[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටවිසි බෝධි පුරාණය 16: දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ

දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාධරණී තලය නම් වූ පුණ්‍ය භූමියට වැඩම කිරීමෙන් අනතුරුව එම කාලවකවානුව තුළ ම රෝපණය කරන ලද අෂ්ටඵලරුහ හා දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ පිළිබඳ තොරතුරු ඉතිහාසයෙහි සඳහන් වේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාධරණී තලය නම් වූ පුණ්‍ය භූමියට වැඩම කිරීමෙන් අනතුරුව එම කාලවකවානුව තුළ ම රෝපණය කරන ලද අෂ්ටඵලරුහ හා දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ පිළිබඳ තොරතුරු ඉතිහාසයෙහි සඳහන් වේ.

අතිපූජනීය ගෞරවනීය පන්නිල සාරානන්ද, ඕපාත ශ්‍රී සරණංකර මා හිමිපානණ් වහන්සේ විසින් සකස්කොට මුද්‍රණය කරන්නට යෙදුන නම් පොත හෙවත් විහාර අස්න නමැති ග්‍රන්ථයේ බෝධින් වහන්සේ රෝපණය කරන්නට යෙදුන ස්ථාන, පළාත් නවයකට බෙදා දක්වා ඇති බවත්,සඳහන්ව ඇත.

තවද , සියලු ජනයාගේ හිතසුව පිණිස දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ යොදුනෙන් යොදුන විහාරස්ථානයන්හි රෝපණය කළ බව පාලිබෝධිවංසය සඳහන් කරයි. සිංහල බෝධිවංසයට අනුව ස්ථාන කිහිපයක් පමණක් හඳුනා ගත හැකි ය. තවද, වැලිමිටියාවේ ධම්මරක්ඛිත මා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය නම්, පර්යේෂණාත්මක ග්‍රන්ථයෙහි සඳහන් තොරතුරු අනුව ඵල රුහ බෝධීන් වහන්සේ පිහිටි ස්ථාන කිහිපයක තොරතුරු පමණක් සඳහන් ව ඇත. ඒ අනුව,

කොට්ටියාරම

ක්‍රි .ව 1113 දී රාජ්‍ය විචාරණ ලද වික්‍රමබාහු නිරිඳුන් වීරදේව නමැති ආක්‍රමණිකයාගෙන් පරාජයට පත්ව පලාගිය ස්ථානය වන අතර, ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල දී මෙම ස්ථානය වැදගත්කමක් උසුලන තොටුපළක් බැවින් දෙවන රාජසිංහ නරේන්ද්‍රයන් විසින් ක්‍රි. ව. 1629-1687 ලන්දේසීන්ට පවරාදීමට ස්ව කැමැත්ත පළකර සිටියේ ය. අතීතයෙහි “කොට්ඨසාර” නමින් හඳුන්වනු ලැබූ මෙම ස්ථානය වර්තමානයෙහි “කොට්ටියාරම” වශයෙන් හඳුන්වනු ලබයි. මෙම ස්ථානයෙහි රෝපණය කරන ලද පැරැණි බෝධිය වර්තමානය තුළ දක්නට නොමැති බව සඳහන් වේ.

පොළොන්නරුව

හත්වන අග්‍රබෝධි නරේන්ද්‍රයන්ගෙන් ආරම්භ වුණු මෙම රාජධානිය කාලිංගමාඝ වැනි ආක්‍රමණිකයන්ගෙන් පිරිහිණි. අනුරාධපුරයෙන් රාජධානිය මාරු වූයේ ද පොළොන්නරුවට ය.

තුන්වන පරාක්‍රමබාහු රාජ්‍ය සමය වූ ක්‍රි. ව. 1302-1310 යන කාලවකවානුවෙන් එම රාජධානිය අවසන් වී ඇත.

මාතලේ රුසිගම

උතුරු මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගොඩ උඩසිය පත්තුවේ එම ප්‍රදේශය පිහිටා ඇති අතර, දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් මෙහි රෝපණය කර ඇති බව සඳහන් වේ.

රුහුණුරට මාගම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වූ රෝහණයේ මාගම්පුර ලෙස හඳුනාගෙන ඇති බවත්, දෙවනපෑතිස් නරේන්ද්‍රයන්ගේ සොහොයුරු මහානග රෝහණයට පලාගොස් මාගම්පුර රාජධානියෙහි විසූ බවත් වංසකථාවල සඳහන් වේ.

මාගම්පුරයට අයත් විහාරස්ථාන වශයෙන් සැලකෙන තිස්ස මහා විහාරය, නාගමහා විහාරය , විහාරමහාදේවී විහාරය,පටන්ගලු විහාර,තුලාධාර විහාරය,යනාදී විහාරස්ථාන රාශියක් පිළිබඳ ව සඳහන් වුවත්,අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ රෝපිත ස්ථානය පැහැදිලිව සඳහන් නොවේ.

මහියංගනය

බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන්වහන්සේලා තැන්පත්කොට මහියංගන චෛත්‍ය ඉදිකර ඇති බව සඳහන් වේ. එවකට ලංකාවේ ජීවත් ව සිටි යක්ෂ ගෝත්‍රිකයන් අතර ඇතිවූ අරගලයක් සන්සිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේ පළමු වතාවට ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ දී බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළාවූ යක්ෂ ගෝත්‍රිකයෝත්, සමනල අඩවියට අධිපති සුමන සමන් දෙවියෝත් චිත්ත ප්‍රීතියට පත් වූහ.සුමන සමන් දෙවිඳුගේ ආරාධනාව පරිදි බුදුරජාණන් වහන්සේ ප්‍රදානය කළාවූ කේශධාතූන් වහන්සේලා තැන්පත් කොට මියුගුණ සෑය ඉදිකරවන ලදී. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරභූ නම් තෙරුන් වහන්සේ නමක් බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුව වැඩමවා එම සෑයෙහි ම නිධන් කළ බව සඳහන් වේ.

විල්ගම් වෙහෙර

සේරුවිල ආසන්නයෙහි නයින්ගේ විල්ගම් වෙහෙර යන ප්‍රදේශයෙහි නාග ගෝත්‍රිකයන් වාසය කළ බව පුරාණ සාහිත්‍ය තුළින් ද හෙළි වේ.නටබුන් විසිරී පවතින මෙම භූමි භාගයෙහි දෙතිස් ඵළ රුහ බොධීන් වහන්සේ නමක් වශයෙන් සැලකෙන බෝධීන් වහන්සේ නමක් වර්තමානය දක්වා ම ආරක්ෂාකාරී ව පවති.

බදුලු මුතියංගනය

ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයට අයත් දර්ශනීය පූජා භූමියක් වශයෙන් මුතියංගනය හඳුනාගත හැකි වේ. සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ ගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පාත්‍ර වූ මෙම ස්ථානය සොළොස්මස්ථානයන්ට ද අයත් වන අතිපූජනීය ස්ථානයකි. මලියදේව මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ජඡක්ක සූත්‍ර දේශනාව අසා සැට නමක් මෙම ස්ථානයෙහි රහත් බව ලබා විමුක්තිය ලැබූ නිසා මුක්ති- අංගනය මුතියංගනය ලෙස සලකනු ලබයි. දෙවනපෑතිස් රජු විසින් මෙම ස්ථානයෙහි සර්වඥධාතු නිදන්කොට සෑයක්ද, දෙතිස් ඵළ රුහ බෝධීන් වහන්සේ නමක් ද පිහිටුවන ලදි.

සිතුල්පව්ව

සිතුල්පව්ව භාවනානුයෝගී යෝගාවචරයන් වහන්සේගේ සිත් සමාධිගතකරන ස්ථානයක් පමණක් නොව, හුදී ජනයාගේ සිත් පහන් කරවන අතිරමණීය වූ පුණ්‍ය භූමියකි.

වර්තමානයෙහි දක්නට ලැබෙන නටබුන් අතර පැන් පොකුණු ,ධර්මශාලා, විහාර මන්දිර, දාගැබ්, පිරිවෙන් , පොහොය ගෙවල්, බෝමළු ආදී විහාරාරාංගයන්ගෙන් අතීත ශ්‍රී විභූතිය විද්‍යමාන කරනු ලබයි. ඌව පළාත් හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් තිස්සමහා විහාරයත්,කතරගමත් අතර කටගමුව නම්, වනගත ප්‍රදේශයට අයත් ව පිහිටා ඇති මෙම ප්‍රදේශය ක්‍රි. පූ යුගවලට අයත් වන අතර, කාවන්තිස්ස නරේන්ද්‍රයන් විසින් ගොඩනඟන ලද්දක් බව ප්‍රකට ය.

වැලිගම

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයේ පිහිටි දෙවනපෑතිස් යුගයේ ඵල රුහ බෝධියක් රෝපණය කිරීමෙන් ආරම්භ වූ මෙම ස්ථානය , පොළොන්නරු යුගයේ එනම්, ක්‍රි. ව. 1202-1208 කාලවලදී කල්‍යාණවතී රැජින, ආයස්මන්ත ඇමතියා ලවා සධාතුක චෛත්‍යයක් හා රාජකුලවඩන නම් ආවාසයක් ද ඉදිකරවූ බව වංශකථාවල සඳහන් වේ.

පරගොඩ විහාරය

නාමල් පූජාව පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන පරගොඩ විහාරය දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ ඉමදුව කෝදාගොඩට ආසන්න ව පිහිටා ඇත. දෙවනපෑතිස් නරේන්ද්‍ර පාලන සමයෙහි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමෙන් ආරම්භ වූ පූජනීය ස්ථානයකි.

කොත්මලේ පුසුල්පිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිස්පනේ කොරළයේ පුසුල්පිටිය ගමේ පිහිටා ඇති මෙම පූජනීය ස්ථානය මලියදේව රහතන් වහන්සේ විසින් මල්ලව දේශයෙන් වැඩම වූ රන් පිළිමය හා තව පූජනීය වස්තූන් ද මෙහි ඇත.

දෙවනපෑතිස් රාජ්‍ය සමයෙහි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමෙන් ආරම්භ වූ ස්ථානයකි.

මායාරට වතුර

කෑගලු දිස්ත්‍රික්කයේ පරණකූරු කෝරළයේ මාවත පත්තුවේ පිහිටා ඇති මෙම පූජනීය ස්ථානය දෙවනපෑතිස් රාජ්‍ය සමයෙහි ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමෙන් ආරම්භ වූ බව සඳහන් වේ.

බෙලිගල

කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල කෝරළයේ ඕතර පත්තුවේ පිහිටි දෙවනපෑතිස් යුගයේ ඵලරුහ බෝධියක් රෝපණය කිරීමෙන් ආරම්භව ඇති පූජනීය ස්ථානයක් වශයෙන් සැලකේ

  ඉල්
අව අටවක 

දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.

අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]