[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරලොව සුවපත් කළ ඉපැරැණි පින්කම් සිරිත්

පරලොව සුවපත් කළ ඉපැරැණි පින්කම් සිරිත්

මරණාසන්න පුද්ගලයකු වෙනුවෙන් ආසන්න බණ කියවීම, පිරිත් දේශනා සිදු කරවීම හා ජීවමතක වස්ත්‍ර හෙවත් ජීවමාන පාංශුකූල පූජා කිරීම පුරාතනයේ පටන් සබරගමු ජනතාව ගේ ද සිරිතක් ව පවතියි. ආසන්න බණ නිම වූ දිනට පසුව දා භික්ෂූන් වහන්සේ උදෙසා හීල් දානය හා දවල් දානය පිළිගැන්වීමේ සිරිත ද පැවති බැව් පෙනේ.

පුරාතන ජන සමාජය තුළ මරණාසන්න පුද්ගලයකු වෙනුවෙන් පින්කම් හා චාරිත්‍රවිධි රැසක් ම සිදු කෙරිණි. මින් එකක් “ආසන්න කර්ම” ලෙස හැඳින්විණි. පියකු ගේ මරණාසන්න අවස්ථාවක දී පුතෙක් විසින් දෙනු ලැබූ දානයක් ගැන සද්ධර්ම රත්නාවලියෙහි මෙසේ සඳහන් ව ඇත.

“උන්ගේ දරුවෝ පියාණන් දුර්වල හෙයින් තමන් ළඟට ගෙන්වා ගෙන අන්තිම අවස්ථාවෙහි ආසන්න කර්ම කොට.......පියාණන් නමින් දන් දෙම් හ යි, බුදු පාමොක් සඟනට ආරාධනා කැර වූ හ.”

ධම්මපදට්ඨ කථාවෙහි මෙය “ජීවභත්ත” යනුවෙන් දක්වා තිබේ. සතර කෝරළයේ සහ සත් කෝරළයේ ආදී ප්‍රදේශවල මෙයට ම ගෝදාන (ගවයන් දන්දීම) යන නාමය ද, ව්‍යවහාර වුණි. මෙය පවත්වන්නේ තමා නොබෝ දිනෙකින් මරුමුවට පත්වන්නේ යැයි, යමකුට හැඟී ගිය විට ය.

භික්ෂූන් වහන්සේ නමකට රෙදි කඩක් දන්දීමෙන් (ජීව මතක වස්ත්‍ර) මෙම පින්කම සිදු කෙරෙයි. තවත් සමහර පළාත්වල සිදුවනුයේ දානයකින් පසුව රෙදි කඩක් පූජා කිරීම ය.

පුරාතන ලාංකේය ජන සමාජය තුළ කෙනකු ගේ මරණ මොහොත ළඟාවීමත් සමඟම සිදු වූයේ කිසියම් පුණ්‍ය කර්මයක් කෙරෙහි ඔහු ගේ සිත යොමුකරවීමට උත්සුක වීම යි. මෙය පූර්වෝක්ත “ජීව දානය”ලෙස හඳුනාගත හැකි ය. මෙම පින්කම භාරව කටයුතු කරන්නේ ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේ ය. මෙහි දී සාමාන්‍ය සිරිතක් ව පවත්නේ පින්කම පැවැත්වීමට දින දෙක තුනකට පෙර ඒ බව භික්ෂූන් වහන්සේට දැනුම්දීම යි. පසුව නියමිත දින සවස් වරුවේ දී මරණාසන්න තැනැත්තා ගේ ඤාතීහු තෙල්, මල්, සුවඳ දුම් ආදිය ද, සවස ගිලන්පස සඳහා අවැසි පාන වර්ග ද රැගෙන විහාරස්ථානයට යති. මේවා පූජා කිරීම විහාර ගෙය තුළ දී සිදු වෙයි.

ඉක්බිති ව ලැඟුම් ගෙට ගොස් බණ පොත ද රැගෙන භික්ෂූන් වහන්සේ පුද පෙරහරින් තම නිවසට වැඩමවා ගෙන යති. එකල මෙම ධර්ම දේශනාව සිදු කිරීම සඳහා නිවසෙහි තාවකාලික ධර්ම ශාලාවක් සකස් කොට තිබුණි. අතීතයේ පැය 06 ක තරම් කාලයක් පුරා මෙම ධර්ම දේශනාව සිදු කෙරිණි. මරණාසන්න පුද්ගලයකු ගේ සිත යහපත් සිතිවිලිවලින් පෝෂණය කරවීම් වස් බොහෝ අවස්ථාවල භික්ෂූන් වහන්සේලා පිරිත් දේශනාවන් සිදු කළ හ. මරණාසන්න ව සිටින පුද්ගලයා ගේ නිවසට වැඩමවන භික්ෂූහු තුන්යම් රාත්‍රිය මුළුල්ලේ බණ හෝ පිරිත් හෝ දෙසා රෝගියා ගේ පරලොව සුගතිය සඳහා සෙත් පැතූහ යි, රොබට් නොක්ස් ගේ “එදා හෙළදිව“ කෘතියෙහි ද සඳහන් වෙයි.

මරණාසන්න පුද්ගලයකු වෙනුවෙන් ආසන්න බණ කියවීම, පිරිත් දේශනා සිදු කරවීම හා ජීවමතක වස්ත්‍ර හෙවත් ජීවමාන පාංශුකූල පූජා කිරීම පුරාතනයේ පටන් සබරගමු ජනතාව ගේ ද සිරිතක් ව පවතියි. ආසන්න බණ නිම වූ දිනට පසුව දා භික්ෂූන් වහන්සේ උදෙසා හීල් දානය හා දවල් දානය පිළිගැන්වීමේ සිරිත ද පැවති බැව් පෙනේ. මෙහි දී දවල් දානය අවසන පහත දැක්වෙන ද්‍රව්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කළ බැව් මහාචාර්ය රැල්ෆ් පීරිස් සූරීන්ගේ ‘සිංහල සමාජ සංවිධානය’ නමැති කෘතියෙහි සඳහන් වෙයි.

පිත්තල පුකුරුවක් (දිය බොන කොතලය)

පහනක්, පඩික්කමක්, කැත්තක්, උදැල්ලක්, වෑයක්, පොරොවක්, කියතක්, පැදුරක් හා කොට්ටයක්, බේසමක් හා පලංගානක්, පලතුරු හා වෙනත් කෑම වර්ග ස්වල්පයක්, බුලත් කිල්ලෝටයක් වශයෙනි.

මරණාසන්න පුද්ගලයා ගේ ඥාතීහු මේවා සියල්ලක් ම භික්ෂූන් වහන්සේ ඉදිරියෙහි තැන්පත් කරති. අනතුරුව රියන් 16 ක් හෝ 20 ක් හෝ දිග කපු රෙද්දක් ගෙනවුත් එක් කොනක් භික්ෂූන් වහන්සේ අතට දී අනෙක් කොන නෑදෑයෝ අල්වා ගනිති. අල්වාගෙන මෙවන් පූජා වාක්‍යයක් ද ප්‍රකාශ කරති.

“සැරියුත් මුගලන් ආදී මහා සංඝ රත්නයෙන් අවිච්ඡින්න ව පැවත එන සම්මුති මහා සංඝ රත්නය වෙනුවෙන් ඔබ වහන්සේට කරනු ලබන මෙකී පූජාව හේතුකොට අප ගේ පියාණන්ට මරණින් මතු සදිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබ අවසානයේදීි නිර්වාණය අත්පත් කර ගැනීමට හේතු වාසනා ලැබේවා.

තව ද, මරණාසන්න පුද්ගලයාට දිස්වන සේ පහනක් දැල්වීම ද ඇතැම් පළාත්වල පැවැති චාරිත්‍රයකි. එම පහන් ආලෝකය හුදෙක් මිය යාමට ආසන්න පුද්ගලයා ගේ චිත්තාභ්‍යන්තරය පහන් කිරීමටත්, ඒ ඔස්සේ ප්‍රසාදජනක අවසන් සිතිවිල්ලකින් සුගතියක ඉපදීමටත්, පහන් දැල්ල හටගන්නා , සිඳෙන නියාව දැකීමෙන් අනිත්‍යය පිළිබඳ වූ භාවනාමය කුසලයක් සිදුකර ගැනීමටත් හැකි වෙතැයි, විශ්වාස කළ බව සිතිය හැකි ය. එසේම මරණාසන්න පුද්ගලයා ගේ ඇඳ අසල බුදු පුදට ගන්නා මල් ද තැබිණ. මෙය සෑමවිට ම බුදුරදුන් සිහිපත් කරවීමේ සහ මල් පරවී මැළවී යන නියාව අනුව අනිත්‍ය සිහිපත් කරවීමේ මාර්ගයක් ලෙස ද භාවිතයට ගත් බව සිතීම හේතු යුක්ති සහිත ය.

පුරාතනයේ පටන් ම මෑත ඉතිහාසය දක්වා ම මරණාසන්න පුද්ගලයකු වෙනුවෙන් සිදු කළ තවත් සිරිතක් නම් “පින්පොත කියවීම” යි. රුවන්වැලි මහා සෑය අබියස මරණ මංචකයේ සිටි දුටුගැමුණු රජුට ථෙරපුත්තාභය හිමි බණ දෙසීමෙන් පසුව පින්කිරියවත් ඇතුළත් “පින්පොත” කියවන්නට යෙදුණු බව ථූපවංසයේ මෙසේ සඳහන් ය.

“ඉක්බිති පින් කිරියවත් කියවන ලියන්නෝ ගැමුණු රජුහට මෙසෙ කියවූ හ. දේවයන් වහන්ස, අද දක්වා නුඹ වහන්සේ එකක් අඩු විහාර සියයක් කර වූ සේක. එසේ කරවූ විහාර අතරින් මිරිසවැටි විහාරය....”

මෙය විශාල වු පිරිසක ගේ සහභාගිත්වයෙන් මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණ බව ථූපවංශයේ විස්තර වෙයි. දැනුදු සැදැහැවත් බෞද්ධයන් අතර “පින් පොත” භාවිත කිරීම සිදු වෙයි.

මරණාසන්න මොහොතේ කළ මෙකී ඉපැරැණි පින්කම් සිරිත් දෙස විමසුම් ඇසින් බැලීමේ දී පෙනී යන කරුණක් නම් මේ සෑම සිරිතක් ම හරයක් සහිත වූවක් ම වන බවයි. මරණාසන්න පුද්ගලයාට පමණක් නොව ජීවත්වන්නන්ට ද මෙමඟින් ජීවිතය හා අනිත්‍යය පිළිබඳ යම් වැටහීමක් ලබා ගැනීමටත් කුසලයක් අත්පත් කර ගැනීමටත්, මං පෙත් විවර වෙයි.

පරම්පරාවෙන් පරම්පරාවට ආ පමණින් සෑම දෙයක් ම පිළිනොගත යුතු බවත්, එයින් නිවැරැදි දේ පමණක් තෝරා බේරා ගත යුතු බවත්, බුදු සමය පෙන්වා දෙයි. එම ඉගැන්වීමට අනුව බැලුව ද මරණාසන්න පුද්ගලයකු වෙනුවෙන් සිදු කළ මෙකී ඉපැරැණි පින්කම් සිරිත් අතර ඉවත දැමිය යුතු කිසිවක් නොමැති බව මැනවින් පැහැදිලි වෙයි.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk