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. බුද්ධත්වයෙන් පසුව කළ පළමු දේශනයෙන් ම මෙය අවධාරණය කළ අයුරු ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. තෘෂ්ණාව මුලිනුපුටා දැමීමේ අග්‍රඵලය නිර්වාණයයි (තණ්හක්ඛයෝ නිබ්බානං).

ධම්මපද ගාථාවේ දැක්වෙන පරිදි පුහුදුන් මිනිසා ලොව කිසිදු ගින්නකට සමකළ නොහැකි රාග ගින්නෙන් නිරන්තරයෙන් ම දැවෙන අතර, ද්වේෂයේ ග්‍රහණයට හසුව දුක් විඳීයි. මෝහය හෙවත් අවිද්‍යාව නැමැති දැලෙහි නැවත නැවතත් පැටලී ඇති මිනිසාට අඛණ්ඩ ව ගලායන තෘෂ්ණා නදියෙන් ගොඩ ඒමට අවශ්‍ය ප්‍රඥාව නමැති උපාය හා ශක්තිය ගොඩනඟා ගැනීමට නොහැකිව තිබේ. ඒ අනුව වර්තමාන මිනිසා තමාට වැළකීමට ඉතා අසීරු වූ උවදුරු සතරකට මැදිව සිටී.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]