පිරිමිකම ගැහැනුකම තේරුම් ගන්න! එහි ගෞරවය සමස්තයටයි
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
" තමන් පළමුව
තමන් බවට පත්වී
ඒ මත සිතුම් පැතුම්
සකසා ගතයුතු ය.
එසේ නොවන විට බිහිවන්නේ
අවිචාරවත්
තාරුණ්‍යයකි."
ජීවිතයේ උද්යෝගීමත් කාල සීමාව තරුණ කාලයයි. ගත සිත තරුණ වීම තුළ ඕනෑම අභියෝගයක්
ජයග්‍රහණය කළ හැකි ය. සාමාන්‍යයෙන් තාරුණ්‍ය මනින්නේ වයසේ ස්වභාවය මත ය.
ඇතැම්විට ගත තරුණ, ඇතැම් තරුණ තරුණියන් සිතින් වයෝවෘද්ධ ය. අප ගෞතම බුදුරදුන්
බුද්ධත්වයට පත්වූයේ තරුණයකු ලෙස ය. සිදුහත් බෝසතුන් හොඳ කඩවසම් අර්ථ සම්පන්න
තරුණයෙකි.එපමණක් නොව තරුණ ශ්‍රමණ කණ්ඩායම් සැකසූ තරුණ ශාස්තෘවරයෙකි.
උන්වහන්සේගේ කායික මානසික තරුණ බව තුන් ලොවටම අර්ථයක් සිදුකිරීමට තරම් පොහොසත් විය.
බුදුරදුන්ගේ සසුනෙහි මුල් අවස්ථාවේ පැවිදි වූ බොහෝ ශ්‍රාවකයන් නව යොවුන් වයසේ
තරුණයන් ය. භද්‍ර වයස අකාලයේ අඳුරට නොයවා තාරුණ්‍යයට ආලෝකයක් ලබාදුන් පිරිසකි.
ඇතැම් වයසක ශ්‍රමණ පිරිස් බුදුරදුන් වයසක ශාස්තෘන්ට පවා ගෞරව නොකරන බවට චෝදනා පවා
සිදුකළහ. එහිදී බුදුරදුන් දේශනා කළේ මේ ලෝකයෙහි වෘද්ධ නම් දහර භූමි යනුවෙන් භූමි
වර්ග දෙකක් ඇති බවය. වයසින් වැඩි වුව ද ක්‍රියාවන් අතින් බාල නම් ඔහු ළදරුවකු බවයි.
වයසින් අඩු වුව ද ක්‍රියාවන් තුළින් වැඩිහිටි නම් ගෞරවය ලැබිය යුත්තේ ක්‍රියාවන්
අතින් වැඩිහිටි තරුණයන්ට ය. බුදු දහම අගයන්නේ එවැනි තාරුණ්‍යයකි.
මඝ මානවක ආදර්ශවත් තරුණ නායකයෙක් ලෙස දෙලොව බැබළීමට පත්විය. ලෝක ඉතිහාසයේ පළමු
රාජ්‍ය නොවන සංවිධානය පිහිටු වන්නේ ඔහු විසිනි. මචලගමේ තවත් 33 දෙනකු සහභාගි
කරවාගෙන මහත් සමාජ වැඩදායක කාර්යයන්, පරාර්ථ චර්යාවන් රාශියක් සිදු කළහ. එහි
ප්‍රතිඵල ලෙස ‘සක්‍ර’ පදවිය ලැබීමට සුදුසු විය. ‘සක්ක’ යනු සකසා පින්කිරීම ය.
තරුණයන් ලෙස සකසා කටයුතු සිදු කිරීම අවශ්‍ය ය.
වර්තමානයේ තාරුණ්‍යය කාලයක සිට මුහුණ දෙන ප්‍රධාන ඛේදවාචකය වරින් වර වැඩිහිටියන්
විසින් මුළාවට පත්කිරීමයි. විවිධ තරුණ නැඟිටීම් ඊට උදාහරණ සපයයි. සාමාන්‍යයෙන් ජන
වහරෙහි පැවසෙන්නේ කුඩා කල මෝඩකම් කරයි. තරුණ කළ විප්ලව සිදුකරන අතර මහලු වියෙහි
පසුතැවෙන බවත් ය. සෑම පුද්ගලයකු ම අකාලේ මිය නොයන්නේ නම්, මේ අවස්ථාවන් තිබේ.
මීට කලකට පෙර තාරුණ්‍යය, අද වයෝවෘද්ධ ය. අද දවසේ කීයෙන් කී දෙනකුට තම තරුණකම ගැන, ඒ
ශක්තිය පිළිබඳ සතුටු විය හැකි ද? එය බරපතළ ගැටලුවකි.
තාරුණ්‍ය යනු මත්වීම හෙවත් මාන්නය සකසා ගත යුතු අවධියක් නොවේ. එසේ මත්වන්නේ
ජීවිතාවබෝධය නැති පිරිස් ය. බුදුදහමට අනුව එය ‘යොබ්බන’ මදය ලෙස දැක්වේ. තරුණකම
නිවැරැදි ව හඳුනා නොගත් පිරිස් දෙලොවම අවැඩදායක කරගනී. සංස්කෘත සාහිත්‍යය එය
දක්වනුයේ මෙසේ ය.
යොවුන් බව, ධනවත්කම, පිළිගැනීම, නොසැලකිල්ල යන මින් එක් කාරණයක් තිබේ නම් ඔහු
විනාශයට පත් වේ. මේ කරුණු 4 ම තිබේ නම් කවර කතා ද?
මින් අදහස් වන්නේ තරුණකම අයහපත් බව නොවේ. නිවැරැදිව ක්‍රියාවේ නොයෙදන තාරුණ්‍යයයි.
අද දවසේ තාරුණ්‍යය හෙළා දැකීම සිදු නොකළ යුතු ය. ඔවුන් නිවැරදිව යෙදවීම කළ යුතු ය.
එසේ නොකොට විවේචනය පමණක්, සිදුකිරීම අයෝග්‍ය වේ. මන්ත්‍රයකට නොගන්නා අකුරුත් නැත.
ඖෂධයකට නොගන්නා මුලක් නැත. වැඩකට ගත නොහැකි මිනිසෙක් ද නැත. එහෙත් සුදුසු ලෙස මේ
සියල්ල භාවිතයට ගන්නවුන් ඉතාම අල්ප ය.
සාහිත්‍ය විස්තර කරන ඉහත කාරණය ලාංකේය තාරුණ්‍යයට ද පොදු ය. නිවසේ සිට නිවැරැදිව
ඔවුන් මෙහෙයවීම අවශ්‍යය. තරුණකමට ආසන්න ම වයස ළමා කාලයයි. එහිදී නැණවතුන් කරන්නට
ගන්නා උත්සාහයේ දී ගුණවතුන් කිරීමට ද යම් කාලයක් මිඩංගු කළ යුතු වේ.
මිනිසුන් ලෙස ලද මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනා බව පළමුකොට අවබෝධකර ගත යුතු වේ. එසේම අංග
සම්පූර්ණ ජීවිතය වැඩදායක ලෙස ගත කිරීම හා එහි ආනිසංස හඳුනාගැනීම අවශ්‍ය ය. භාවිත කළ
යුතු මේ ශරීරය අවභාවිතා කිරීමේ ආදීනව අතීත සහ වර්තමාන සිද්ධීන් තුළින් හඳුනාගත යුතු
ය. එසේ නොමැතිව ගෞරවනීය තරුණකමක් පවත්වාගත නොහැකි ය.
තාරුණ්‍යය පෙන්විය යුත්තේ ඇඳුම් පැළඳුම්, යාන වාහන, ආදී බාහිර පෙනුමෙන් නොවේ.
ආධ්‍යාත්මික හැසිරීම් තුළින. එය දෙපක්ෂයට ම අදාළ වේ. පිරිමි, පිරිමිකම් හඳුනාගත
යුතු අතර, ගැහැනු ගැහැනුකම් තේරුම් ගැනීම අවශ්‍ය ය. ඒ තුළ සමස්තයට ම ගෞරවය හිමි වේ.
විශාකාව එවැනි තරුණියකි. හිරි ඔතප් රැකගත් යුවතියකි. පූර්ණවර්ධනට ඇයව සුදුසු යැයි
බමුණන් තීරණය කළේ ඇය තුළ පැවැති ස්ත්‍රී ගුණ නිසාවෙනි.
තම යෙහෙළියන් වැස්සෙන් ආරක්ෂාවීම සඳහා දුවද්දී ඇය පමණක් තෙමි තෙමී ගමන් කළහ. බමුණන්
විමසන්නේ එසේ තෙමුණේ කම්මැලිකම නිසා නොවේද යනුවෙනි. ඇය ඔවුන්ට පිළිතුරු දෙන්නේ මේ
ලෝකයෙහි එසේ දුවනවිට හතර දෙනෙකු නැත බවයි. එනම් රජු, රාජ ඇතා, භික්ෂුව, කාන්තාව
යන්නයි.
යෞවනියන් මෙය අවධාරණයෙන් සිහිතබා ගත යුතු ය. කොසොල් රජු දකින දෙවන සිහිනය මේ කරුණ
තවත් පැහැදිලි කර දෙන්නක් බඳු ය. ඉතා පොඩි ගස්වල මල් පිපී ගෙඩි සෑදෙයි. ගස නොවැඩි
නිසා අතු කැඩී යයි. ගස බාල වේ. හැදෙන ඵල සාරවත් නොවේ. මහා සුපින ජාතකයේ දී ඒ සිහිනය
තෝරන බුදුරදුන් දේශනා කරන්නේ අනාගතයේ දී ගැහැනු දරුවන් අඩු වයසේ දී ආවාහ විවාහ වී
දරුමල්ලන් ලබන බවත්, නියමිත වයසේ දී ඒ කටයුතු සිදු නොවීම ඔවුනට අවැඩ පිණිස පවතින
බවත් ය.
තායිලන්තය වැනි රටක තරුණයන් විවාහයට පෙර තාවකාලික පැවිද්ද ලබාගනී. එය විවාහයට
සුදුසුකමකි. මන්දයත් සංයමය, සංවරය, විනය පවුල් ජීවිතයේ දියුණුවට හේතුවන නිසාවෙනි.
ගතින් බැඳෙන බැඳීම තාවකාලික ය. අවබෝධය සහ සංයමය තාරුණ්‍යයේ අත්‍යවශ්‍ය අංගයකි.
ජීවිතය යහපත්ව දකින්නේ එම තත්ත්වය තුළ පමණි.
තරුණ බව වඩාත් අර්ථවත් වන්නේ තම සංස්කෘතිය, සභ්‍යත්වය සහ තම අනන්‍යතාවන්
හඳුනාගැනීමෙනි. තමන් පළමුව තමන් බවට පත්වී ඒ මත සිතුම් පැතුම් සකසා ගත යුතු ය. එසේ
නොවන විට බිහිවන්නේ අවිචාරවත් තාරුණ්‍යයකි. එසේ මේ පොළව මත හිටගත් තරුණයාගේ
තරුණියගේ ජීවිතයේ ගැඹුර ඉතා හොඳින් තේරුම් ගනී. තම ශක්තිය විශ්වාස කරන ඔවුන් මත්
ද්‍රව්‍ය පෙති ආදී මනස විකෘති කරන ද්‍රව්‍ය ජීවිතයෙන් බැහැර කරයි.
බුදු දහමෙන් මෙන්ම පෙර අපර දිග සාහිත්‍ය, තාරුණ්‍ය පිළිබඳව ධනාත්මක ඉගැන්වීම්
රාශියක් ඉදිරිපත් කොට ඇත. මේ තුළින් තරුණ ආකල්ප යහපත් කර ගැනීම ඉතා පහසු ය.
එවන් පරිසරයක් නිර්මාණය කරගන්නේ නම් තරුණකමට ආලෝකයක් එක් කරගැනීම ඉතා පහසු ය.
භද්‍රප්‍රභා ලිපි මාලාව ඔස්සේ ඉදිරි කලාපයන තුළින් එය සාකච්ඡා කෙරේ. එම අදහස් සමාජ,
ආර්ථික ආගමික අංශයන් තුළින් තම අභියෝග ජය ගන්නට මහඟු ඔසුවක් ඖෂධයක් ම වේවා. |