[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දීඝනක සූත්‍රය: ඇතිවීම නැතිවීම නුවණින් දකිමු

දීඝනක සූත්‍රය:

ඇතිවීම නැතිවීම නුවණින් දකිමු

මජ්ක්‍ධිම නිකායේ දීඝනක නමින් සූත්‍රයක් තිබෙනවා. දීඝනක පරිබ්‍රාජක අන්‍ය ආගමික අයෙක්. මේ තැනැත්තා දවසක් බුදුන් වහන්සේ වැඩ සිටින රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ සූකර කත ලෙන වෙත ගියා. බුදුන් වහන්සේ එවිට,

බුද්ධත්වයට පත්ව වසරක්වත් ගත වුණේ නැහැ. සාරිපුත්‍ත මහ රහතන් වහන්සේ පැවිදි ව වැඩි දවසක් නැහැ. මුගලන් හිමියන් පැවිදිව දින හතකින් රහත් වුණා.

සාරිපුත්ත රහතන් වහන්සේ සූකර කත ලෙනෙහි වැඩ සිටියදී උන්වහන්සේගේ මාමා කෙනෙක් වූ ‘දීඝනඛ’ මිසදිටුකම් ගැන ප්‍රකාශ කළා. බුදුන් වහන්සේත් ඒ ගැන සාකච්ඡාවෙන් දීඝනඛ පරිබ්‍රාජක තුමාට රූපයේ ආදීනව වදාළා.

රූපය සැකසී ඇත්තේ පඨවි, ආපෝ, තෙජෝ , වායෝ ධාතු සතරකින්. මව්පියන්ගේ සම්බන්ධයෙන්. තව ද ආහාර පාන , සහ සම්බන්ධයෙන් ජීවිතය හට ගන්නවා. වර්ධනය වෙනවා. කෙසේ වුණත් රූපයේ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන් සතර යි.

රූපයේ නිබඳව ම ඇත්තේ වෙනස්වන ස්වභාවය යි. අනිච්ඡ ලක්ෂණයෙන් කැපී පෙනෙනවා. පිරිමැදීමෙන්, බි¼දී යෑමෙන් , බැහැර ව යාමෙන්, අනිත්‍ය වශයෙන්, මේ රූපස්ඛන්ධය රෝගයක් වශයෙන්, ගෙඩියක් සේ, උලක් සේ , දුක් උපදවන දෙයක් ලෙස , ආබාධ දෙයක් සේ, අන්සතු දෙයක් සේ බෙදෙන බව වටහාගෙන හිස් වූ , අනාත්ම වූ දෙයක් ලෙස මෙනෙහි කරන්නට වදාළා.

රූපස්ඛන්ධය , රූප උපාදානස්ඛන්ධය, කෙටියෙන් සඳහන් කළොත් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නැ’යි වදාළා.

වේදනාවත් සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනා ආදිය ද අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නැ’යි වදාළා.

එවිට හොඳ නුවණක් පහළ වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමේ නුවණ පහළ වෙනවා. එවිට නුවණත් මුල් කරගෙන අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වටහා ගැනීමේ ප්‍රඥාවත් පාදක කරගෙන යාමෙන් තමන්ට විදර්ශනා ඥාන දියුණුවෙන් මාර්ග ඵල අවස්ථාවට පත් වෙන්නට පුළුවන්.

බුදුන් වහන්සේට පිටුපසින් පවන් සලමින් වැඩ සිටි සාරි පුත්ත මහ රහතන් වහන්සේත් මේ දේශනාව හොඳීන් අසාගෙන සිටියා. රූපයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, වේදනාවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හොඳීන් මෙනෙහි කළා. මෙලෙස දීඝනඛ පරිබ්‍රාජක තුමාට කළ දේශනාවෙන් සාරිපුත්ත හිමියන් මහ රහත් භාවයට පත් වුණා. වේදනාපරිගහ සූත්‍රයෙන් රහත් වුණා.

දීඝනඛ පරිබ්‍රාජක තුමා තුනුරුවන් සරණ ගිය සැදැහැවත් උපාසකයෙක් ව සෝවාන් ඵල ලැබුවා.රූපස්ඛන්ධය, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු ම යි. එනම් ශරීරය තුළ ඇති රූප විසි අට ගැන යි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් භූත රූප සතරයි. චක්ඛු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ඝාන ප්‍රසාද රූප, ජිව්හා ප්‍රසාද රූප , කාය ප්‍රසාද රූප වශයෙන් ප්‍රසාද රූප පහ යි.

රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප , ගෝචර රූප සතරයි. ජීවිතේන්ද්‍රිය රූප, හදය වස්තු රූප, භාව රූප දෙක කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති රූප දෙක , ආකාස රූප, ආහාර රූප, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා රූප තුන ,

උපචය, සන්තති, ජරතා, අනිච්ඡතා, ආදී රූප සතරත් සමඟ රූප විසිඅටක් තිබෙනවා.

මේ එකක් පාසාම අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ආදීනව බලමින්, රූපය වෙන්ස්වීම බලමින්, අසාර බව සිතමින්, වයෝවෘද්ධ වෙන,මිය යන බව සිතාගෙන රූපයේ ආදීනව ම සැලකිය යුතු යි. රූප විසි අට සටහන් කරගෙන පඨවි රූපය අනිත්‍ය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් රූප විසි අටම මෙනෙහි කිරීම රූපස්ඛන්ධ විදර්ශනාව යි. එවිට තමන්ට සිරුර පිළිබඳ ඇති ආශාව , තෘෂ්ණාව ප්‍රහාණය වී යනවා. කෙනකුගේ තෘෂ්ණාව වැඩි වන්නේ මෙහි ආදීනව නොබලන නිස යි. තෘෂ්ණාව ම , ඇලීම ම අඩු කළ යුතු යි. ඒ නිසා ඇතිවන ගැටීම ද අඩු කළ යුතු යි. ඇලීම සහ ගැටීම අඩුකර ගන්න පුළුවන් නම්, රූපය පිළිබඳ තෘෂ්ණාව අඩු කරගත හැකි යි. සියලුම සත්ත්වයන්ට රූපය තිබෙනවා.

රූපය හටගන්නේ ද කර්ම විපාකයන් ගෙනි. දෑස් නොපෙනේ නම්, දෙසවන් නොඇසේ නම්, ඒ අකුසල විපාක යි. හොඳීන් දෑස් පෙනේ නම්, දෙසවන් ඇසේ නම් ඒ කුසල විපාක යි. මෙසේ ජීවිතය සරු වන්නේත්, නිසරු වන්නේත් කුසල සහ අකුසල විපාකයන්ගෙනි. එය හොඳීන් වටහාගෙන තමන්ගේ ශරීර කූඩුවෙහි ඇති රූප විසි අටම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි.

මෙලෙස ශාන්තව මෙනෙහි කරද්දී උදයබ්භය ඥානය, සම්මසන විදර්ශනා ඥානය ලැබෙනවා. ඇතිවීම, නැතිවීම දැකීමේ නුවණ ලැබෙන්නේ උදයබ්භය ඥානයෙනි. මේ ගැන කවුරුත් හොඳීන් දැනගෙන රූප උපාදානස්ඛන්ධය හෙවත් මේ ශරීර කූඩුව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි වශයෙන් මෙනෙහි කළ යුතු යි.

වේදනා උපාදානස්ඛන්ධය ද සුඛ වේදනා සහ දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනාව හෙවත් උපේක්ෂා වේදනාව වශයෙන් තෙවදෑරුම් වෙයි. එයත් හටගන්නවා, පවතිනවා, නැති වෙනවා . නැවතත් වේදනාව හටගන්නවා, පවතිනවා, නැති වෙනවා. එහි ඇත්තේ ද අනිත්‍ය, දුක්ඛ , අනාත්ම මෙනෙහි කිරීම යි. සැප වේදනාව ද අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. දුක්ඛ වේදනාව අනිත්‍ය යි, දුක්ඛ යි,අනාත්ම යි , උපේක්ෂා වේදනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි වශයෙන් එකක් පාසාම හොඳීන් මෙනෙහි කළ යුතු යි. ඕනෑම තැනක වේදනාවක් දැනුනොත් එය සැප

වෙන්නත්, දුක් වෙන්නත් පුළුවන්. අතේ වේදනාවක් නම්, අතේ වේදනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. කායික වේදනාව සැප වේදනාවක් නම්, එය ද අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. දුකත් නැති, සැපත් නැති මැදහත් වේදනාවක් නම් එය ද අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. මෙලෙස තමාට දැනෙන වේදනාව මෙනෙහි කළ යුතු යි.

දීඝනඛ සූත්‍රයේ සඳහන් වන්නේ, කෙනෙක් කියතක් ගෙන ,අතපය කපා දමනවා නම්, ඉරා දමනවා නම් එයත් ඉවසන්න යනුවෙනි. වේදනාව ම ඉවසිය යුතු ම යි. එහෙත් එය බොහොම අපහසු අවස්ථාවක්. වේදනාව මෙනෙහි කරමින් තිස්ස තෙරණුවෝ ද රහත් වූවා. උන්වහන්සේගේ මරණය සහ රහත් වීම එක වරම සිද්ධ වුණා. මේ ගැන හොඳීන් දැන කියාගෙන කවුරුත් වේදනාව මෙනෙහි කරගෙන වේදනා පස්සනාවෙන් රහත් වීමට බලාපොරොත්තු වන්න. වේදනාව දෙස නැවත නැවත බැලීම වේදනානුපස්සනාව යි.

එසේ ම තම සිරුරට ලැබෙන සියලු වේදනාවන් හොඳීන් වේදනා වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම්, එය ඉතා වැදගත් වන අතර එය වේදනානුපස්සනා සතිපට්ඨානය යි. වේදනාව මෙනෙහි කරන්න අපහසු නම්, කෑකෝ ගසනවා නම්, විළාප නඟනවා නම් ඒ අවස්ථාව තමාට යහපතක් වන්නේ නැහැ. සියලුම වේදනාවෝ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමට බුදුන් වහන්සේ වදාළා. වේදනා උපාදානස්ඛන්ධය අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් කවුරුත් මෙනෙහි කළ යුතු යි. බුදුන් වහන්සේ රූප උපාදානස්ඛන්ධය, වේදනා උපාදානස්ඛන්ධය, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් පහදා දුන්නා. එලෙස මෙනෙහි කර දීඝනඛ පරිබ්‍රාජක තුමා සෝවාන් වීමට භාග්‍ය ලැබුවා. ඒ දේශනාව අසා සිටි සැරියුත් තෙරුන් වහන්සේ පැවිදි වී දින පහළොවකින් රහත් බව ලැබුවා.

මේ ගැන කවුරුත් හොඳීන් දැනුම්වත් ව ලොවුතුරා බුදුදහම කෙතරම් වැදගත් ද යනුවෙන් වටහාගෙන කටයුතු කිරීම බොහොම වටිනවා. ඒ කොයි දේ කළත් අවසානයේ අයත් වන්නේ සීල, සමාධි, ප්‍රඥා වෙත යි.

එය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එනම්, නිවනට යන මග යි. සිත පිරිසුදු නම් මේ මඟ යා හැකි යි. ඒ නිසා කවුරුත් ඉවසීමෙන්, කරුණාවෙන් , මෛත්‍රියෙන් , නුවණින් කල්පනා කර මේ ගමන ඉදිරියට ම යන්න. මතුවෙන අඩුපාඩු යටපත් කරගෙන , ඉවසා දරාගෙන ගියොත්, නිවන දෙසට යා හැකි යි. ඒත් සමඟ ම අවශ්‍ය කරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වචන තුන යි. හොඳීන් නුවණින් කල්පනාවෙන් සෑම දෙයක් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට දැනෙන, දිවට, සිරුරට දැනෙන සෑම සැප සහ දුක් අරමුණක් ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එවිට තමාටත් රහත් වීමේ භාග්‍ය ඉතා ඉක්මනින් ම උදා වේවි.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]