තිස් වසරක
යුද්ධය මැද නාගදීපය රැකගත්
නා හිමියන්ගේ
කතාව -
20 කොටස
සිංහලයන්ට
උතුර තහනම් වෙයි
“නායක සාධු ඉන්න එක අපිට හයියක්, අපව දාල යන්න එපා, අපේ හාමුදුරුවනේ අපි පුළුවන්
විදිහට දානෙ හදල දෙන්නම්‘‘ රාමචන්ද්‍රන් මුදලාලි නාහිමියන් ළඟ බිම අසුන්ගෙන බැගෑපත්
ලෙසින් ආයාචනා කර සිටියේ ය.
ත්‍රස්තවාදීන් විසින් උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කිරීමත් සමඟ ම දකුණේ
වන්දනාකරුවන් උතුරට පැමිණීම නැවතුණි. කිසිදු අයකු නාගදීපය සමඟ සබඳතා පැවැත්වූයේ
නැත. මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පමණක් ගිලන්පසට අවශ්‍ය දේ සිවුරු හා ඇදඇතිරිලි
නාගදීපයට එවා තිබිණි.
යාපනය නාග විහාරය, කන්දරෝදෙයි (කඳුරුගොඩ), දඹකොළ පටුන (සංඝමිත්තාරාමය), නාවක්කුලී
විහාරය, කිළිනොච්චි ලුම්බිණි විහාරය ඇතුළු සියලු බෞද්ධ සිද්ධස්ථානයන්හි හිමිවරුන්
කොළඹට වැඩම කෙළේ ජීවිත තර්ජන ඒ තරමට වැඩි වූ නිසා ය. ආරක්ෂක හමුදාවන්ට
විහාරස්ථානවලට ආරක්ෂාව සැලසීමට නොහැකි තත්ත්වයක් උදා විය. ත්‍රස්තවාදීහු එම පන්සල්
බිමට සමතලා කළහ. ලුම්බිණි විහාරයේ බෝධීන් වහන්සේ කපා දැමූහ. ඔවුහු එම විහාරය ආබාධිත
තත්ත්වයට පත් වන ත්‍රස්තවාදීන්ට කෘත්‍රීම පාද හදන ස්ථානයක් බවට පත් කළහ.
තම නිජබ්ම්හි සිංහල ජනතාව පදිංචිවි සිටින බව පවසමින් ත්‍රස්තවාදීන් විසින් මුලතිව්
දිස්ත්‍රික්කයේ ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම්හි නිරායුධ සිවිල් වැසියන් ද ඒ වන විටත්
සමූහ ඝාතනය කර තිබුණි. එම ඝාතනවල දී ඩොලර් ෆාම්හි අහිංසක ජනතාව 33 දෙනකු හා කෙන්ට්
ෆාම්හි 29 දෙනකු ඝාතනය කර තිබුණි.
එමෙන්ම උතුරු නැඟෙනහිර මුහුදු මායිමේ පිහිටි කෝකිළායිහි සිංහල ධීවරයන් 11 දෙනෙක්ද
ඝාතනය කර තිබූ අතර දෙමළ සන්නද්ධ කණ්ඩායමකට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කිරීම නිසා
මඩකළපුවේ නිරායුධ දෙමළ ජනතාව ද ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර තිබුණි. ඒ අහිංසක
දෙමළ වැසියන් 30 දෙනෙකි.
ඒ ලෙසින් යුද්ධය ක්‍රමයෙන් ඇවිලෙමින් තිබුණු අතර යුද හමුදාව විසින් ද ත්‍රස්තවාදීන්
සොයා මෙහෙයුම් සිදු කරන්නට විය.
ඒ වන විට කොළඹ යෑම මහා භයානක කටයුත්තක් වී තිබුණාක් මෙන්ම ආරක්ෂක අංශවලට දහසක් හේතු
ඉදිරිපත් කරන්නට සිදුවිය. යුද්ධය වර්ධනය වෙමින් තිබුණි. කොළඹ යන විට දහසක් දේ
කියන්නට සිදු විය. ඒ සඳහා අවසර ගත යුතු ය. යළි එන දිනය, යන්නේ කොහේටද? නවතින්නේ
කොතැන ද? හමුවන්නේ කවුරුද? ආපසු එන විට රැගෙන එන්නේ මොනවාද? යන ප්‍රශ්න සියල්ලට ම
සෑම අයෙක් ම පිළිතුරු සැපයිය යුතු විය. එයින් බාහිර ව කිසිවක් ගෙන ආ නොහැකි විය. මේ
අතර ත්‍රස්තවාදීන් ද ඔවුන්ට බලය හිමි තැන්වල මුර කපොලු ඉදි කරන්නට විය.
කොළඹට පැමිණීමේ දී පදුමකිත්ති හිමියන් කරෙයිනගර් දක්වා බෝට්ටුවකින් වැඩම කර එතැනින්
හමුදා වාහනයකින් ගුරු නගර් දක්වා වැඩම කරන ලදී. හමුදාවේ සිට නිවාඩු ලබා එන පිරිස්
රැඳී සිටින්නේ ගුරු නගර්හි ය. ගුරු නගර් සිට වාහනවලින් ආරක්ෂිත ව දුම්රිය ස්ථානය
වෙත පිරිස් රැගෙන යති. පදුමකිත්ති හිමියෝ ද ඒ පිරිස් සමඟ වාහනයක කොතැනක හෝ අසුන්ගෙන
වැඩම කරති. භික්ෂූන් වහන්සේ නමක් කියා විශේෂ ගරු සැලකිලි දක්වන්නට එතැන හැකියාවක්
නැත. උන් වහන්සේ එවැන්නක් බලාපොරොත්තු වූයේ ද නැත. එකම ගෞරවය කොතැනක හෝ අසුනක්
ලැබීම පමණකි. හමුදාවේ සෙබළුන්ගේ ඔද වැඩීම පිණිස පදුමකිත්ති හිමියෝ ආශිර්වාද කරති.
දුම්රියේ පැමිණෙන හමුදා සාමාජිකයන්, දුම්රිය සේවකයන් හැර සිටි එකම සිංහලයා
පදුමකිත්ති හිමියන් පමණි. මෙවන් දුෂ්කර මාරාන්තික ක්‍රියාවලියක් කොළඹට පැමිණීමට
කරන්නට සිදුව තිබුණි. ජීවිත ආරක්ෂාව පතා නාගදීපයෙන් දකුණට පැමිණෙන ලෙස විහාරාධිපති
හිමියන්ටත් පදුමකිත්ති හිමියන්ටත්, දකුණේ හිමිවරුන් ඇතැම් දේශපාලඥයින් මෙන්ම සමාජ
ක්‍රියාකාරී සංවිධාන විසින්ද දන්වනු ලැබුණි.
‘‘පදුමකිත්ති, අපිට මෙහෙන් එන්න කියනවා, උන්නාන්සෙ මොකද කියන්නෙ කොළඹට වඩිනවද?‘‘
‘‘නායක හාමුදුරුවන්ව දාල මැරුණත් මම යන්නෙ නැහැ,‘‘ පදුමකිත්ති හිමියෝ එසේ පවසමින්
නාගදීපයේ තොටුපොළ වෙත දිව ගියහ. උන් වහන්සේ නාගදීප චෛත්‍ය දෙසත් මුහුද දෙසත් දෙතුන්
වතාවක් බැලූහ.
‘මගේ තරුණම වයයසි මේ. මට දැන් අවුරුදු 24ක් අනෙක් හාමුදුරුවරු හොඳට බණ කියන්න ඉගෙන
ගන්න කාලේ, බණ පොත් කියවන කාලේ, ඒත් මේ යුද්දෙ හින්ද මට ඒ මුකුත් නැහැ,
ත්‍රස්තවාදීන් පටන්ගත්ත මේ යුද්දෙ ඉවර කරන පාටක් නැහැ. මගේ තාත්තත් මීට අවුරුදු
දෙකකට කලින් නැතිවුණානෙ, දැන් මගේ එකම තාත්තා නායක හාමුදුරුවො, මමත් නායක
හාමුදුරුවොත් එක්ක අපවත් වෙනකල් ම දූපතේම ඉන්නවා, ත්‍රස්තවාදීන් අප ඝාතනය කළත් අපි
යන්නේ නැහැ‘ විනාඩි කිහිපයක් ඒ සිතුවිල්ලේ නිමග්න ව සිටි පදුමකිත්ති හිමියෝ ආපසු
විහාරස්ථානයට දිව ගියහ.
පදුමකිත්ති හිමියන් ආපසු වැඩම කරන විට රාමචන්ද්‍රන් මුදලාලි විහාරස්ථානයට පැමිණ
සිටියේ ය.
“නායක සාධු ඉන්න එක අපිට හයියක්, අපව දාල යන්න එපා, අපේ හාමුදුරුවනේ අපි පුළුවන්
විදිහට දානෙ හදල දෙන්නම්‘‘ රාමචන්ද්‍රන් මුදලාලි නාහිමියන් ළඟ බිම අසුන්ගෙන බැගෑපත්
ලෙසින් ආයාචනා කර සිටියේ ය.
‘‘නැහැ මුදලාලි, අපි නාගදීපෙන් යන්නේ නැහැ. මම පොඩි හාමුදුරුවොත් එක්ක මේ කතා කළෙත්
ඒ ගැන තමයි. උන් වහන්සේ ත් කියනව අපි නාගදීපෙන් යන්නේ නැහැ කියලා‘‘ රාමචන්ද්‍රන්
මුදලාලි ප්‍රීතියෙන් යුතුව විහාරස්ථානයෙන් පිටත්ව ගියේ ය.
පසුව මුස්ලිම් ජනතාව ද නා හිමියන් හමුවට පැමිණ එම ඉල්ලීම ම කරන ලදී.
ක්‍රමයෙන් ත්‍රස්තවාදී තර්ජන වැඩි වන්නට විය. දිනපතා ම කන් බිහිරි කරන වෙඩි හඬ ය.
වෙඩි හඬ ක්‍රමයෙන් වැඩිවී දිවා රාත්‍රී වෙනසක් නැතිව ඇසෙන්නට විය.
ඒ වන විට යාල්දේවි දුම්රියේ ගමන් කිරීම පවා දැඩි අනතුරුදායක තත්ත්වයක තිබුණි.
දුම්රිය පුපුරුවා දමන බව ත්‍රස්තවාදීන් විසින් අවස්ථා කිහිපයක දී පවසා තිබුණි.
ඒ ප්‍රකාශය සනාථ කරමින් ත්‍රස්තවාදීහු 1985 වසරේ යාල්දේවි දුම්රිය මාන්කුලම්
ප්‍රදේශයට ආසන්නයේ දී බැරල් බෝම්බ අටවා පුපුරවා හරින ලදී. ඒ ජනවාරි 19 වැනිදා
සෙනසුරාදා රාත්‍රියේ ය. කන්කසන්තුරේ බලා ගිය දුම්රිය ත්‍රස්තවාදී තර්ජන නිසා
අතරමඟින් හරවා පස්වරුවේ කොළඹ බලා එමින් සිටියදී මේ ප්‍රහාරයට ලක් විය. දුම්රියේ
රියැදුරා වූ රැපියෙල් ලියනගේ දුම්රියේ විදුලි පහන් නිවා දමා පැමිණි නිසා මැදිරි
13න් එන්ජිම හා මැදිරි 2ක් පමණක් බෝම්බවලින් බේරුණු අතර එම පිපිරවීමෙන් උතුරේ සිට
නිවාඩු ලබා කොළඹ බලා පැමිණෙමින් සිටි යුද හමුදාවේ සෙබළුන් 23ක් හා සිවිල් වැසියන්
10 දෙනකු මිය ගියහ. කොළඹ හා යාපනය අතර දුම්රිය ධාවනය එයින් නතර විය. බස් රියෙන් පවා
ගමන් කළ නොහැකි තත්ත්වයක් උදා විය.
උතුරේ කිසිදු සිංහලයකු නොසිටිය යුතු බවත,් ආරක්ෂිත ස්ථානවලට හෝ සරණාගත කඳවුරුවලට හෝ
යන ලෙස රජයෙන් දැනුම් දී තිබුණි. දින කිහිපයකට පසුව රාමචන්ද්‍රන් මුදලාලි යළිත්
විහාරස්ථානයට පැමිණියේ ය. ‘‘අපිට පුළුවන් විදිහට දානෙ දෙනවනේ, සාමි අපිව දාල යන්න
එපා‘‘
‘‘නැහැ මුදලාලි අපි එහෙම මිනිස්කමට නිගා දෙන්නේ නෑ, මැරුණත් අපි නාගදීපෙ දාල යන්නේ
නැහැ‘‘ නා හිමියෝ පැවසූහ. හතර වටින්ම වෙඩි වදින්නට විය. මුහුදේ පවා වෙඩි හඬ ය.
අවසන් හුස්ම පොද දක්වාම නාගදීපයේම සිටින්නට නා හිමියන් හා පදුමකිත්ති හිමියෝ අදිටන්
කර ගත්හ. දෙමළ ජනතාව හිමිවරුන්ට උදව් කළහ. විශේෂයෙන්ම රාමචන්ද්‍රන් මුදලාලි මෙන්ම
ඔහුගේ භාර්යාව මීනාච්චි, ඇගේ දියණිය වන කමලක්කා (කඩේ අක්කා) ඇතුළු අය දාන වේල් දෙකම
ලබා දුන්හ.
තාරක වික්‍රමසේකර |