[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ මිහිඳු සෑය

මිහින්තලේ මිහිඳු සෑය

“තුන්වැනි ධර්ම සංගායනාව අවසන් වූ වහාම ධර්ම දූතයන් වහන්සේලා අනික් රටවල් බලා පිටත්ව ගිය ද, මිහිඳු මහ රහතන් වහන්සේ විදිසා නගරයෙහි (මෙකල සාංචිය) වේදිසගිරි විහාරයේ සුදුසු කාලය පැමිණෙන තුරු නතර වී සිටියහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මෑණියන් වාසය කළේ ද මෙම විදිසා නගරයේ ය.

එකල අනුරාධපුර රාජධානියෙහි රජ කළ මුටසිව රජු ඉතා මහලුව සිටි හෙයින් බුදු දහම නුවණින් තේරුම් ගැනීමට හෝ එය පතළ කිරීම සඳහා දැඩි උනන්දුවකින් ක්‍රියා කිරීමට හෝ ඔහුට නොහැකි යැයි සිතූ මිහිඳු මහ රහතන් වහන්සේ ඒ රජුගේ අභාවයෙන් පසු ඔහු පුත් දේවානම්පියතිස්ස රජවන තුරු බලා සිටියහ. දේවානම්පියතිස්ස රජු මුටසීව රජුගේ දෙවැනි පුත්‍රයා ය.

(ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමුවන කාණ්ඩය, ප්‍රධාන සංස්කාරක, මහාචාර්ය හේමචන්ද්‍රාරායි. පි. 130-1964)

මිහිඳු මහ රහතන් වහන්සේ වේදිසගිරි විහාරයේ සිට පොසොන් පුර පසළොස්වක දා තවත් භික්ෂූන් වහන්සේ සහ භණ්ඩුක උපාසක සමඟ ලංකාවට වැඩම කළ සේක.


සේයාරුව - අමිල ප්‍රභාත් වනසිංහ

දේවානම්පියතිස්ස රජු අවුරුදු හතළිහක් රජකම් කළේ ය. එම කාලයේ දී මිහිඳු මහ රහතන් වහන්සේට පසුව සංඝමිත්තා මෙහෙණිය සහ තවත් මෙහෙණීන් වහන්සේලා ද ලංකාවේ බුදු දහම ප්‍රචාරය කිරීමේ කටයුතු ඉටු කළහ. දේවානම්පියතිස්ස රජුට පසුව ඊළඟට රජ වූයේ දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොහොයුරකු වූ උත්තිය කුමරු ය. උත්තිය රජතුමාගේ අටවැනි රාජ වර්ෂයේ දී අනුබුදු මිහිඳු හිමියන් ලෙසින් ද හැඳින් වූ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ සේක.

ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය – 1 සිරිසමන් විජේතුංග පි. 397

මහින්දාගමනය සිදුවී පසුගිය පොසොන් පුරපසළොස්වක දිනයට වසර 2327 සපිරුණි. මීට වසර දෙකකට ඉහතදී මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් වසර 2278 සපිරි (2018 දී) විශාල පින්කම් රැසක් මිහින්තලේ සිදුවුණි. එමෙන් ම මිහින්තලේ පුද බිම ජාතික උරුමයක් ලෙසට ද, රජය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ වසරේ දී (2018) මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් වසර 2278 සපිරුණි. ඒ අනුව මේ වසරේ දී මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වසර 2280 ක් මේ එළඹෙන පුර අටවක් පෝ දිනය වන ඔක්තෝබර් 23 වැනිදාට සපිරේ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන මහාවංසයේ පළමු වන කොටසේ විසි වැනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් කර ඇත. ඒ රජහු (දේවානම්පියතිස්ස රජු) ඇවෑමෙන් උහු මල් උත්තිය යැයි ප්‍රසිද්ධ වු රජ කුමරු අපුත්‍රක ව රාජ්‍යය මොනවට කරවි. ඒ මහා මහේන්ද්‍ර ස්ථවිර වනාහි පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන උතුම් බුදුසස්න මොනවට ලක්දිව්හි බබුළුවා ලංකා ද්වීපයට ප්‍රදීපයක් බඳු වූයේ මහා සමූහ ඇත්තේ, ලක්දිව බුදුන් වැනි වූයේ බොහෝ ලෝ වැඩ කොට ඒ උත්තිය රජුගේ රාජාභිෂේකයෙන් අට වැනි ජය වර්ෂයෙහි සැට වස් පිරුණු සේක් වස්සාන මාසයන්හි සෑගිරියෙහි (මිහින්තලේ) විසු සේක. වෙසෙමින් වප් මස ශූක්ල පක්ෂයෙහි අටවක් දවස් ද්වීප වර්ධනයට හේතුවූ මහේන්ද්‍ර ස්ථවිර තෙමේ පිරිනිවන් පෑ සේක. අටවක් දවස්හි මහේන්ද්‍ර ස්ථවිරයන් පිරිනිවි කරුණෙන් දවස ද අටවක් පෝදායි සම්මතවී. ඒ අසා උත්තතිය රජ තෙමේ සෝක නමැති හුලින් පහරණ ලදුයේ සෑගිරි ගොස් තෙරුන් වැඳ නොයෙක් වර, නොයෙක් පරිද්දෙන් හඬා සුවඳ තෙල් පුරවන ලද රන් දෙනක මහා ස්ථවිර දේහය බහා මොනවට වසන ලද ඒ දෙණ අලංකෘත රන්කුළු ගෙයක්හි තබ්බවා කුළුගෙය ගෙන්වා ගෙන සාධු ක්‍රීඩා කෙළවමින් ඒ ඒ දිගින් මහත් ජන සමූහයා හා කැටිව මහත් වූ භට සමහූයා ලවා පූජා විධාන කරවමින් සැරහූ මගින් නොයෙක් අලංකාරයෙන් සරහන ලද නුවරට ගෙනවුත් නුවර රාජ වීථියේ හසුරුවා මහ වෙහෙරට ගෙනවුත් මෙහි පැණඹ මළුවෙහි කුළුගෙය තබ්බවා සත් දිනක් ඒ මිහිපල් තෙමේ තොරණ, කොඩිමාලා හා ගන්ධ පූර්ණ ඝටයෙන් ද විහාරයක් අවට තුන් යොදුන් තුත් රජහුගේ ආනුභාවයෙන් සරහන ලදුයේ විය. එසේම මුළු ලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරහන ලද්දේ විය.

ඒ මිහිපල් තෙමේ සත් දවසක් මුළුල්ලේ නානා ප්‍රකාර පූජා සත්කාර කරවා පූර්ව දිසා භාගයෙහි තෙරුන්ගේ බුද්ධමාලක නම් තැන සුවඳ දර සෑයක් කරවා මහ සෑය ප්‍රදක්ෂිණා කරමින් මනරම් කුළුගෙය එහි පමුණුවා දර සෑයෙහි තබ්බවා අන්තිම සත්කාරය කළේ ය. ධාතුන් ගන්වා මෙහි සෑයක් ද කරවි. ක්ෂත්‍රිය තෙම (රජතුමා ධාතු භාගයක් ගන්වා සෑගිරි වෙහෙරේද සියලු විහරයන් හි ද සෑ බැඳවි. ඒ ඍෂිහුගේ (මිහිඳු හිමියන්ගේ ශරීරය බැහු තැන අවකාසයද බුහුමනින් ඉසිභූමංගන නමැයි කියන ලදී. එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයෙහි කලුරිය කළ ආර්යයන්ගේ (සංඝයා වහන්සේලාගේ) ශරීර ගෙන ඒ පෙදෙස්හි දී දවනු ලැබේ.

(මහාවංසය පළමුවන කොටස සිංහල පරිවර්තනය අතිපූජ්‍ය හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නා හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා විසිවැනි පරිච්ඡේදය පි. 80- ගාථා 29-49-1912)

එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා මිහින්තලය පිළිබඳ හා එහි දාගැබ් කැණීම් කිරීමෙන් පසුව සම්පූර්ණ ශාස්ත්‍රිය විවරණයක් 1951 පුරවිද්‍යා පාලන වාර්තාවේ ඉතා දීර්ඝ ලෙසින් සඳහන් කර ඇත. එහි මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් ආදාහනය කළ පසු තිබුණු ධාතුන් වහන්සේ නිදන් කර මිහින්තලේ මිහිඳු සෑය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඔහුගේ 1951 පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් කර ඇත. එයින් කොටසක් මෙසේ ය.

මිහින්තලේ මිහිඳු සෑය

මිහින්තලා කඳු මුදුණේ මහ සෑයට පෑළ දිගින් පසින් යටවී පිහිටි දාගැබක් මේ අවුරුද්දේ (1951) දී පාදාගනු ලැබීය. කාලාන්තරයක් තුළ පසින් වැසී තිබුණු මේ අප්‍රකට වූ දාගැබෙහි ගඩොල්වල ගල්වඩුවන්ගේ සලකුණු වශයෙන් ඇති පැරණි බ්‍රාහ්මී අක්ෂර විය. මේ සාක්ෂිය අනුව දාගැබ කිතු වසින් පෙර ඉතාමත් ම පැරණි සමයකට අයත් යැයි අවබෝධ වේ.

ආදියෙහි බ්‍රාහ්මී අක්ෂර පිහිටි ගඩොල් මේ දාගැබෙහි යොදන ලද බැවින් එය (ලංකාවේ පිහිටි ඇති පැරැණි දාගැබක් වෙයි. එහි තුළ වු මැටි කරඬුව කුඹල් කර්මාන්තය අතින් මේ තාක් දිවයිනෙන් සොයා ගෙන ඇති ඉතාම අගනාවූ ද, පැරණිවු ද නිදසුන ය. එහි තුළ වූ කුඩා රන් කරඬුව ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ දැනට තිබෙන අති පැරණි ථූපය වන සාංචි ස්තූපයෙහි ලක්ෂණයන්ගෙන් සමන්විත වෙයි.මේ කරඬුවේ නිදන්ගත අස්ථි හා අළු ද ආදාහනයකින් ලත් භෂ්මාවශේෂයන් ය. අප විසින් ඉදිරිපත් කරන ලද මතය අනුමත වුවහොත් අප ඉදිරියේ තිබෙන මේ භෂ්මාවශේෂයෝ මිහින්තලේ තැන්පත් කළ මිහිඳු හිමියන්ගේ ධාතු කොටසින් කාලය විසින් අපට ආරක්ෂා කර දී තිබෙන ස්වල්පය වෙන්නට පුළුවන. (1951 වැන්නේ පුරා විදු පුවත පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරනවිතාන පි. 16) රජ/ගල තැන්න– සිරිසමන් විජේතුංග පි. 15- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 2005)

සෑගිරියේ (මිහින්තලේ) සහ තවත් පුදබිම්වල මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කර ස්තූප නිර්මාණය කළ බව මහාවංසයෙහි සඳහන් වී ඇති කරුණකි. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ ගේ හා ඉදික තෙර (ඉට්ටිය තෙරුන්ගේ) ධාතුන් වහන්සේලා නිදන් කර සාදන ලද දාගැබක් පිළබඳ අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුදබිමෙහි ගිරි ලිපියක සඳහන් වී ඇත්තේ මෙසේ ය. ‘යෙ ඉම දිප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ.

මෙහි අදහස මෙසේ ය. මෙම දිවයිනේ වාසනා මහිමය නිසා පැමිණී ඉට්ටිය හා මහින්ද තෙරුන්ගේ ස්තූපයයි. (ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය – 1 සිරිසමන් විජේතුංග පි. 346- සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ 2012)

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]