යා යුතු මඟ
සත් අසත් දහම් වෙත කන් දෙන්නේය
අසත් දහම කිසි කල නොම ගන්නේය
පවිටන් අතැර සුදනන් කැඳවන්නේය
මේ ලෙස දිවි මගේ යා යුතු වන්නේය
පොල්ගහවෙල – ඉහළ උඩපොල
ගමරාලලාගේ සීලවංශ බණ්ඩාර
****
සම්බුදු හිමි වඳින්නට
පුන් පෝයදාට සඳ පායා නැඟෙන විට
සිසිලස දැනෙයි ගත සිත දෙක පුබුදු කොට
සැදැහැ සිතින් සුදු ඇඳුමක් ඇද ගතට
පන්සල් යන්නෙමි සම්බුදු හිමි වඳින්නට
එල්.එන්.ඒ.රුවන් චන්දන
මාලදෙනිය ,කිතලවලාන
****
මගේ අම්මා
සැනසුම සතුට සම්පත මට ගෙන දුන්න
ආදර මගේ අම්මා සිහි කර මින්න
සුදු මල් මාලයෙන් ඔබෙ පා සරසන්න
බුදුහාමුදුරුවනි මට අවසර දෙන්න
වෙහෙසී දිවා රෑ නිති අප ගැනම සිතා
සැනසී ඉන්න අප හට අත දුන්න ඉතා
මනසින් තාම වැලපෙයි ඔබ ගැනම සිතා
කෙලෙසින් කියන්න ද මා කවියකට ගොතා
ඩී.පී. තුෂාරි ධම්මිකා වීරසේකර
බුලත්කොහුපිටිය
****
ලෝ දම් කැරකෙයි
ඒ බවම සිතමිනේ
තමා තුළ දොස් බලා
දුරැර සිත යොමවා
දුක පිරි ලොව දනන්
බණ පදෙන් කියවා
දුක් පිරි ලොව බලා
පි‍්‍රය මනා සියලු දේ
මොහොතින් මොහොතට
වැය වෙයි වෙනස් වෙයි
හේතු ඇති නැති බව
ලෝ දම් කැරකෙයි
අලවල දීපවංශ හිමි
වේයන්ගොඩ
****
සැනසුම
තෙරුවන් සරණ ගොස් නිති බොදු දම් රකින
අය ළඟ නැතේ අදමිටු කුරිරු ගති ගුණ
සියලු සතුන් හට නිතරම මෙත් වඩන
අය හට ලැබේ නිතරම දෙවි රැක වරණ
දිවියට අපගෙ සැනසිල්ලක් ලැබ ගන්න
පිහිටක් ලැබෙන බව සත්තයි බුදු සෙවණ
එය වටහා ගත්ත බොදුනුවො සෑම දෙන
පින් පෙත් පුරා සොයමින් යති අම නිවන
ඒ සෝමාවති අල්විස්
පයාගල
****
නිවන්මඟ
සතුටු සිතක් ඇති වුණාය
නිවනට මග හෙළි වුණාය
දුකට තිතත්, හිමි වුණාය
අනිත්‍යයම සිහි කළාය
බුදුහිමියන් දෙසු දහමේ
උපරිම පළ නෙළා ගන්න
හැකි වේවා සැම සතුනට
නිවනේ මග සොයා ගන්ට
කොබවක
චමිලා පි‍්‍රයදර්ශනී
****
කම්පා නොවී
දුක විඳිමින්
සැප සොයමින්
අප නිරතුරු
රැවටෙමින්
නිම් නැති
සසරේ .......
අනන්ත අඳුරක
දහසක් පැතුමන්
බොඳ වී......
සුමිහිරි සැමදේ....
මතු දින කඳුළක්
සිත් කොන
රඳවනවා.....
අටලෝ දහමින්
කම්පා නොවී
අප අදිටන්
කර යනවා....
සමන්ත මහතන්තිල
රත්නපුර
****
නිසරු දිවිය
සෙම් සොටු ද මළ පහ ද
දහබිඳු ද, කෙහෙරැලි ද
විටින් විට නව දොරින් ඔජ දමන
දෙතිස් කුණුපය රැගෙන
කපටි කෛරාටිකකමින්
වෛර, මද මානයෙන්
මිනිස්කම පසෙක ලා
මුදල මත දිවි ගෙවන
හිමිදිරියෙ තුරුලතා මත රැඳුන
දිදුලමින් පතිත වන
පිනිබිඳක් නොවෙද මේ
නිසරු කය තුළ
නිබඳ?
බී.ආර්. දයානන්ද
ශ්‍රී බෝධි පාර
ගම්පහ
****
මෙවර ජයග්‍රාහී කවිය
විමසීම
පුහුණු කරමු අප නිතර තබා ගැනුමට සම්මා සතිය
පවුකම් වළකා කුසල් වඩන්නට නිරතුරු ගමු සවිය
පෝදා සඳ බබළන්නා සේ ඇතිවේවී හද බැතිය
මේ අයුරින් යහපතේ යොදවලා ගෙවා දමමු දිවිය
බිහිවූ දා සිට පසු පස නොබලා දුවගෙන යති මිනිසා
ඉපදී මැරෙමින් නැවත ඉපදෙමින් නැත තව සිත සනසා
ඇයි ද දුවන්නේ කොයිබට යන්නේ බලනුවටී විමසා
සමාධියෙන් දැඩි උනන්දුවෙන් අපි හදාගනිමු මනසා
ගාල්ල කාලිංගවත්තේ
ජී.පියදාස
****
පින්බිම
සුදු පිරුවට අහස් කුසේ වලාකුළු දැවටිලා
රන්වැලි සෑ සමිඳුන්ගේ සුදු පිරුවට බැඳලා
මහ රජ දුටු ගමුණු වීර රජ දරුවන් බිහි වීලා
සිරිලක මගෙ අනුරපුරේ පෙරදා පින්බිමක් කළා
අත්තනායක මුදියන්සේලාගේ සුමනාවතී
අරලගංවිල
****
නිවනට විරිය දරා
සැම දෙන දුවන්නේ ඉටු කර ගන්න පැතුම්
නැත එහි කිසිම වරදක් ජීවිතය උතුම්
ඉපදුන විටදි මිනිසකු වී මෙලොව උතුම්
වැඩ කළ යුතු ය ඉටු කෙරුමට දෙලොව පැතුම්
දිව්වත් සසරෙ සීමාවක් නැතිව පුරා
නැත ඔබ ලබන්නේ සතුටක් සසර පුරා
පාදා ගතොත් මඟ නිවනට විරිය දරා
ඔබ නැත දුවන්නේ නැවතත් සසර පුරා
සුදත් විජේසුන්දර
අමෙරිකා එක්සත් ජනපදය
****
කෙලෙස් මරු පරදවමු
සිරුර මැටි බඳුනකි
මේ සිත නගරයක් වැනි
නුවණ නම් ආයුධයෙන්
කෙලෙස් මරු හට පහර දෙනු මැන
සිරුර බිඳුමට මොහොතකි
සසල වේ නගරය නිති
නුවණ පිහිටට සිටී
කෙලෙස් දුරලමු අපී
බුදු පසේ බුදුවරු
මහ රහත් යතිවරු
සොයා ගිය මග සරු
දහමින් සොයමු නිරතුරු
සිරි දන්තනාරායන
ශ්‍රී ගෞතම දහම් පාසල
මිරිජ්ජවිල
****
මුනිඳු පුදමු
මුනිඳුට මල් පහන් පිදූ
ලෝසතහට පින් වේය සිදු
රහතුන් ඒ කෙලෙස් සිඳූ
ඝොර සසරින් ඔවුහු මිදූ
අජිත් වික්රමනන්ද වීරසූරිය
ඉඹුල්ගස්දෙණිය
****
පන්සිල් රකිමු
අරි අට මඟ දැනගමු
සිව්සස් දම් සුරකිමු
පාපෙන් අපි වැළකෙමු
පන්සිල් පද රැකගමු
ඒ ඒ සචිනි හංසිකා පෙරේරා
ශ්‍රී සාරානන්ද දහම් පාසල
කඩුවෙල
සංස්කරණය - ජම්මික ප්‍රබෝධනී වැලිකල
****
කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු
බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම
විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම
නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.
|