අනුන් කරන දෙය සොයන්නේ කුමටද?
අස්වනු ලැබෙන්නේ
වපුරන දෙයට අනුවයි
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
තෙරුන් වහන්සේ ඔහුගේ කරුණු අසා සිට ඔහුට අනුකම්පාවෙන් මෙසේ කීහ. සත්පුරුෂය, මම ඔබට
සරණ සිල් දෙමි, ඒවා රැක දුගති බයින් මිදෙනු මැනවි. මිනිසුන් ද, නො මිනිසුන් ද,
තිරිසනුන් ද, සැමකල්හි සිල්වත් පුරුෂයා විශ්වාස කරන්නේ ය
එක් සිල් පදයක් ආරක්ෂා කිරීමෙන් සැප ලැබූ සොරකු පිළිබද අපූරු කතා පුවතක් සීහළ වත්ථු
කථාවල සදහන් වේ.
අතීතයේ හෙළදිව සුරට්ඨ නමින් ප්‍රසිද්ධ ජනපදයක මනරම් විහාරයක් විය. එහි පර්වත ගුහාවක
ධුතංගධාරී ව සහ පිණ්ඩපාතික ව දිවි ගෙවන මහ තෙරනමක් වූයේ ය.
දිනක් තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ ගොස් පැමිණ පාත්‍රය කුටියේ එක් තැනක තබා අත් පා
සේදීමට ගියහ. එකල එක්තරා සොරෙක් මුළු රැය සොරකමෙහි ඇවිද බඩසයින් පෙළී ඒ විහාරයට
පැමිණ තබා තිබූ පිණ්ඩපාත පාත්‍රය දැක
‘‘ඉදින් මේ භික්ෂුව මට නොදී ආහාර අනුභව කරන්නේ නම්, මම රාත්‍රියෙහි අවුත් මොහුගේ පා
සිවුරු සොරා ගෙන යන්නෙමි“ යි සිතන්නට වූයේ ය. එකෙණෙහි ම තෙරුන් වහන්සේ අත්පා සෝදා
චෛත්‍ය වැඳ පැමිණ හිඳගෙන පිණ්ඩපාතය වැළඳීමට සූදානම් වූහ. පැමිණ සිටි අමුත්තා දැක
පින්වත’ යි කියා අමතා, ඔබත් මෙයින් ආහාර ගන්න‘‘ යැයි කොටසක් පිරිනැමූහ.
බඩගින්නෙන් පෙළුණ ඔහු ආහාර ගැනීමෙන් පසු තෙරුන් වහන්සේ අමතා ‘‘ස්වාමීනි, ප්‍රබල
සොරකු වන මම ඔබ වහන්සේට බලවත් අපරාධයක් කරන්නට සිතුවෙමි යි,‘‘ සිතූ දෑ කී ය. එම
අපරාධයට මම සමාව ඉල්ලමි, තව ද කළ උපකාරයට ඔබ වහන්සේට උදව් කිරීමට ද කැමැත්තෙමි, ඔබ
වහන්සේ කියන දෙයක් කර දෙන්නෙමි’ යි ද කීය.
එකල්හි තෙරුන් වහන්සේ සොරා අමතා ‘‘පින්වත, මා කියන දෙයක් ඔබ කරන්නේ නම්, මම ඔබට
සමාව දෙමි, අද සිට පන්සිල් රකිනු මැනව යැයි‘‘ කී හ. එවිට සොරා තෙරුන් වහන්සේ අමතා
ස්වාමීනි, එය නම් මා හට කිසිලෙසකිනුත් ඉටු කළ නො හැක්කේයැයි කීය. එසේ නම් ශික්ෂා පද
හතරක් රකිවු යැයි කී ය. එය ද කළ නො හැකි බව සොරාගේ පිළිතුර විය. අනතුරුව පිළිවෙළින්
ශික්ෂා පද තුනක්, දෙකක් සහ එකක් ලෙසින් විමසා බැලී ය. සොරාගේ පිළිතුර වූයේ එක්
ශික්ෂා පදයක් පමණක් ආරක්ෂා කිරීමට තමාට හැකි බවයි.
එම ශික්ෂාපදය කුමක්දැයි අසා දැනුවත් වී එහි පවත්නා විපාක පෙන්වා දෙමින් පරදාර
සේවනයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් කරවා පිටත් කරවී ය. සොරා ශික්ෂාපදය සමාදන් ව එක්
ගමක ඇවිදින්නේ ධනවතකුගේ ගෙයකට ඇතුළු විය.
එහි වූ ගෘහනියට සොරා දැක පිළිබඳ සිත් ඇති විය. පසුව තරුණය, කුමක් පිණිස ආවෙහි දැයි
විමසුවා ය. තමන් සොරකම් පිණිස පැමිණි බව සොරා දැන් වී ය. ගෘහනිය ඔහු අමතා
තරුණය, ඔබ කැමැති යම් වස්තුවක් මෙහි වේ නම් ඒ සියල්ල රැගෙන යන්න දෙන්නෙමි, මා කියන
දෙය කරව'යි කීවා ය. සොරා පුදුමයට පත්ව ඒ කුමක්දැයි ඇසී ය. එකල්හි ගෘහනිය ඔහු අමතා
තරුණය, කම් සැපයෙන් පෙළුණ පුද්ගලයෝ යුද්ධයට යාමට ද, ජලයට පිවිසීමට ද, සොරුන් අතරට
යාමට ද, මහ වනයට යාමට ද, පර්වත දුර්ගවලට යාමට ද බිය නොවෙති. එබැවින් මා කාම සැපයෙන්
සතුටු කරවයි කීවා ය.
ඉදින් මාගේ කීම නො කරන්නේ නම් ඔබගේ අපේක්ෂා ඉටු නො වන්නේ යැයි ද පැවසී ය. සොරා ඇගේ
කීම අසන්නටවත් නො කැමැති විය.
‘‘සොදුර, මම ශික්ෂා පදයක් සමාදන් වී එය රකිමි. එය බිඳීම නම් කළ නො හැකි වන්නේ යැයි
කීවේ ය.
ගෘහ හිමියා මොවුන් දෙදෙනාගේ කතාව අසා සිට වහා ආරක්ෂකයින් කැඳවා සොරා අල්ලා ගන්නට
සලස්වා, ස්ත්‍රිය බැඳ තබා සොරාට මෙසේ කීය. ‘‘මිත්‍රය, ඔබ අද පටන් මාගේ සහෝදරයෙක්
වන්නේ ය. මේ ගෙයි ඇති යම් වස්තුවක් වේ ද ඔබ කැමැති දෙයක් ගනුව. මේ සොර ස්ත්‍රිය
ගෙයින් නෙරපන්නෙමි'යි කියා නෙරපා දැමී ය.
සියල්ල සිදුවීමෙන් පසු සොරා, ‘‘එක ශික්ෂා පදයක් රැකීමෙන් මෙලොව දී ම මෙතෙක් විපාක
ලදිමි. හැම ශික්ෂාපදයක් ම රකින්නේ නම්, මහත් වූ විපාක ලැබෙන්නේ‘‘ යැයි කල්පනා
කරන්නට වූයේ ය.
බඩසයින් පෙළුණ මම බුද්ධ ශ්‍රාවකයකු වෙත එළැඹ එක් ශික්ෂාපදයක් සමාදන්වීමෙන් මෙවැනි
සම්පත්තියක් ලද්දේ ය. ලේ තැවරුණ අත් ඇති, රෞද්‍ර වූ, පවිටු ක්‍රියා කරන සොරකු
විසින් රක්නා ලද සීලය මෙසේ පිහිට වූයේ නම්, යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිල්
රකින්නේ නම් ඔවුහු භයින් මිදෙත්. බොහෝ සැප සහ කීර්ති ප්‍රශංසා ලබත්. මෙසේ සීලයෙහි
ගුණ දත් මම සිත දැඩි කොට සිල් පිරීම කළ යුතු යැයි සිතමින් වහා විහාරයට ගොස් තෙරුන්
වහන්සේ වැඳ
‘‘ස්වාමීනි, මට පන්සිල් දෙනු මැනවි, මා විසින් ජීවිතාන්තය දක්වා එය ආරක්ෂා
කරන්නෙමි, මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වීමෙන් මරණ භයින්
මිදී ජීවිතය ලදිමි, දැන් දුගතියෙහි ඇති මහත් බය දනිමි, සිල් රැකීමේ විපාක ද දනිමි,
එ බැවින් ස්වාමීනි, මා දුගතියෙන් මුදවනු මැනවි, බඩසයින් පෙළුණ මට ඔබ වහන්සේ විසින්
පෙර ආහාර දෙන ලදී. සසර දුකින් පෙළෙන මට සිල් දුන මැනවි‘‘ යි බොහෝ කරුණු කියමින්
සිල් දෙන ලෙසට ආයාචනා කර සිටියේ ය.
තෙරුන් වහන්සේ ඔහුගේ කරුණු අසා සිට ඔහුට අනුකම්පාවෙන් මෙසේ කීහ. සත්පුරුෂය, මම ඔබට
සරණ සිල් දෙමි, ඒවා රැක දුගති බයින් මිදෙනු මැනවි. මිනිසුන් ද, නො මිනිසුන් ද,
තිරිසනුන් ද, සැමකල්හි සිල්වත් පුරුෂයා විශ්වාස කරන්නේ ය. එය ඔහුට මනුෂ්‍ය සම්පත්
ද, දිව්‍ය සම්පත් ද, ආර්ය සම්පත් ද ලැබීමට හේතු වන්නේ යැයි පවසමින් ධර්මය දේශනා
කරන්නට ද වූහ. ඔහු ඇඟිලි බැඳගෙන, සරණ සීලයෙහි පිහිටා, ධර්මය අසා, සමාදන් වී ධර්ම
ප්‍රීතිය විඳිමින් උපාසකයෙක් බවට පත් වූයේ ය. එක් ශික්ෂා පදයක් රැකීමෙන් ලෞකික
සම්පත් ද, ආධ්‍යාත්මික සම්පත් ද ලැබීමට හෙතෙම වාසනාව ලැබී ය.
පන්සිල් සුරකින සමාජයක් ගොඩ නැඟෙන්නේ නම් මිනිසුන්ට ගෙවල්වල දොරගුළු දැමීමට අවශ්‍ය
නොමැති බව ද, රජවරුන්ට, මැති ඇමැතිවරුන්ට, ධනපතියන්ට සහ ගෙහිමියන්ට තම ධනය සහ
ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවි ආයුධ අවශ්‍ය නොමැති බව ද, කසාදය සහ දික්කසාදය, අධිකරණය
සහ නීති පොත් ආදිය අවශ්‍ය නොවන බව ද මෙම කතා පුවතින් පෙන්වා දෙයි.
නූතන සමාජයට ඒ සියල්ලම අවශ්‍ය ව ඇත්තේ පන්සිල් සුරකින ජන සමාජයක් නොමැති නිසා ය.
නිවස, පාසල, පන්සල සහ දහම් පාසල දරුවන්ට නිසිමඟ කියා දුන්න ද, සංකීර්ණ සමාජ
පසුබිමත් සමඟ දරුවන් මෙන් ම වැඩිහිටියන් ද වහා පන්සිල්වලින් ඈත් වන බව පෙනේ. මෙය
ගුණ ධර්ම පිරුණ සමාජය තවදුරටත් පිරිහීමට හේතුවී ඇත. එ බැවින් කවරකු පන්සිල් ආරක්ෂා
නො කළ ද, තමා එය ආරක්ෂා කරන්නේ නම් එයින් ලැබෙන යහපත් ප්‍රතිඵල ප්‍රමාණ කළ නො හැකි
ය. |