ඉල් අව අටවක 2020.12.08
සිතට ගත යුතු අවවාද
බරණැස් නුවර, මහ වනයක අතු ඉතිලා වැඩුණු විසල් ගසෙක් විය. එහි අතු පතර කුරුලු රෑනකගේ
වාසස්ථානය බවට පත් විය. එදා සුළං ඇති දිනයකි. රූස්ස ගසේ අතු දෙකක් එකට මැදෙන්නට
විය. කුරුලු රෑනෙහි සිටි බෝසත් කුරුල්ලා මෙය දුටුවේ ය. තව දිනක් හෝ මේ ගසෙහි විසීම
නුවණට හුරු නොවන බවත්, සියලු කුරුල්ලන් වෙනත් තැනකට පියඹා යා යුතු බවටත් බෝසත්
කුරුල්ලා අවවාද කළේ ය. නුවණැති කුරුල්ලෝ ඒ අසා ඈත ගසකට ඉගිළ ගියහ.
එහෙත් උඩඟු ගති ඇති පිරිසක් ද එහි විය. ඒ අඥාන කුරුල්ලෝ බෝසත් කුරුල්ලාගේ කීම
පිළීනොගත්හ.
‘වතුර බිඳුවක කිඹුලන් දැක බියේ දඟලනවා යැයි අවඥාවෙන් බැහැර කළහ. උපහාසයෙන්
සිනාසුනහ. වැඩි කාලයක් ගියේ නැත. ඒ විසල් ගස ගිනිගෙන දැවුණි. ගිනි රස්නය ද, නැඟී ආ
දුම ද නිසා කුරුල්ලන්ට පියඹා යා නොහැකි විය. ඔවුහු ගින්නටම වැටී පිළිස්සී මිය ගිය
හ.
මේ ජාතක කතා පොත් වහන්සේ තුළ එන සකුණ ජාතක කතාවේ සිදුවීමකි. ජීවිතය ගැන, ජීවත්විය
යුතු ආකාරය ගැන ඉගෙන ගන්නට නම්, මිනිස් හදවතට ආමන්ත්‍රණය කරන, සර්ව කාලයට ම පොදු
ජාතක පොත තරම් වෙනත් සාහිත්‍යාංගයක් නොමැති තරම් ය. එහෙත් ගැටලුව ඒ ,ඔවදන් පොතට හෝ
දැනුමට පමණක් සීමා වීමය.
අවවාද පිළිගන්නා තැනට මිනිස් දරුවා හුරු කළ යුතු කුඩා කල දීම ය. වයසින් වැඩෙත්ම
කොපමණ ඔවදන් ලැබුණ ද ඔවුහු ඒවා නොඇසුණා සේ සිටිති. ඒ අවවාද බීරි අලින්ට වීණා වයනවා
වැන්නකි.
අවවාද නොපිළිගැනීම නිසා වන විනාශය අද අපි වඩාත් හොඳින් අත් විඳිමු. ඒ කොරෝනා වසංගත
රෝගය හමුවේ ය. ඇතැම් පිරිස් කිසිදු අවදානමක් නොගෙන හැසිරෙන අයුරු ඉතාම පිළිකුල්
සහගත ය. අශීලාචාර ය. අවවාද නොතකන මෙවැනි පිරිස් සීමිත වුව ද මේ අය නිසා සමස්ත
සමාජයටම මුහුණ දෙන්නට වන විනාශය අති මහත් ය. පෙර සඳහන් කළ පරිදි අවවාද නොතැකූ අඥාන
කුරුල්ලන් ගින්නේ දැ වී මිය ගියා සේ මෙවැනි අකීකරු පිරිසට ද, ඔවුන් ඇසුරු කරන අයට ද
අවසානයේ විනාශය අත් නොවේ යැයි කිව නොහැකි ය.
අවවාද නොතකන ඇතැම් කෙනෙක්, තමන් කරන්නේ නොකළ යුතු දෙයක්, පාපයක් බව දැන දැනත් එහිම
නිරත වෙති. ඇතැම්විට තමන් ම එය සාධාරණීකරණය කරගන්නේ ‘මා කළ පව ඉතා සුළු ය. එහි
විපාක නම් කිසි කලෙක ආපසු නොඑන්නේ’ය යනුවෙනි. එහෙත් අපට වැරදුණ තැන ද එතැන ය.
බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පාප වග්ගයේ දී දේශනාකොට වදාළේ තමා කළ පාපය ඉතා සුළු ය.
එහි විපාකය තමන් වෙත නොඑන්නේය යනුවෙන් සුළුකොට නොතැකිය යුතු බව ය. දිය බිඳෙන් බිඳ
එකතු වී ටිකෙන් ටික කළය පිරෙන්නා සේ මදින් මද රැස්වන පව් නිසා අඥාන පුද්ගලයා පවින්
පිරෙන බව උන්වහන්සේ දේශනා කොට වදාළහ.
තථාගතයන් වහන්සේ අනඟි මිණි මුතු වන් මේ ඔවදන් ලබා දුන්නේ අප වෙත පෑ මහා කරුණාවෙනි.
උන්වහන්සේ ගිහියාට දුන් මූලික ඔවදන , ප්‍රතිපදාව පස් පවින් දුරස් විය යුතු බවට යි.
එම ඔවදන් අවතක්සේරු කරමින් කාලය හරිනවා නම් එය තමන්ට පමණක් නොව මුළු සමාජයේම
සාමකාමී බවට තර්ජනයකි.
ගල් කැටයක් අහසට විසි කළහොත් එය අහසෙහි රැඳෙන්නේ නැත. පොළොවටම පතිත වන්නේ ය. අප කරන
පව් ද එලෙස ය. ඒවායෙහි විපාක ලෙස සතර අපායෙහි වැටෙනු මිස නැවතී සිටින්නට වෙනත්
තැනක් නොවනු ඇත.
ශ්‍රී සද්ධර්මය අනුව යමින් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ, අපගේ මව්පිය වැඩිහිටියන් ,
ගුරුවරුන් අපට ඔවදන් ලබා දෙන්නේ අපගේ යහපත මිස අයහපත දකින්නට නොවේ. ඒ ඔවදන් නොසලකා
විනාශයට යනවා ද, මිණිමුතු සේ ජීවිතයට ළං කරගෙන යහපත ළඟා කරගන්නවා ද යන්න තීරණය කළ
යුතු ද තමන් ම ය. |