ඌවේ කුමාරසිංහ යුවරජ දවස ඉදි වූ
පාලුගම සුභද්‍රාරාම මහා විහාරය
මොරටුව විශ්ව විද්‍යාලයේ
කථිකාචාර්ය විද්‍යාපති,
ඉංජිනේරු
දිමුතු පුන්සර කොළඹගේ
සියම් මහ නිකායේ ඌව පාර්ශ්වයේ මූලස්ථානය ලෙසින් සම්භාවනාවට පත්වන පාලුගම ශ්‍රී
සුභද්‍රාරාම මහා විහාරය ඌව පළාතේ උඩුකිඳ උඩපළාත කෝරළයට අයත් සීමාවේ මහනුවර මඩකලපුව
මහා මාර්ගයේ හැටවන සැතපුම් කණුව ආසන්නයේ කැප්පෙටිපොල නගරයට සැතපුම් කාලක දුරකින්
පාලුගම ග්‍රාමයේ පිහිටා ඇත.
සෙංකඩගලපුර රජ කළ සෙනරත් රජු උඩරට රාජධානිය කොටස් තුනකට බෙදා රාජසිංහ, විජයපාල හා
කුමාරසිංහ යන පුතුන් තිදෙනා වෙත බෙදා දුන් බවත්, ඒ අනුව උඩුනුවර, යටිනුවර, දුම්බර,
හේවාහැට හා හාරිස්පත්තුව යන කන්ද උඩ පස් රට රාජසිංහ කුමරුන්ටත්, මාතලේ ප්‍රදේශය
විජයපාල කුමරුන්ටත්, ඌව වෙල්ලස්ස කුමාරසිංහ කුමරුන්ටත් හිමි වූ බව කියැවේ.
සෙනරත් රජු ඇවෑමෙන් කන්ද උඩ පස් රට පාලනය කළ රාජසිංහ කුමරුන් දෙවන රාජසිංහ නමින්
රාජ්‍යත්වයට පත්විය. කුමාරසිංහ කුමරුන් ඌව ප්‍රදේශය පාලනය කරන අවධියෙහි කිසියම්
සැදැහැවතෙකු විසින් මෙම විහාරස්ථානය ආරම්භ කරන ලද බව සඳහන් වෙයි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය වන විට නටබුන් ව පැවති මෙම විහාරයට පුනර්ජීවනය ලබා
දෙන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් උදා කළ ධර්ම
ශාස්ත්‍රාලෝකය ඌව වෙල්ලස්ස කරා පැතිර වූ කොකුන්නෑවේ සංඝකීර්ති මා හිමියන්ගේ
ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙනි. වර්ෂ 1818 නිදහස් සටන මැඩලීමට ඉංග්‍රීසීන් සිදු කළ මහා
සංහාරය නිසාවෙන් මෙම ප්‍රදේශයේ සමෘද්ධිමත්භාවය වියැකී යාම විහාරස්ථානයේ දියුණුවට
බාධාවක් විය.
ශ්‍රී ධර්මකීර්ති මා හිමියන්ගේ ශිෂ්‍ය වූ බණ්ඩිගොඩේ නිග්‍රෝධ හිමියන්ගේ ශිෂ්‍ය
හිමිවරුන් වූ රත්තනේ හිමි, අඹේවෙල දේවරක්ඛිත හිමි සහ දිගනේතැන්නේ සුමංගල හිමියන්
පරපුරෙන් පරපුරට මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස කැප වූහ. මාලිගාකන්දේ විද්‍යොදය
පිරිවෙනේ මුල්ම ශිෂ්‍ය හිමිනමක වූ පාලුගම සුභද්‍රාරාමාධිපති, ඌව මහ දිසාවේ ප්‍රධාන
සංඝනායක දිගනේතැන්නේ සුමංගල මා හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ දිවිතොටවෙල බුද්ධප්පිය
හිමියන් ද විද්‍යොදය පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍රෝද් ග්‍රහණය සිදු කොට බදුල්ලේ
විද්‍යොත්තංස පිරුවන ආරම්භ කළ අතර, තෘතීය ශිෂ්‍ය වූ බොරගොල්ලේ සෝමානන්ද නා හිමියන්
පාලුගම සුභද්‍රාරාමයෙහි නූතන නවෝදයට කැප වූහ.
|
|
විහාරාධිපති
අඹේවෙල
පඤ්ඤාසාර මහ නාහිමි |
විහාරාධිකාරී
විල්ඔය
පඤ්ඤාතිලක හිමි |
මෙම ප්‍රදේශයෙහි ප්‍රාදේශීය නායකයකු වූ උනම්බුවේ නිළමේතුමන් විසින් 1808 වර්ෂයේ දී
නින්දගම් වශයෙන් ගොඩ සහ මඩ ඉඩම් පූජා කළ අතර 1862 වර්ෂයේ දී පාලුගම නිළමේතුමන්ගේ
මූලිකත්වයෙන් නටබුන් ව පැවති වෙහෙර වහන්සේගේ ප්‍රතිසංස්කරණ සහ නව විහාර මන්දිරයක්
තැනවීමේ කටයුතු ආරම්භ කරන ලදී. බොරගොල්ලේ ශ්‍රී සෝමානන්ද නාහිමියන් විසින් කාලයක්
පුරා ඉදිකිරීම් අවසන් නො වූ විහාර මන්දිරයේ කටයුතු නිමවා 1920 වර්ෂයේ දී නේත්‍ර
ප්‍රතිෂ්ඨාපන පින්කම් සිදු කොට ඉනික්බිති ව දෙමහල් ධර්ම ශාලාව, උපෝසථාගාරය, ඝණ්ඨා
ස්ථම්භය, දළදා මැඳුරේ පත්තිරිප්පුවේ ආකෘතිය සහිත පුස්තකාලය ඇතුළු විහාරාංග තැනවීය.
එම වකවානුවෙහි මෙම විහාරය කේන්ද්‍ර කොට ගනිමින් වාර්ෂික වෙසක් සහ පොසොන් පෙරහර
දෙකක් පැවති බව සඳහන් වෙයි.
මල්වතු මහාවිහාරයෙන් උඩුකිඳ වැල්ලවාය දෙ පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානිත
වූ බොරගොල්ලේ ශ්‍රී සෝමානන්ද නා හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ඌව ජිනශාසනෝපකාර
සමිතියෙහි කප්පියකාරකත්වයෙන් 1939 මාර්තු දෙවන දා කලබුළුලන්ද රජමහා විහාරයේ දී ඌව
ස්‍යාමවංශික නිකාය හෙවත් සියම් මහ නිකායේ ඌව පාර්ශ්වය ආරම්භ කරන ලදී. වාර්ෂික ව
පාලුගම සහ කලබුළුලන්ද විහාරස්ථානයන්හි එම සංඝ සභාවේ උපසම්පදා කටයුතු සිදු කරනු
ලැබේ.
බොරගොල්ලේ ශ්‍රී සෝමානන්ද නා හිමියන් ඌව ස්‍යාමවංශික නිකායේ ප්‍රථම මහානායක
පදවියෙන් පිදුම් ලද අතර, ඉන්පසු පිළිවෙළින් අඹේවෙල සාරානන්ද නා හිමි, ඌවේ සීලරතන
නාහිමි සහ පාලුගම සුමනසාර නා හිමිවරුන් මහානායක පදවි හෙබවූ පසු වර්තමානයේ අඹේවෙල
පඤ්ඤාසාර මහ නා හිමියෝ මහානායක පදවිය ශෝභමාන කරති.
ශ්‍රී සෝමානන්ද මහ නා හිමියන්ගේ ඇවෑමෙන් පාලුගම ජිනරතන හිමියන් විහාරාධිපතීත්වය ට
පත් වූ අතර, ඉන්පසු වර්තමාන ඌව ස්‍යාමවංශික නිකායේ මහානායක අග්ගමහා සද්ධම්මජෝතිකාධජ
අඹේවෙල පඤ්ඤාසාර මහ නා හිමිපාණන් වහන්සේ විහාරාධිපතීත්වය ද තත් ශිෂ්‍ය වැලිමඩ ගුරු
මධ්‍යස්ථානාධිපති, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, කථිකාචාර්ය, විල්ඔය පඤ්ඤාතිලක හිමියෝ
විහාරාධිකාරී පදවිය ද හොබවති.
තුම්බෝවිල සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ
ධර්මාචාර්ය, කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක, තුම්බෝවිල ධම්මරතන නා
හිමි, රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ ධර්මාචාර්ය කැන්දවින්නේ පඤ්ඤාසීල හිමි,
අමෙරිකාවේ ධර්ම ප්‍රචාරයේ නියුතු අඹේවෙල මහානාම හිමි, කැප්පෙටිපොල මහාවිද්‍යාලයේ
ධර්මාචාර්ය විල්ඔය අමිතසාර හිමි, අම්පාරේ පඤ්ඤාදස්සි හිමි, කැප්පෙටිපොල සාරානන්ද
හිමි, කැප්පෙටිපොල මේධානන්ද හිමි ඇතුළු හිමිවරුන් රැසක් මහ නා හිමියන්ගේ ශිෂ්‍ය
පිරිස අතර වෙති.
ඌව වෙල්ලස්සේ පාරිවේණික අධ්‍යාපන සම්ප්‍රදායට පුනර්ජීවය සපයනු වස් වර්ෂ 1955
අප්‍රේල් මස 28 වන දින මාලිගාකන්දේ විද්‍යොදය පරිවේණාධිපති බද්දේගම සිරි පියරතන නා
හිමියන් ලවා අත් පොත් තබවා පාලුගම සුමනසාර නා හිමියන්ගේ පරිවේණාධිපතීත්වයෙන් මෙම
විහාරස්ථානයේ ශ්‍රී සෝමානන්ද පිරිවෙන ආරම්භ කරන ලදී.
වත්මන් විහාරාධිපති මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ආරම්භ කළ කොළඹ දිස්ත්‍රික්කයේ
පිළියන්දල සුවාරපොල බුද්ධාලෝක විහාරය සහ කැප්පෙටිපොල තැන්නේ ශ්‍රී සෝමානන්ද
සංස්කෘතික මධ්‍යස්ථානය මෙම විහාරස්ථානයෙහි අනුබද්ධ විහාරස්ථාන ලෙස පවතී.
සීත කඳුකරයේ මනස්කාන්ත පරිසරයකින් හෙබි සිත් සනහාලන පෞරාණික පුදබිමක් ලෙස පාලුගම
සුභද්‍රාරාම මහා විහාරස්ථානය හඳුන්වා දිය හැකි ය. |