[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අත්හැරිය යුතු සුදුසු ම අවස්ථාවේ අත්හරින්න

අත්හැරිය යුතු සුදුසු ම අවස්ථාවේ අත්හරින්න

තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් මහා විහාරයේ වැඩ වාසය කරමින් සිටියා. එ සමයෙහි එක් දවසක් භික්‍ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේගේ මහා අභිනිෂ්ක්‍රමණය පිළිබඳ වර්ණනාත්මක ව කතා කරමින් දම් සභා මණ්ඩපයේ වැඩ සිටියා.

දම්සභා මණ්ඩපයට වැඩම කළ බුදු රජාණන් වහන්සේ බුද්ධාසන මස්තකයේ වැඩ හිඳීමින් භික්‍ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට “ මහණෙනි, මේ මොහොතේ කිනම් කතාවක් කරමින් සිටියේ දැ”යි විමසා සිටියා.

“ ස්වාමීනි, අපි දෙතිස් කතාවෙන් වැළකී නුඹ වහන්සේගේ මහා අභිනිෂ්ක්‍රමණය ගැන වර්ණනා කරමින් සිටියෙමු” යි භික්‍ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා. “ මහණෙනි , සර්වඥයන් වහන්සේ මහබිනික්මන් කළේ දැන් පමණක් නොවේ, පෙරත් ගිහි ගෙය හැරදා ගියා යැ” යි වදාළා.

භික්‍ෂූන් වහන්සේ එම පුවත අසා භවාන්තරයෙන් වැසී තිබුණු කතා ප්‍රවෘත්තිය දේශනා කිරීමට ආරාධනා කළ නිසා මහා කාරුණිකයන් වහන්සේ මෙම මඛාදේව ජාතක කතාව දේශනා කොට වදාළා.

පෙර අතීතයේ විදේහ නම් රාජ්‍යයක් තිබුණා. එහි මියුලු නුවර මඛාදේව නම් රජ කෙනෙක් දසරාජ ධර්මයෙන් යුතුව ධාර්මික ව රාජ්‍ය කළා. ඒ රජතුමා අසූ හාර දහසක් අවුරුදු කුමාර අවදියෙහි ද, අසූ හාරදහසක් අවුරුදු යුව රජකමෙහි ද, අසූ හාරදහසක් අවුරුදු රජකම් ද කොට බොහෝ කල් ගිය පසු එක් දවසක් අරක්කැමියා අමතා


මඛාදේව ජාතකය

“ යහළුව , යම් දවසක මාගේ හිසෙහි ඉදුණු නර කෙසක් දුටුවේ නම් එදවස මට කියන්න. ” යැයි කීවා. එම අරක්කැමියා ද බොහෝ කාලයක් ගිය පසු එක් දවසක් රජ්ජුරුවන්ගේ අඳුන්වන් කෙස් අතරේ පැසුණු කෙසක් දැක “

රජ්ජුරුවන් වහන්ස, නුඹ වහන්සේගේ කෙස් අතරේ පැසුණු නර කෙසක් පෙනෙයි. ” යැයි කීවා.

“ එසේ වී නම් යහළු අරක්කැමිය, එම නර කෙස උදුරා මා අත තබන්න. ” එකල් හි අරක්කැමියා රන් අඬුවෙන් පැසුණු නර කෙස උදුරා රජතුමාගේ අත්ලෙහි තැබුවා. ඒ වන විටත් තවත් අවුරුදු අසූ හාරදහසක් රජකම් කිරීමේ ආයුෂ රජ්ජුරුවන්හට ඉතිරිව තිබුණා. එසේ නමුත් නර කෙස දුටු රජතුමා සිතන්නේ තමා අභියසට මාරයා පැමිණ ඇති බව සහ, තමන් තපසට යාමේ සුදුසු කාලය එළඹි ඇති බවයි. මෙසේ සිතමින් සිටි රජතුමා සංවේගයට පැමිණ තමන් විසින් තමන්ට ම අවවාද කර ගත්තා.

“ අඥාන වූ මඛාදේවයිනි , නුඹ හිස නර කෙසක් නැඟෙන තුරුත් කෙලෙසුන් හැර දැමුවේ නැති ද? නුඹ තරම් අඥානයෙක් මේ ලොව තවත් නැතැයි” ද කියමින් තමන්ට ම නින්දා කර ගත්තා. මේ ආකාරයෙන් නර කෙසක් පහළ වූ බව කල්පනා කරමින් පසුතැවෙමින් සිටිය දී රජතුමාගේ අභ්‍යන්තරයේ දැවෙමින් ඩා බිඳු වැගිරෙන්නට පටන් ගත්තා. ඒ වෙලාවේ ම රජතුමා

“ අදම රජගෙයින් නික්ම මහණදම් පිරීම සුදුසු ” යැයි සිතා අරක්කැමියාට ලක්‍ෂයක් වස්තු උපදනා ගම්වරයක් දී ප්‍රධාන පුත්‍රයන් වූ රාජ කුමාරයන් කැඳවා

“ පුත මා හිස නර කෙසක් පහළ වී ඇත. ඒ නිසා දැන් මම මහළු වයසෙ යි සිටින්නේ. මා විසින් මනුෂ්‍ය ලෝකයෙහි විඳීය යුතු සියලු සැප සම්පත් ද විඳ ඇත්තෙමි. දැන් දිව්‍ය සම්පත් විඳීමේ කැමැත්තක් ඇති නිසා මහණ වන්නට මේ සුදුසු කාලය යැයි සිතමි. එබැවින් නුඹ මේ රාජ්‍යය පවරාගෙන දැහැමෙන් රජකම් කරන්න. මම මහණ වී මඛාදේව නම් අඹ උයනේ වාසය කරමින් මහණදම් පුරන්නම් යැයි පුතනුවන්ට කීවා.

මෙසේ මහණ දම් පිරීමට කැමති වූ රජතුමා සමීපයට අමාත්‍යයෝ පැමිණ “ ස්වාමීනි , නුඹ වහන්සේ කවර කරුණක් නිසා මහණවීමට කැමැත්තේ ” දැයි විචාළා. එවිට රජ්ජුරුවෝ තම හිසෙහි පැසුණු නර කෙස අතින් ගෙන ඇමතිවරුන්ට පෙන්වා තමන් මහණ වෙන කාරණය පැහැදිලි කළා. “

කෙනකුගේ තරුණ වයස, මැදි වයස, සහ මහළු වයස යැයි කියන ලද තුන් වයස ම නසන බැවින් මේ නර කෙස යම ‘රජ්ජුරුවන් විසින් එවන ලද දේවදූතයෙක් මෙනි.’ ඒ නිසා මට මහණවන්නට මේ සුදුසු ම කාලය යැයි ” අමාත්‍යවරුන්ට කියා, එදින ම රාජ්‍ය හැර දමා ඍෂි ප්‍රව්‍රජාවෙන් පැවිදිව, මඛාදේව නම් අඹ උයනේ වාසය කරමින් මෛත්‍රි, කරුණා, මුදිතා, උපේක්‍ෂා යැයි කියන ලද චතුර්විධ බ්‍රහ්ම විහරණ භාවනා කර නොපිරිහුණු ධ්‍යානයෙන් යුක්තව කාල ක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුණා.

නැවත එයින් චුත ව අවුත් මියුලු නුවර ඉපිද පසුබස්නා වූ තමන්ගේ වංශය ගළපා එම අඹ උයනෙහි ම මහණ ව බ්‍රහ්ම විහරණ භාවනා කොට නැවතත් බ්‍රහ්ම ලෝකයෙහි ම උපන්නා.

බුදුරජාණන් වහන්සේ “ මහණෙනි, සර්වඥයන් මහබිනික්මන අද පමණක් නොව පෙරත් නික්මුණෝ යැයි මේ දේශනාව ගෙනහැර දක්වා වදාරා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කළ සේක.

ඒ චතුරාර්ය සත්‍ය දේශනාවේ කෙළවර දම් සභාවෙහි සිටි භික්‍ෂූන් වහන්සේ අතරින් සමහර කෙනෙකුන් වහන්සේ සෝවාන් ඵලය ලැබුවා. සමහර කෙනෙකුන් වහන්සේ සකදාගාමී ඵලය ලැබුවා. සමහර කෙනෙකුන් වහන්සේ අනාගාමී ඵලය ලැබුවා. මෙසේ බුදු රජාණන් වහන්සේ අතීත කතාවත් වර්තමාන කතාවත්, දෙක එක්කොට සන්ධි ගළපා මේ මඛා දේව ජාතකය නිමවා වදාළා.

‘ එසමයෙහි අරක්කැමියා නම් දැන් ආනන්ද ස්ථවිරයෝ යි. එ සමයෙහි ප්‍රධාන පුතණුවෝ නම් දැන් මේ රාහුල ස්ථවිරයෝ යි . එ සමයෙහි මඛාදේව රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ වූ මම්ම වේදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

  ඉල්
අව අටවක 

දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.

අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]