ලංකාවේ බෞද්ධ ස්තූප - 16:
නන්දන උයනේ
ජේතවන ස්තූපය
පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
සකේසධතුං සහ දේහධාතුයො
මහා මහාසේන නරින්ද කරිතං
සුචේතියං ජේතවනං නමාමහං
බුදුරජාණන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ, කේශ ධාතූන් වහන්සේ මෙන් ම ශාරීරික ධාතූන්
වහන්සේ තැන්පත් කොට මහසෙන් රජතුමා කරවූ මේ උත්තම ජේතවන ස්තූප වහන්සේ මම වන්දනා
කරමි.
ඓතිහාසික පූජනීය භූමි භාගය ක්‍රි. පූ. 3 වැනි සියවසේ “නන්දන වනය” නමින් හැඳින්වූ
රාජකීය උද්‍යානයකි. එය උතුරු දෙසින් අනුරාධපුර ඇතුළු නුවරත්, දකුණෙන් හා නැගෙනහිර
දෙසින් මල්වතු ඔයත්, බටහිර දෙසින් මල්වතු ඔයේ ශාඛාවක් වූ “හාල්පත්” ඇතුළත් මායිම් ව
පිහිටා තිබේ.
දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය ඇතුව අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ නඳුන්
උයන, එනම් නන්දන වනයේ වැඩ සිට දින සතක් ධර්ම දේශනා පවත්වා සැහැදැතියන් සත් දහසකට
ධර්මාවබෝධය ඇති කළහ. ඒ අවස්ථාවේ සිට එම සිද්ධිය මුල්කොට නන්දන වනය “දීප්තිමත් හෙවත්
බැබළෙන උයන නම්” “ජොතිවනය” ප්‍රකට විය. පසු කාලයේ දී එය ජේතවනාරාමය බවට පත්විය.
ථූපාරාමයට නැඟෙනහිර පෙදෙසෙන් මල්වතු ඔය දක්වා විහිදෙන ජේතවනාරාම විහාර ප්‍රදේශයේ එම
ආරාමයට අයත් ප්‍රතිමාගෘහ, සංඝාරාම, පිළිමගෙවල්, පොකුණු, ප්‍රාසාද පන්ති, පිරිවෙන්
ආදී ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ රාශියක් පැතිර තිබෙන බව දක්නට ලැබේ. මෙම පුණ්‍ය භූමියේ
විශාලත්වය අක්කර 200ක් පමණ වේ. ජේතවන ස්තූපය ආරම්භයේ දී උස අඩි 400ක් බව සාහිත්‍ය
මූලාශ්‍රවල සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේගේ පටි ධාතූන් වහන්සේගෙන් කොටසක් නිදන් කර ක්‍රි. ව. 276 - 303
අතර කාලයේ මහසෙන් රජු විසින් කරවන ලද බවයි.
අතීත ග්‍රන්ථයන්හි සඳහන් ව ඇති ආකාරයට පටි ධාතූන් වහන්සේ ශක්‍ර දේවේනේද්‍රයා සතුව
තිබූ බවත්, එය ඉල්ලා සිටි අවස්ථාවේ දී, ශක්‍රදේවේන්ද්‍ර අහසින් වැඩවමන විට ඉවසුම්
නැති වූ රජතුමා අහසට පැන පටිධාතූන් වහන්සේගේ කොටසක් ගත් බවත් සඳහන් වේ. ඉන් අනතුරුව
ඉතිරි ධාතූන් කොටසත් රජතුමාට ම පිරිනමා ශක්‍රදේවේන්ද්‍ර තෙමේ පිටව ගිය බවත් සඳහන්
වන පුවත ජනප්‍රවාදයක ස්වරූපයක් ගනී.
ඒ වගේ ම තවත් ජනප්‍රවාදයක් වේ. එනම් ස්තූපයේ තැන්පත් කිරීමට ධාතූන් වහන්සේලා
නොලැබුණු නිසා රජතුමා දැඩි කළකිරීමෙන් පසු විය. නමුත්, එම අවස්ථාවේ දී බුදුරජාණන්
වහන්සේගේ පටී ධාතූන් වහන්සේ අහසේ පහළ වූ බවත්, ඉන්පසුව, රජතුමා ඉන් කොටසක් ස්තූපයේ
තැන්පත් කළ බවයි.
මහසෙන් රජතුමා දක්ෂිණගිරි විහාරයේ වැඩ සිටි කොහොන්තිස්ස නම් තෙරුන් කෙරෙහි පැහැදී
උන්වහන්සේ උදෙසා මහා විහාර සීමාව තුළ ජේතවනාරාමය නම් විශාල ආරාමය හා ස්තූපය ඉදි
කරවා පූජා කළ බවක් ද සඳහන් වේ. මධ්‍යකාලීන යුගයේ රචිත ග්‍රන්ථයන්හි සඳහන් වන කරුණු
අනුව ජේතවන ස්තූපය රියන් 140ක් උසට කරවන ලද බවට ද සඳහන් වන අතර, මහාවංශයේ සඳහන්
වන්නේ ක්‍රි. ව. 12 වෙනි සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ජේතවන ස්තූපය රියන්
160ක් උසට කරවන ලද බව ය. ඒ වගේ ම පසු කාලීන ව රජ වූ මිත්තසේන රජතුමා ස්තූපයේ ඇත්
පවුරට සම්බන්ධ තොරණක් කරවූ බවත්, ධාතූසේන රජතුමා ස්තූපයේ ඡත්‍රය වටා විශාල මැණික්
සහිත පළිඟු වළල්ලක් සවි කර බදාම වැඩ ද කරවූ බව සඳහන් වේ. 1 වෙනි අග්ගබෝධි රජු
මැණික් වැඩ සහිත රන් ඡත්‍රයක් කරවූ බව ද 3 වැනි මෝග්ගල්ලාන රජතුමා ස්තූපය
අලුත්වැඩියා කළ බව ද සඳහන් වේ.
දීපා පෙරේරා |