ආදීනව දැන සිටියත්
සීලය රැක ගැනීම
අපහසු ඇයි?
කොළඹ විජේරාම මාවතේ,
ජාත්‍යන්තර විපස්සනා
භාවනා මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර
කාශ්‍යප හිමි
යම් දෙයක් නිසා දුක් ඇති වූ විට සිත පෙළඹෙන්නේ එම දුක් නැති කර ගෙන සතුටට පත් වෙන
ආකාරයට පරිසරය සකස් කර ගැනීමටයි. ඒ සඳහා නොයෙකුත් වැරදි ක්‍රියාකාරකම් සිදු කිරීමට
පවා සිත පෙළඹේ.
බෞද්ධයන් ලෙස අපි සීලය ගැන නිතර කතා කරමු. එහෙත් සීලය රැකීමේ ප්‍රායෝගික ක්‍රමයක්
පිළිබඳ ව සාකච්ඡා කරන්නේ ඉතාම අඩුවෙනි. සීලය කැඩීමේ ආදීනව කොපමණ දැනගෙන සිටියත්,
රැකීමට කොතරම් උත්සාහ ගත්තත් එය ආරක්ෂා කර ගන්නට නොහැකි වෙන අවස්ථා විශාල වශයෙන්
ඇති වන්නේ ඇයි දැයි යන්න ඉතාම හොඳීන් විමසා බැලිය යුතු කාරණයකි.
සාමාන්‍ය වශයෙන් ගත් කල අපේ සිතේ ඇති ස්වභාවයක් වන්නේ,කයට සැපයක් හා සිතට සතුටක්
ඇතිවෙන ආකාරයට කටයුතු කරන්නට නිබඳව පෙළඹීමයි. ඒ සඳහා කළ යුතු බොහෝ උපක්‍රම,අන් අයට
හිරිහැර කරමින් පවා ක්‍රියාත්මක කරන්නට සිත පෙළඹෙයි. සීලයක් පලුදු වන්නේ ද මෙවැනි
විෂම තත්ත්වයකට සිත පත්වීමෙනි.
යම් දෙයක් නිසා දුක් ඇති වූ විට සිත පෙළඹෙන්නේ එම දුක් නැති කර ගෙන සතුටට පත් වෙන
ආකාරයට පරිසරය සකස් කර ගැනීමටයි. ඒ සඳහා නොයෙකුත් වැරදි ක්‍රියාකාරකම් සිදු කිරීමට
පවා සිත පෙළඹේ. ඕනෑම දෙයක් සිදුවන ආකාරය තේරුම් ගැනීමට නම් අපේ සිත දෙස ඉතා
විමසිල්ලෙන් බැලිය යුතු ය. එබැවින් සීලය කැඩෙන්න හේතු සොයා ගැනීමේදීත් උදාහරණ සහිතව
සිතේ ක්‍රියාකාරීත්වය දෙස විමසා බැලිය යුතුව ඇත.
මදුරුවෙක් වැනි කුඩා සතෙක් පවා පුද්ගලයකුට කරදර කරමින් කන වටේ කැරකෙන විට පුද්ගල
සන්තානය තුළ ඇතිවන්නේ තරහ මිශ්‍රිත දුකකි. එම දුක නැති කර ගැනීම සඳහා එම සතා මරා
දැමීමට උපක්‍රම යොදා එම ක්‍රියාකාරකම කරමින්, සිත සතුටු වෙන බව නොරහසකි.
අන්සතු වස්තුවක් දැක තණ්හාව ඉපදුනු පුද්ගල සන්තානය දුකට පත්වේ. එම දුක නැති කර
ගැනීම සඳහා එම වස්තුව හොර රහසේ ම, උපක්‍රම යොදමින් තමා සන්තකයට ගැනීම සිදු කරයි.
එයින් එම තැනැත්තාගේ සිත සතුටු වේ. සැබැවින් ගත් කල එම පුද්ගල සන්තානයට දුක් නැති
කර ගැනීමේ වෙනත් විසඳුමක් දැනෙන්නේ ද නැත. එම නිසාවෙන් සැබැවින් ම සිදුවන්නේ වරද
කිරීම නොව, වරද කිරීමට සිදුවීමයි.
තමන්ගේ මව්, තමන්ගේ පියා, සහෝදරයා, සහෝදරිය, ලෙස සිතා ගනිමින් ඉතා ගෞරවයෙන් සලකන තම
ස්වාමියාට, භාර්යාවට ද්‍රෝහි වෙමින් යම් පරිසරයක් සකස් වූ විට, කාමය වරදවා
හැසිරීමට, ඒ ඒ සන්තාන පෙළඹෙන්නේ, එසේ නොකළ හොත් ඇතිවන අධික වූ පීඩිත දුක්ඛිත
ස්වභාවය නිසා ය.එයින් ගැලවීමක් නොමැති වෙන සිත එම වරද සිදු කර එම මොහොතේ සතුටු වී
පසුව පසුතැවිලි වෙමින් විශාල දුකකට පත්වේ. නමුත් එම මොහොතේ දී එම තත්ත්වයන් පාලනය
කර ගැනීමට පුද්ගලයාට නොහැකි වන්නේ ඉවසිය නොහැකි දුකක්, පීඩනයක් ඇතිවන බැවිනි.මෙම
තත්ත්වයේ සත්‍යතාව,ඉතා විමසිල්ලෙන් සත්‍යවාදී ව තමන් දෙස විමසා බැලීමෙන් අවබෝධ කරගත
හැක. මේවාට සාර්ථක විසඳුම් සොයා ගත හැකි වන්නේ ද එසේ සත්‍ය තත්ත්වය තේරුම් ගැනීමෙන්
පමණි’.
යම් අවස්ථාවක දී අන් අය රැවටීම සිදු නොකළ හොත් තමන් දුකට පත්වන බව තේරුම් ගන්නා
පුද්ගල සන්තානය, යම් පුද්ගලයකු රැවටීමට උපක්‍රම යොදා රවටා, රැවටූ බව තේරුම්ගෙන සිත
සතුටට පත් කර ගනී.
කෙනකුගේ පරුෂ වචන ඇසීමෙන් ඉතාමත් කෝපයට හා දුකට පත් වෙන සිත,එම දුකින් අත්මිදීමට
ක්‍රමවේදයක් නොමැති ව පෙරළා පරුෂ වචනය කියන්නට පෙළඹෙයි. එහෙයින් ඔහුගේ සිතට සතුට
ඇතිවේ.එනම් ඇති වූ දුක නැති කරගෙන සතුට ඇතිකර ගැනීම සඳහා පුද්ගලයකු පරුෂ වචන
කියන්නට පෙළඹෙයි.
අනුන්ගේ තොරතුරු දැන ගැනීම සඳහා සහ කෙලෙස් වලට අනුග්‍රහය පිණිස අල්ලාප සල්ලාපයේ
යෙදී සිටීමට කැමති සිත එම අවස්ථාව අහිමි වීමෙන් ලැබෙන දුක් නැතිකර ගැනීම සඳහා
සම්ප්‍රප්පලාපාවන්හි යෙදෙයි. එයින් සතුටු වෙයි.
සුරා පානය කිරීමේ ආදීනව දැන දැනත් නැවැත්වීමට උත්සාහ ගත්තත් නවතා ගත නොහැකිව
ලතවන්නේ එයින් ලැබෙන සතුටට සිත වහල් වී ඇති බැවිනි. ඇබ්බැහිය යනු ද එයයි. ඕනෑම දේකට
ඇබ්බැහි වන්නේ එයින් ලබන සතුටට විකල්ප සතුටක් ලබා දීමට නොහැකි බැවිනි.
මේ තත්ත්වය තේරුම් නොගැනීමෙන් මිනිස්සු නොයෙකුත් දේවලට ඇබ්බැහි වෙති. දුරකථන පවා
අතහැර ගන්නට නොහැකිව ඒවා මතම තමන්ගෙ ජීවිතයේ වැඩිපුර කාලයක් යොමු කරමින් කටයුතු
කරන්නේ ඒවායින් ලබන සතුටට විකල්ප සතුටක් නොපෙනෙන, නොදැනෙන බැවිනි. සැබෑවට ම සීලය
කැඩෙන්නේ විකල්පයක් ලබා දෙන්නට අපේ මනසිකාරය දැනුමෙන් පෝෂණය වී නොමැති බැවිනි.
පංචකාම සම්පත්තියෙහි සිත ඇලී-ගැලී වාසය කරන්නේ ද මෙම කාරණාව නිසාවෙන් ම ය. පංචකාම
සම්පත්තියෙහි ඇලී-ගැලී වාසය කිරීම ගේහ නිශ්‍රිත සෝමනස්සය ලෙස බුද්ධ ධර්මය තුළ
හඳුන්වයි. මෙම ගේහ නිශ්‍රිත සෝමනස්සය නැවත නැවත ඇති කර ගන්නා වාරයක් වාරයක් ගානේ
පංච කාම සම්පත්තිය කෙරෙහි තණ්හාව උපදින අතර, එය නොයෙකුත් වස්තූන් කෙරෙහි උපාදාන
මට්ටමට ඇතිවීම නවතාලිය නොහැක. සීලය කඩමින් තණ්හාව පෝෂණය කරන්නේ එහි විෂම වූ
තත්ත්වයට පත් වූ විටයි.මේ තත්ත්වය මෙලොව, පරලොව දෙකෙහි ම පරිහානිය සඳහා හේතු වේ.
එබැවින් ගේහ නිශ්‍රිත සෝමනස්සය ප්‍රහාණය කළ යුතුව ඇත. ගේහ නිශ්‍රිත සෝමනස්සය
ප්‍රහාණය කළ හැක්කේ නෙක්ඛම්ම නිශ්‍රිත සෝමනස්ස තුළින් බව ධර්මයේ සඳහන් වේ. එසේ නම්
නෙක්ඛම්ම නිශ්‍රිත සෝමනස්සය යන්න කුමක්ද යන්නත්, එය උපදවා ගන්නේ කෙසේද යන්නත් අප
විමසා බැලිය යුතුව ඇත.
පස්කම් සැපය භාවිත කරමින් සන්තානයක උපදනා වූ සතුටට වඩා වැඩි සතුටක් එයින් ඉවත්
වීමෙන් ලබන බව දන්නේ ලෝකයේ ඉතා සීමිත පිරිසකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය
තුළ ඇති ප්‍රායෝගිකත්වය අත්විඳින්නා වූ පිරිස් මේ බව දැන පස්කම් සැප අතහැරෙන
ප්‍රතිපත්තියෙහි, එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි භාවිතයෙන් තම සන්තාන පස් කම් සැප
කෙරෙහි ඇති තණ්හාවෙන් මුදවා ගනිති.
ප්‍රහාණය යනු ප්‍රහාණය කරන ආකාරය ගැන කියවා දැන ගැනීම නොවේ. එම ක්‍රියාකාරකම සිදු
කිරීමෙන් ප්‍රහාණය කිරීමයි. එසේ සිදු වූවා නම් අදාළ ප්‍රතිඵලය තමන් තුළින් ලැබිය
යුතුව තිබේ. ප්‍රහාණය වූ බව දැන ගන්නේ ද තමන් තුළින් විමසා පුරාණ වැරදි
සිතුවිලිවලින් සිත මිදී ඇති බව දැන ගැනීමෙනි.
සීල සමාදානය තුළින් උපදින නෙක්ඛම්ම නිශ්චිත සෝමනස්සය කුමක්ද යන්නත් , එයින්
ප්‍රහානය වන සෝමනස්සය කුමක්ද යන්නත් හොඳීන් විමසා බැලීමෙන්, සීල සමාදානය ඤාණ
සම්ප්‍රයුක්ත පමණක් ද නොව සෝමනස්ස සහගතවත්, අසංඛාරික වත්, උසස් කුසලයක් සිද්ධ වෙන
ආකාරයට සිදුකළ හැකි වේ.
යම් අයකු මූලිකව අධිෂ්ඨානයෙන් සිල් සමාදන් වී ආරක්ෂා කරන්නට උත්සාහ කරන්නේ නම්
සමාදන් වූ ආසන්නම කාලයේ දී එම සීලය බොහෝ වාර ගණනක දී කැඩෙන්නට හේතු සකස් වේ. නමුත්
කැඩෙන කැඩෙන වාරයක දී නැවත නැවත සමාදන් ව සිල් ආරක්ෂා කිරීම සිදුකළ හොත් දිනෙන්
දින, දිනෙන් දින කාලය ගතවත් ම සිල් ආරක්ෂා කර ගැනීමට හැකි ශක්තිය එම සන්තානය තුළ
වර්ධනය වේ.
සිහිය, නුවණ, වීර්යය, අධිෂ්ඨානය, උපේක්ෂාව, ඉවසීම වැනි ගුණාංගයන් වර්ධනය වීමෙන්
කෙලෙස් වියතික්‍රමණ මට්ටමට පැමිණ සීලය පලුදු වීම වළක්වා ගත හැක. වෙනදා කැඩුන සීලය
ආරක්ෂා වෙන හැම වාරයක දී ම පුද්ගලයකු සිහියෙන් සිටිය යුතුවේ. වීර්යයෙන් සිටිය යුතු
වේ. අධිෂ්ඨානයෙන් ඉවසීමෙන් උපේක්ෂාවෙන් ආදී ගුණාංගයන් භාවිත කරමින් සිටිය යුතු වේ.
එසේ වාසය කරන හැම වාරයක දී ම එම ගුණාංගයන් වර්ධනය වීම සිදුවේ. |