වෙදකම තිබෙන්නේ
තමන් අතමයි
මෙම ලිපියේ මුල් කොටස පසළොස්වක පෝදා (29) පත්‍රයේ පළවිය.
මේ දවස්වල අපේ රටේ මේ වසංගත තත්වය මර්දනය කරන්නට රජය වශයෙන් විශාල උත්සාහයක්,
වියදමක්, කැප කිරිමක් කරනවා.
ඒ සියල්ල ම අපේ රටේ මානව හා භෞතික ශක්තිය. ධනය. ඒ සියල්ල ම මේ රටේ ජනතාව සතු ධනය
වස්තුව. ඒ කිසිවක් නො සිතා ඇතැම් පිරිස් ආත්මාර්ථකාමී ව ක්‍රියා කිරීම හේතු කොට ගෙන
මේ වසංගත තත්ත්වය දිනෙන් දින ම ව්‍යාප්ත වෙනවා. වර්ධනය වෙනවා. මේ තත්වයට තම තමන්ගේ
පැවැත්ම හේතු වෙනවා. ඇයි මෙපමණ ව්‍යාප්තියක් පවතින්නේ. අපි තවදුරටත් ක්‍රියා කරන්නේ
ආත්මාර්ථකාමී ව යි. අද රජයට සිදු වෙලා තිබෙනවා සෞඛ්‍ය නීති රීතිවලට පටහැනි ව
ක්‍රියා කරන පිරිස් සොයා බැලිමට විශාල වියදමක් දරන්නට.
මේ නිසා මෙවැනි පිරිස් සොයා ගුවන් මඟින් හා ගොඩ බිමින් වශයෙන් වැටලීම් කිරීමට
වෙහෙසෙන්ට සිදු විම නිසා අපතේ යන ධනය මේ රෝගය සුවපත් කර ගැනිම පිණිස, වෙනත් ඖෂධ
නවීන උපකරණ ලබා ගැනීම පිණිස යොදවා ගැනීමේ හැකියාව තිබෙනවා නොවේ ද? මේවා දිහා බලන
තවත් අයෙක් පෙන්වා දෙනවා නිරපරාදේ මේ ගුවන් යානා යොදවා කරන වියදම නිරෝධායනය වෙන
ජනතාවට ආහාර පාන සඳහා යොදවන්න කියලා. ධර්මානුකූල ව ප්‍රශ්නය දෙස බැලීමක් නො වෙයි මේ
කර තිබෙන්නේ. ඇත්තෙන් ම කාමාශක්ත, පටු ආත්මාර්ථකාමි හැඟීම්වලට වහල් වී ක්‍රියා කරන
මේ පිරිස් මෝහ අකුසල සිතිවිල්ලෙන් තෘෂ්ණාභරිත ව ද්වේශ සහගත ව පටු ජාති, ආගම් හා
දේශපාලනික මතිමතාන්තර ඔස්සේ දුවමින් ප්‍රශ්නයට පිළිතුර ධර්මානුකූලව යුක්ති සහගතව
සෙවිම පසෙකට දමා ක්‍රියා කිරීමේ බරපතල ව්‍යසනකාරි පැවැත්ම නිසා රටක් වශයෙන් සියලුම
ජන කොටස් මහත් පීඩාවකට පත් කර තිබෙනවා. මේ මූලික වශයෙන් ක්‍රියාත්මක වන්නේ
පංචශිලයෙහි කියැවෙන සත්ව හිංසක පාපකාරි සිතිවිල්ල නොවේ ද?
මේ සියලු ම බාධක මැද රෝගීවන ජනතාව සුවපත් කරන්නට සිදු වී තිබෙනවා. ඇතැම් විට කොපමණ
පරිශ්‍රමයක් දැරුවත් ඇතමෙක් මියැදෙනවා. මේ ලෝකයේ ජීවත් වන අප ශිෂ්‍ය කාලයේ ඉගෙන
ගන්නවා. එහි වුණත් විවිධ මට්ටම් තිබෙන්නට පුළුවන්. සුදුසුකම් ලැබුවාට පසු කුමන හෝ
රැකියාවක් කරනවා. එහි ත් විවිධ තත්ව තනතුරු යටතේ වෙන්නට පුළුවනි. මිල මුදල් උපයා
ගන්නවා. මේ මිල මුදල් උපයා ගෙන ජීිවත් වීමේදී ත් විවිධ පරාස පවතින්නට හැකියාව
තිබෙනවා. මේ සියල්ලක් ම කරන්නේ කුමක් අරමුණු කර ගෙන ද? යන්න අප හොයලා බලන්නට ඕන. ඒ
කරුණු හතරක් සපුරා ගන්නට යි. අවශ්‍යතා හතර තමා ආහාර පාන, මේ ශිෂ්ට සම්මත ලෝකයේ
ඇඳූම් පැළඳූම්, ඉඳීන්නට හිටින්නට නිවහනක්, අසනීප තත්වයක් ඇති වුණොත් බේත්හේත්.
ඉතින් අප හැම දෙනෙක් ම මේ අවශ්‍යතා හතර සපුරාගන්නට යි මේ වෙහෙසෙන්නේ.
මේ කියපු අවශ්‍යතා අතුරෙන් පළමුවැන්න ආහාරය යි.
ඒ මුලික අවශ්‍යතාවත් අප සපුරා ගන්නට වෑයම් කරන්නේ වැරැදි පිළිවෙත් මත පිහිටා යි. අද
බොහෝ දෙනෙක් මේ රෝගයෙන් මියැදෙන්නේ බෝ නොවන රෝගවලින් දැඩි ලෙස පීඩා විඳී අයයි. මේ
බෝ නොවන බොහෝ රෝගවලට ඇති විවිධ හේතු අතර එක් ප්‍රබල හේතුවක් තමා වැරැදි ආහාර
රටාවන්. රස තෘෂ්ණාවෙන් දිව පිනවීමේ කාමභෝගී හැඟීම නිසා වෙන කවරදාටත් වඩා අපේ සමාජයේ
වැඩි හිටියන් මෙන් ම ළමා ළපටින් පවා මේ ක්ෂණික ආහාර පුරුදුවලින් සන්තර්පණය වෙනවා.
මෙය විලාසිතාවක්. මේ නිසා බෝ නොවන රෝග රැසක් මිනිසා වෙලා ගෙන ඇත. කාටද මෙහි වගකීම
පවරන්නට වෙන්නේ? ඒ තමන්ටම ය.
අස්ගිරි මහාවිහාරයෙහි මහෝපාධ්‍යාය, කාරක සංඝ සභික,
වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි |