[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තමන්ගේ පිහිට සලසා ගත යුතු තමා ම ය

තමන්ගේ පිහිට සලසා ගත යුතු තමා ම ය

සුගතියෙහි හෝ දුගතියෙහි උපත ලැබීමට කර්මය බලපාන බව අප තේරුම් ගත යුතුයි. එම නිසා තම තමන්ට පිහිට තමන් කරගන්නා කර්ම බව අප තේරුම් ගත යුතුයි. අකුසල කර්ම සසර දිගු වීමටත්, කුසල කර්ම සසර කෙටිකර ගෙන සසරින් ගැලවීමටත් හේතුවෙනවා.

නමෝතස්ස භගවතො අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

කිංසු ජනෙති පූරිසං – කිංසු තස්සවිධාවති
කිංසු සංසාරමාපාදි – කිංසු තස්ස පරායණං
තණ්හා ජනෙති පුරුසං –චිත්තමස්ස විධාවතී
සත්තො සංසාරමාපාදි – කම්මං තස්ස පරායණං

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ, දිනක් මධ්‍යම රාත්‍රිය ඒකාලෝක කරගෙන එක්තරා දේවතාවෙක් පැමිණියා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් ඇසුවා. මොනවාද ඒ ප්‍රශ්නෙ?. ‘කිංසු ජනෙති පුරිසං’ සත්වයා උපදවන්නේ කවුද? කිංසු තස්ස විධාවති. ඒ සත්වයාගේ එහා මෙහා දුවන්නේ කුමක්ද? කිංසු සංසාරමාපාදි සංසාරයට ආවේ කවරෙක්ද? කිංසු තස්ස පරායනං ඔහුට පිහිට වන්නේ කවුද? යන ප්‍රශ්න හතරයි මේ දේවතාවා අහන්නේ.

මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ මෙහෙම උත්තර දීලා තියෙනවා. තණ්හා ජනෙති පුරිසං සත්වයා උපදවන්නේ තෘෂ්ණාවයි. චිත්ත මත්ත විධාවතී. සංසාරයේ දුවන්නේ ඔහුගේ සිතයි. සත්තො සංසාරමාපාදි. සංසාරයට ආවේ සත්වයායි. කම්මංතස්ස පරායනං. ඔහුට පිහිට වන්නේ කර්මයයි.

මේ පිළිතුරු අපි විස්තර වශයෙන් බලමු

සත්වයා උපදවන්නේ කවුද? තණ්හාව විසින් සත්වයා උපදවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

මේ සෑම උපතකට ම හේතුව තෘෂ්ණායි. තෘෂ්ණාව කියන්නේ ඇලීමයි. නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දනී යනුවෙන් විස්තර කරන විදිහට නන්දිරාගයක් සමඟ ඒ ඒ දේවල නැවත නැවත හිත අලවන්නේ තෘෂ්ණාවයි. යම් කිසි දෙයක හෝ යම්කිසි භවයක හිතේ සතුට ඇතිවෙලා ඇලෙන්නේ තෘෂ්ණාවයි. මේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා විභව තණ්හා කියල ආකර තුනක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු ඇස්, කන්, නාස් ආදි ඉන්ද්‍රියයන් මඟින් සොයා සොයා කාමවස්තුවල ඇලි ගැලී කටයුතු කිරීම කාම තණ්හාවයි.

දේව, බ්‍රහ්ම ලෝකාදිය සදාකාලික වශයෙන් සිතා ඇතිකර ගන්නා වු ආශාව බව තණ්හාවයි. පර ලොවක් විශ්වාස නොකර, මේ ආත්මයේ දි කටයුත කිරීම විභව තණ්හාවයි. මෙසේ විස්තර කරන ලද ත්‍රිවිධ තෘෂ්ණාව නිසා සත්වයා භවයෙන් භවයට, ජාතියෙන් ජාතියට, තැනින් තැන උපදින බව මනාව පැහැදිලි වෙනවා.

දේවතාවාගේ දෙවන ප්‍රශ්නය උපන් සත්වයාගේ ගමන් කරන්නේ කුමක්ද යන්නයි. බුදුරදුන්ගේ පිළිතුර වූයේ එහා මෙහා දුවන්නේ ඔහුගේ සිත කියන අදහසයි. සුළඟ කාටවත් නොපෙනුණත් විශාල බලයක්, ශක්තියක් ඒ තුළ තිබෙනවා. ඒ වාගේ අපේ සිත අපට නොපෙනෙන දෙයක් වුවත් විශාල බලයක් ඒ තුළ තිබෙනවා. සුළඟත් එක තැනක නතර වී තිබෙන්නේ නැහැ. ඒ වගේ සිතත් එක තැනක නතර වී පවතින්නේ නැහැ. ගමන් කරනවා. ‘දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං’ කියා හඳුන්වන විදිහට සිත නිතරම දුර ගමන් යන සුළුයි. දුරගමන් යන,වේගවත්, තනිවම හැසිරෙන, ශරීරයක් නැති, මුළු ශරීරයම ඇසුරු කරගෙන වාසය කරන ස්වභාවය තමයි සිතට තියෙන්නේ. සත්වයා මොන මොන ඉරියව්වල සිටියත් සිතේ නැවතීමක් නැහැ.

දේවතාවාගේ තුන්වන ප්‍රශ්නය තමයි සංසාරයට ආවේ කවුද කියන එක. බුදුරජාණන් වහන්සේ එයට දුන් පිළිතුර සත්වයා සංසාරයට පැමිණියා යන්නයි. මෙහිදී සත්වයා සහ සංසාරය කියන වචන දෙක මනාව තේරුම් ගත යුතුයි.

මීළඟට දේවතාව, ඇසූ සතරවන ප්‍රශ්නය තමයි ඔහුට ඇති පිහිට කුමක්ද යන්න. මෙයට බුදුරදුන් වදාළ පිළිතුර වූයේ ඔහුට තිබෙන පිහිට කර්මය බවයි. කර්මය කියන්නේ කුමක්ද? ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ යැයි චේතනාව ම කර්මය වන බව බුදුරජාණන් වහන්සේ වදාළා. අපගේ සිත මුල්වී කය, වචනය යන දොරටුවලින් සිදුවන හොඳ හෝ නරක ක්‍රියා කර්ම වෙනවා. නරක හෙවත් පාප චේතනා මුල්වි සිදුවන ක්‍රියා පාප ක්‍රියා බව ‘මනුසාචේ පදුට්ඨෙන භාසතිවා කරොතිවා’ යන දේශනාවෙන් පැහැදිලි වනවා. හොඳ චේතනා මුල්වී කරන ක්‍රියා යහපත් පුණ්‍ය කර්ම බව මනසාචේ පසන්නෙන භාසතිවා කරොතිවා’ යන දේශනාව අනුවත් පැහැදිලි වෙනවා. මේ කර්මය කාලය අනුව ආකාර හතරකටත්, ක්‍රියාව විපාකදීම් ස්වභාවය අනුව ආකර හතරකටත් වශයෙන් දොළොස් වැදෑරුම් ව සත්වයාට බලපානවා. තම තමන්ගේ කර්ම ශක්තීන් තම තමන් විඳිය යුතුයි. ඒවායින් ආනන්තරිය කර්ම ඇතොත් ඉතා බරපතළ ලෙස බලපානවා.

සසර ඉපදීමේ දී සුගතියෙහි හෝ දුගතියෙහි උපත ලැබීමට කර්මය බලපාන බව අප තේරුම් ගත යුතුයි. එම නිසා තම තමන්ට පිහිට තමන් කරගන්නා කර්ම බව අප තේරුම් ගත යුතුයි. අකුසල කර්ම සසර දිගු වීමටත්, කුසල කර්ම සසර කෙටිකර ගෙන සසරින් ගැලවීමටත් හේතුවෙනවා. එම නිසාද දීර්ඝ වූ, භයානක වූ මේ සංසාරය යහපත් කර්මවලින් කෙටි කරගෙන සසර දුකින් මිදී නිවන් සුව අත් කර ගනිමු.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk