[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික ආගමික ප්‍රශ්නවලදී තෛ‍්‍ර නිකායම ඒකාබද්ධව නිකුත් කරන ප්‍රකාශ ඉතා ප්‍රබලයි - මකුලෑවේ විමල මහා නා හිමි

ජාතික ආගමික ප්‍රශ්නවලදී තෛ‍්‍ර නිකායම ඒකාබද්ධව නිකුත් කරන ප්‍රකාශ ඉතා ප්‍රබලයි - මකුලෑවේ විමල මහා නා හිමි

අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නාහිමිපාණන් වහන්සේ තෛ‍්‍ර නිකායේම සම්භාවනාවට පාත්‍ර වන අග්‍රගණ්‍ය වියත් පඬිරුවනකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක ස්වාමීන් වහන්සේ ලෙස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිදුකෙරෙන ඉදිරි කාර්යභාරයේ දී උන්වහන්සේගේ දැක්ම පිළිබඳ සිදු කෙරෙන කෙටි සාකච්ඡාවකි මේ.

ගෞරවනීය මහානායක හිමිපාණන් වහන්ස, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කිසිදු අනු නිකායකින් සමන්විත නොවූ නිකායක්. එවැනි තත්ත්වයක් තුළ මහා නායක ධුරයේ භාරදූර වගකීම දරන්නට ඔබ වහන්සේ සූදානම් වන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරය භාරදූර වගකීමක් ඇති තනතුරක්. මේ නිකායේ භික්ෂූන් වහන්සේ අට දහසක් පමණ වැඩ සිටිනවා. විහාරස්ථාන එක් දහස් අටසියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. නිකායේ පරිපාලන කටයුතු සිදු කෙරෙන්නේ විශේෂ ක්‍රමවේදයකටයි. එය මහා නායක ස්වාමීන් වහන්සේගේ කටයුතුවල දී විශාල පහසුවක්.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභා කොට්ඨාස 48කට බෙදා තිබෙනවා. ඒ කොට්ඨාසවල නියෝජිතයින්ගෙන් තමයි කාරක සභාව, පාලක සභාව සකස් වී තිබෙන්නේ. යම් කිසි වැඩ කොටසක් කරන විට ඒ කාරක සංඝ සභාවේ, පාලක සංඝ සභාවේ අනුමැතිය ලබාගෙනයි සිදු කරන්නේ.

ඊට අමතරව නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය මාසයකට වතාවක් රැස්වෙනවා. එය මහා නායක හාමුදුරුවෝ, අනුනායක හාමුදුරුවරු, අධිකරණ නායක හාමුදුරුවෝ, ලේඛකාධිකාරී, මහා ලේඛකාධිකාරී, සංඥා ලේඛකාධිකාරී, අධිකරණ ලේඛකාධිකාරී වගේ නියෝජ්‍ය ලේකම් ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විතයි.

මේ මණ්ඩලය තුළ ගන්නා තීන්දු තීරණ අනුව පරිපාලන කටයුතු කිරීමයි සාමාන්‍ය සම්ප්‍රදාය හැටියට සිදුවන්නේ. ඉදිරියටත් ඒ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

පසුගිය වසරේ ශ්‍රී ලංකා අමරපුර නිකාය හා රාමඤ්ඤ මහා නිකායන් දෙක එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමගී‍්‍ර මහා සංඝ සභාවක් ලෙස පෙනී සිටීම සඳහා වන සම්මුතියට අත්සන් තැබුණා. මේ සම්බන්ධ ව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

අමරපුර නිකාය, රාමඤ්ඤ මහා නිකාය යන නිකාය දෙකේම ආරම්භයට මූලික වුණේ බුරුම රටයි. මේ නිකායන් දෙකෙහි යම් ඒකාබද්ධතාවයක් ඇති වෙනවාය කිව්වේ තම තමන්ගේ නිකායන්හි මෙතෙක් පවත්වාගෙන පැමිණි අනන්‍යතාව ඒ විදිහට ම රැකගෙන රටේ ජාතික ආගමික ප්‍රශ්න පැන නැගුණ අවස්ථාවන් හි නිකාය දෙක එක්වෙලා යම් කිසි ප්‍රකාශයක් රජයට ලබා දීමටයි. මෙහිදී ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමගී‍්‍ර සංඝ සභාව කියලා නිකාය දෙකෙහිම නියෝජිතයන් තෝරාගෙන සංඝ සභාවක් පිහිටුවා තිබෙනවා. අනෙක් නිකායන් සමඟ එක්ව කටයුතු කරන්නේ නෑ කියලා එයින් අදහස් වන්නේ නෑ. අපේ ප්‍රධාන බලාපොරොත්තුව සියම් නිකාය, අමරපුර නිකාය හා රාමඤ්ඤ නිකාය යන තෛ‍්‍ර නිකායම ඒකාබද්ධව කටයුතු කිරීමයි. එහෙත් මුලින් ම බුරුම රටෙන් සම්භවය ලැබූ මේ නිකාය දෙක පළමුවෙන් ම මේ විදිහට සංඝ සභාවක් පිහිටුවා, ඊළඟට අනෙක් ස්වාමීන් වහන්සේ සමඟ ද සාකච්ඡා කොට තවදුරටත් සමඟි සම්පන්නව කටයුතු කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

මෙහිදී දැනට නිකාය දෙකෙහිම මහා නායක ස්වාමීන් වහන්සේ අනුගමනය කරගෙන පැමිණි පිළිවෙත් ඒ විදිහට ම ආරක්ෂා කෙරෙනවා. එහෙත් එදිනෙදා රටේ ඇතිවන යම් ප්‍රශ්නවලදී අප තනි තීරණයකට එන්න බලාපොරොත්තු වන්නේ නෑ. මා ප්‍රකාශයක් කළත් එය සිදුවන්නේ නිකායේ අනෙකුත් ස්වාමීන් වහන්සේගේ අදහස් විමසීමෙන් අනතුරුවයි.

ඒ වගේ ම යම් හදිසි අවස්ථාවක් ඇති වුණොත් එහි දී අපි මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේත්, අමරපුර, රාමඤ්ඤ නිකායේ මහානායක හාමුදුරුවන් වහන්සේත් එකට එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව යම් තීරණයකට එනවා නම් එය ඉතා යහපත් බවයි මා අදහස් කරන්නේ. තනි තනිව යමක් කියනවාට වඩා රටේ පොදු ප්‍රශ්නවලදී, ජාතික, ආගමික ප්‍රශ්නවලදී නිකායත්‍රයේම මහානායක හාමුදුරුවන් වහන්සේ ඒකාබද්ධ ව, රට ගැන සිතලා, ධර්මානුකූල ව ප්‍රකාශයක් නිකුත් කරනවා නම් එය ඉතා බලගතුයි.

නාපානේ පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ තුළ විශේෂ දැක්මක් තිබුණා, භික්ෂූන් වහන්සේ දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු බවටත්, ආගමික කටයුතුවල පමණක් නිරතවිය යුතු බවටත්. මේ සම්බන්ධ ව ඔබ වහන්සේගේ මතය කුමක්ද?

පසුගිය කාලයේ ඇතැම් භික්ෂූන් වහන්සේ දේශපාලන පක්ෂ වශයෙන් පක්ෂවලට ගැතිවෙලා, ඒවායේ සාමාජිකත්වය අරගෙන, ඡන්දයට ඉදිරිපත්වීම ආදිය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයත් ඇති වුණා. රාජ්‍ය නායකත්වයට අනුශාසනා කිරීමේ දී, ශාසනය වෙනුවෙන් රජයෙන් යම්කිසි උපකාර ගැනීම් ආදියේ දී දේශපාලන පක්ෂවලට බෙදී කටයුතු කිරීමට වුවමනාවක් නෑ. එසේ පක්ෂග්‍රාහී වූ විට අප බලාපොරොත්තු වන දේ නිවැරැදිව කරගන්නට පුළුවන්කමක් නෑ. ඒ නිසා භික්ෂූන් වහන්සේ ස්වාධීන විය යුතු යි. රට කරවන අය වැරැදි පැත්තට යනවා නම් එය පෙන්වා දීම භික්ෂූන් වහන්සේලාගෙන් සිදුවිය යුතු දෙයක්. එය දේශපාලනයක් ලෙස නොවෙයි සලකන්නේ. අපගේ යුතුකමක් හැටියටයි.

මෙහිදී රජයට අවවාද කළ යුතු යි. විපක්ෂයේ වැරැදි පිළිවෙත් තිබෙනවා නම් ඒවා පෙන්වා දිය යුතු යි. ඒ වගේම යහපත් දේ තිබෙනවා නම් අගය කළ යුතු යි. ඒ යහපත් දේ පිළිගන්නා ලෙස රජයට කරුණු පෙන්වා දිය යුතු යි.

භික්ෂූන් වහන්සේ එක් පැත්තකට කොටු වුණොත් සමහරවිට එය ශාසනයේ පරිහානියට ද හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා පවතින රජයට කරුණු කාරණා පෙන්වා දෙමින්, නොමඟ යනවා නම් පැහැදිලි කර දෙමින් සම්බුද්ධ ශාසනයේත් රටේත්, දියුණුව ඇති කිරීමයි විය යුත්තේ යන්නයි මගේ හැඟීම.

ස්වාමීන් වහන්ස, ශ්‍රී සද්ධර්මය විකෘති කිරීම් පිළිබඳව කලින් කලට වාර්තා වෙනවා. මේ තත්ත්වය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට විශාල බලපෑමක් විය හැකි යි. මේ සම්බන්ධ ව රාමඤ්ඤ මහා නිකාය මඟින් යම් විසඳුමක් යෝජනා කරනවා ද?

ඇත්තටම මේ ප්‍රශ්නය අද ඊයේ ඇතිවුණ දෙයක් නොවෙයි. බුද්ධ කාලයේ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙය නොවෙයි නිවැරැදි කියන මිථ්‍යා දෘෂ්ටික මත ගත් භික්ෂූන් සිටියා. මෙවැනි පිරිස් කලින් කල ශාසනය තුළ ම සිටිනවා. බෞද්ධ වේෂයෙන් ම එහෙම පැමිණි පිරිස් සිටියා. තාපසයන් වහන්සේ යනුවෙන් හඳුන්වාගත් පිරිසක් හිටියා. 1956 වගේ කාලවල විනය වර්ධන කියලා කොටසක් හිටියා. එහෙත් අද තිබෙන තත්ත්වය වගේ ව්‍යාප්ත වුණේ නෑ. අද මාධ්‍ය ප්‍රබලයි. කියන දෙය ක්ෂණිකව සමාජගත වෙනවා.

ධර්මය විකෘති කිරීම ශාසනික පරිහානියට හේතු වෙනවා. ශාසනය ඇතුළෙම සිටිමින් ඒවා ව්‍යාප්ත කිරීමයි වඩාත් බරපතළ වී තිබෙන්නේ. මෙවැනි තත්ත්වයත් අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාම හොඳට පිරිසුදුවට තිබෙනවා. ත්‍රිපිටක ධර්මය තිබෙනවා. ථෙරවාදී ධර්මය මේ රටේ තිබෙනවා "අපි ඒ ධර්මය" ත්‍රිපිටකය, අටුවා ටිකා පිළිගන්නවා. ඒවායින් තමයි අවුරුදු දෙදහස් පන්සිය ගණන් ඉතිහාසයක් මේ ධර්මය සුරැකුණේ.

යම් යම් විකෘති කිරීම් තිබෙනවා. ඒවාට යන එන, පක්ෂපාතී වන, ඒ පසුපස දුවන පිරිසක් සිටිනවා. පෙරට වඩා වේගවත් බව වැඩියි. මර්දනය කිරීම අපහසුයි. සමහරවෙලාවට ඒවාට ප්‍රභූ පන්තියේ අයගේ උදව් උපකාර ලැබෙන අවස්ථා තිබෙනවා.

පසුගිය කාලයේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කළා. එහෙත් විකෘති කිරීම් පිළිබඳව පියවරක් ගත්තේ නෑ. මේ සඳහා රජය විසින් පරීක්ෂක මණ්ඩල පත් කරලා, විකෘති කිරීම් ඉවත් කරවීමේ වැඩ පිළිවෙළක් සකස් කරනු ලැබිය යුතුයි. නැතිනම් මේ තත්ත්වය අනාගතයට බරපතළ ප්‍රශ්නයක් විය හැකි යි. දැන් සිටින අය සත්‍ය ධර්මය දන්නවා. විකෘති කිරීම් ගැනත් දන්නවා. එහෙත් විකෘති ධර්මය පොත් පත්වල ලියැ වුණාම, අනාගතයේ බිහිවෙන අපේ දරුවෝ ඒවා දන්නේ නෑ. හරි කියල පිළිගන්නට ඉඩ තිබෙනවා.

ලංකාවේ බුදුන් උපන්නා කියලා ලේඛනගත වුණාම අනාගත පරපුර ඒවා පරිශීලනය කිරීමෙන් මේ මතය ඒ අය අතරට යනවා. එය ශාසනයට ලොකු ප්‍රශ්නයක් විය හැකියි. ඒ නිසා අපේ ශාසන භාරකාරී ස්වාමීන් වහන්සේ, බෞද්ධ රාජ්‍යයක් හැටියට රාජ්‍ය නායකත්වය මේ ගැන සාකච්ඡා කරලා ඉක්මන් පියවරක් ගත යුතු යි.

ඇතැම් දේශකයන් කියනවා භික්ෂූන් වහන්සේ නිසා මේ රට දියුණු කළ නොහැකියි කියලා. එතැනම භයානක බව පෙනෙනවා.

මේ තත්ත්වය තනි පුද්ගලයකුට විසඳිය නොහැකියි. සෑම දෙනාම සාමුහිකත්වයෙන් ඒ ගැන වැඩ පිළිවෙළක් සකස් කළ යුතු යි.

ඇතැම් බෞද්ධයන්ට පෝය දිනකදී වත් විහාරස්ථානයකට යෑමේ නිසි ක්‍රමවේදයක් නොමැති බවටත්, තරුණ දරුවන් ආගම දහමින් දුරස්වන බවටත් ඇතැම් පිරිස් චෝදනා කරනවා. මේ තත්ත්වය වෙනස් කරන්නට කළ හැකි දේ මොනවාද?

යම් වැරැදි වැඩවල නිරත වන තරුණ පිරිස් ඉන්නවා. ඒත් අද අපේ තරුණ දරුවො හොඳ පැත්තට යොමු වෙමින් සිටින බව පැහැදිලිව ම පෙනෙනවා. දුම් පානය, මත් වතුර භාවිතය තරුණ දරුවන් අතර අඩු ස්වභාවයක් පෙනෙනවා. ඇතැම් වැඩිහිටියන් තමයි තැනක් නොතැනක් නොසලකන්නේ.

සීල සමාදානයට යොමු වුණු තරුණ දරුවෝ ඕනෑ තරම් සිටිනවා. මහරගම ධර්මායතනයේ තරුණ සීල සංවිධානය දෙස බලන්න. ශක්තිමත් තරුණ පිරිසක් ඉන්නවා. එහෙත් ගම්බද මේ තත්ත්වය දැන් වෙනස් වේගන යනවා. වැඩිහිටි උපාසක උපාසිකාවන් විහාරස්ථානයන්ට පැමිණියත් ගමේ ඇතැම් තරුණ පිරිස් එය මඟ හරිනවා. නාගරික සමාජයේ තරුණ දරුවො විහාරස්ථාන වෙත ඇදෙනවා. විදේශගත ව සිටින බොහෝ තරුණ පිරිස් මේ රටේ ධර්ම දේශනා ඇතුළු අනෙකුත් ආගමික කටයුතුවලට විශාල ලෙස දායකත්වය ලබා දෙනවා. වෙහෙර විහාරස්ථානවලට උදව් කරනවා. ඒ නිසා පිරිහීමක් තිබෙනවා යැයි ම කිව නොහැකියි. සිදු වී තිබෙන්නේ හොඳ පැත්ත ප්‍රචාරය නොවීමයි. නරක දෙය ඉතා සුළුවෙන් සිදු වුණත්, ඉහළින් ප්‍රචාරය කෙරෙනවා. තත්ත්පර ගණනකින් රටටම, ලෝකයටම පෙන්වනවා.

හොඳ ක්‍රියාකාරකම් ඕනෑ තරම් තිබෙනවා. ඒවා ප්‍රචාරය වෙනවා නම් ඉතා හොඳයි. අපේ බොහෝ අයගේ සිරිත අතීතය හොඳයි, වර්තමානය නරකයි කියන එකනේ. අදත් හොඳ දේ තිබෙනවා. ප්‍රචාරයයි අඩු.

වරින්වර ඇතිවන ශාසනික ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බුද්ධ ශාසන කොමිෂම් සභා ආරම්භ කෙරුණා. විවිධ පණත් ගැන සාකච්ඡා කෙරුණා. එහෙත් තවමත් නිසි ප්‍රතිඵලයක් නොලැබුණ බවයි දකින්නට තිබෙන්නේ. මේ සම්බන්ධ ව ඔබ වහන්සේගේ ආකල්පය කුමක්ද?

ජනාධිපතිතුමා මේ ගැන සිතලා තිබෙනවා. ඒ ගැන එතුමා සමඟ කළ සාකච්ඡාවේදී පැහැදිලි වුණා. සමහර පණත් සම්මත කර ගන්නට නොහැකි වී තිබෙන්නේ භික්ෂූන් වහන්සේගේ එකඟත්වයක් නැති නිසයි.

ඒ වගේ ම අපි මොන පණත සම්මත කළත් ඒ, ඒ පුද්ගලයාගේ සංවර්ධනය ඇතිවීම අවශ්‍යයි. නීතියෙන් සියල්ල ම කළ නොහැකි යි. නීතියට වඩා ලජ්ජා, බිය දෙක ඇතිව කවුරුත් කටයුතු කරනවා නම් පණත නැති වුණත් නීති ගරුක පුද්ගලයන් බිහිවෙනවා. භික්ෂූන් වහන්සේ ඒ, ඒ නිකායන්වලින් ලබාදෙන විනය නීති, සම්මතයත් පිළි ගන්නවා නම්, ඒවා ගෙන යන්න පුළුවන්. ඒත් ශ්‍රද්ධාව අඩුවන විට යම් යම් අඩුපාඩු සිදුවෙනවා. බුදු දහමේ ප්‍රධානම දෙය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කෙනා වරදට පෙළඹෙනවා අඩුයි.

මේ වන විට බුද්ධ ශාසන කොමිෂන් සභා කිහිපයක් ම ක්‍රියාත්මක කළා. 1956 වසරේදීත් තිබුණා. චන්ද්‍රිකා මැතිණියගේ කාලයේත් ආවා. වර්තමානයේත් නොයෙක් ඉල්ලීම් තිබෙනවා. අප සිතනවා ඉදිරියේ දී මෙයට විසඳුමක් ලැබෙයි කියලා. වත්මන් ජනාධිපතිතුමාගේ යුගයේ දී එතුමාට දේශපාලනඥයකුටත් වඩා මේ රට සංවර්ධනය කරන්නට, ආගමික සංවර්ධනයක් ඇති කරන්නට බලාපොරොත්තුවක් තිබෙන බව එතුමා සමඟ කළ සාකච්ඡාවේ දී අපට වැටහුණා. ඒ නිසා මේ යුගයේ දී මේ ගැටලු විසඳෙන බවට අපට ලොකු විශ්වාසයක් තිබෙනවා.

ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කර, ජනාධිපතිතුමා දැනුම්වත් කරලා, කොමිෂන් වාර්තා ක්‍රියාත්මක කිරීමට නිකායත්‍රයේ ම ස්වාමීන් වහන්සේ, සංඝ සභාවන් උනන්දු වීමයි විය යුතු වන්නේ.

උතුරු, නැඟෙනහිර බෞද්ධ සිද්ධස්ථානවලට අන්තවාදීන් විසින් විවිධ අකටයුතු සිදු කරනු ලබන බවට වරින් වර වාර්තා වෙනවා. මේ අපේ උරුමයන්. ඒවා ආරක්ෂා කර ගැනීමට ශක්තිමත් ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ සම්බන්ධ ව නිකාය වශයෙන් යම් යෝජනාවක් තිබෙනවාද?

සාමාන්‍යයෙන් අන්තවාදී පිරිස් කවර තැනත් සිටිනවා. එතැන දී ජාතියක්, ආගමක් ගැන නම් කළ නොහැකියි. එහෙත් අප උතුරු නැඟෙනහිර පුරා වස්තු ආරක්ෂා කරගත යුතු යි. දීඝවාපී චෛත්‍ය පිළිබඳව බලමු. පසුගියදා එම සිද්ධස්ථානයෙන් පෞරාණික කරඬු, ධාතුන් වහන්සේ හමු වුණා. මේ පෞරාණික ස්ථානවල විශාල වටිනාකමක් තිබෙනවා. ඒ වගේම මේ වටිනා තැන්, පැරැණි පුරාවිද්‍යාත්මක නීතිවලට යටකර නොතබා සංවර්ධනය කළ යුතු යි.

මේ සඳහා සංඝයා වහන්සේ මූලික කරගත යුතු යි. සමහර වෙලාවට සිදුවන දේ අමිහිරියි. භික්ෂූන් වහන්සේ මේ ස්ථානයන්හි විහාරස්ථානයක් ඉදි කිරීමට කටයුතු කරන විට නීතිමය ගැටලු එනවා. සමහර වෙලාවට සංඝාවාසයට අවශ්‍ය වැසිකිළිය සාදා ගන්නවත් වළක් කපා ගන්න දෙන්නේ නෑ. එතැන දී තමයි පසුබැසීම් ඇති වන්නේ. අප නීති ගරුක විය යුතු යි. ඒ වගේම අවශ්‍යතා ගැනත් සිතිය යුතුයි. ඉස්සර මේ තැන්වල පන්සල් තිබුණා නම් ඒවායේ වැසිකිළිත් තිබුණා. ආවාස තිබුණා.

සමහර තරුණ ස්වාමීන් වහන්සේ මෙවැනි පෞරාණික ස්ථාන වෙත ගොස් ඒවා ගොඩ නඟන්නට කැමැත්තෙන් සිටිනවා. ඒ ඇත්තන්ට සහයෝගය දෙමින්, ඉඩ සලසා දෙනවා නම් මේවා සංවර්ධනය කර ගන්න පුළුවන්.

දැනට තිබෙන ප්‍රශ්නය මේ ප්‍රදේශවල බෞද්ධයන් නොමැතිකමයි. ඒත් අපේ දෙමළ බෞද්ධයෝ සිටිනවා. සමහර විට හින්දු ආගම ඇදහුවත් බෞද්ධාගමේ සංකල්පවලට ගරු කරන අය ඉන්නවා. ඒ අයගේත් උදව් අරගෙනන වැඩ කරන්න පුළුවන්.

දිඹුලාගල, සේරුවාවිල, සෝමවතිය වගේ පෞරාණික පුදබිම් රැක ගත්තේ අපේ හාමුදුරුවරු ජීවිත පරිත්‍යාගයෙන් යුතුවයි.

අප අද වන්දනා මාන කරගන්නේ උන්වහන්සේ ඒවා ආරක්ෂා කර දුන් නිසයි. සේරුවාවිල වගේ තැන් කැළෑවටම යට වෙන්නට ඉඩ දුන්නා නම් අද මේ තත්ත්වය නෑ. හාමුදුරුවරු ගිහින් කැලෑවට යටවන සෝමවතිය එළි පෙහෙළි කළා. එදා පුරාවිද්‍යාවෙන් ඒවා නතර කළා නම් අද මේ පුදබිම් දකින්නට ලැබෙන්නේ නෑ. ඒ නිසා අපේ නිලධාරීන් තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා.මේ අපේ උරුමය. අපේ රට. සිංහල බෞද්ධයා ගොඩනැඟූ දේ. මේවා ඉදිරියටත් රැක ගන්න ඉඩ දිය යුතු යි.

ඊළඟට ඒ ප්‍රදේශවල ගොවි ජනතාව ජීවත් වෙනවා. ඒ අය කවදත් ජීවත් වුණේ ගොවිතැනින්. ඒ කටයුතුවලට යම් බලපත්‍රයක් දීලා කටයුතු කළ හැකියි. ඒ අයට පහර දී එළවා දැමීම නොවෙයි. කල් ඇතිව තේරුම් කර දී භූමිය වෙන්කර දිය යුතු යි. එහෙම නැතිව කැලෑවටම යට වෙන්නට ඉඩ නොහැරිය යුතු යි.

අන්‍යාගම්කරණය ගැන නිතර කතා බහට ලක්වෙනවා. විශේෂයෙන් දිළිඳු ජනතාව උපක්‍රමශීලී ව ආගම්වලට හරවා ගන්නා බවටයි තොරතුරු ලැබෙන්නේ. බෞද්ධයා රැක ගැනීමට යම් වැඩ පිළිවෙළක් තිබෙනවාද?

මේ තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොවෙයි. වසර ගණනාවක සිටයි ක්‍රියාත්මක වන්නේ. අපි මේ තත්ත්වය කරුණාවෙන් බෞද්ධ ජනතාවට අවබෝධ කළ යුතුයි. දුප්පත් අය ඉන්නේ සිංහල බෞද්ධයන් අතර පමණක් නොවෙයි. ආගම් ප්‍රචාරය කරන අය අතරත් මොන තරම් ඉන්නවාද? එහෙම නම් ඒ අයටත් උදව් කළ යුතු යි. සිංහල බෞද්ධයන් තෝරාගෙන උදව් කරන්නේ පටු පරමාර්ථයෙන් බව පැහැදිලියි. ඒ නිසා අප පුළුවන් තරම් අපේ වෙහෙර විහාරස්ථානවල බෞද්ධ ජනතාව නඟා සිටුවීම සඳහා උපදෙස් ලබා දිය යුතු යි. ආර්ථිකය නඟා සිටුවීමට උපකාර කළ යුතු යි.

අපේ බොහෝ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් විදේශ ආධාර, උපකාර ඇතිව බෞද්ධ ජනතාවට උපකාර කරනවා. අපේ පන්නිල ආනන්ද හාමුදුරුවෝ ම මොන තරම් සේවයක් කරනවාද? පාසල් පන්සල් ඉදිකරනවා. රෝහල්වලට පහසුකම් සලසනවා. ඒ වගේ උපකාර කළ හැකි අය ඉදිරිපත් වනවා නම් අපේ බෞද්ධ ජනතාව අන්‍ය ආගම්වලට යෑම අඩු කරන්න පුළුවන්.

අද අප කොරෝනා නැමති භයානක රෝග උවදුරකට මුහුණ දී සිටිනවා. ආගමික වශයෙන් මේ වසංගත රෝගයට මුහුණ දෙන්නේ කෙසේද?

ආගමික වශයෙන් කවදත් අපට ආශිර්වාදය ලැබෙනවා. අපි තුනුරුවන්ගේ ආශිර්වාදය පෙරදැරි කරගෙනයි ජනතාවට උපදෙස් දුන්නේ. බුද්ධ කාලයේ පවා වසංගත රෝග ඇති වුණාම බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කළා. වෛද්‍ය විද්‍යාව දියුණුයි. ආගමික අංශයටත් ජනතාව යොමුවිය යුතු යි. ඒ වගේම රෝගය සමනය කර ගැනීමට කවුරුත් ඇප කැප විය යුතුයි. වෛද්‍ය අංශවලින්, රජයෙන් නීති රීති පනවා තිබෙනවා. ඒවා අනුගමනය කළ යුතු යි. හිතුවක්කාරීකමට කටයුතු කළොත් අනෙක් අයටත් කරදර වෙනවා.

  ඉල්
අව අටවක 

දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.

අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]