[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අප රටට වැඩම වීමෙන් පසුව සිංහල දේශය ධර්ම ද්වීපයක් බවට පත් විය.

උන්වහන්සේගේ දින චර්යාව විවිධ අංශයන් වෙත පැතිරුණු සේවයක් විය. සිංහල ලේඛනයේ ආරම්භය සිදුවූයේ ද, ලේඛන සඳහා අවශ්‍ය බ්‍රාහ්මි අක්ෂර මාලාව මෙරටට ලැබුණේ ද උන්වහන්සේගේ ආගමනයත් සමඟම ය. මහින්දාගමනයත් සමඟම ත්‍රිපිටක ධර්මය තුළ අන්තර්ගත පාලි භාෂාව භික්ෂුන් වහන්සේගේ භාෂා මාධ්‍ය බවට පත්විය. පාලි භාෂාවේ ආභාෂය ලබාගත් සිංහල භාෂාව පෝෂණය විය. ඒ වගේම කලා ශිල්පයෙහි උන්නතිය, ගෘහ නිර්මාණ, චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලාවන් අප රටේ බිහි වූයේ ද උන්වහන්සේගේ ආගමනයත් සමඟ ය.

වැවයි- දාගැබයි, ගමයි - පන්සලයි යන උදාර සංකල්පය මෙරට ජනයාගේ සිත් හි ප්‍රබෝධයත් ඇති කළේ ය. ඓතිහාසික මහා බෝධිය පෙරහරකින් මෙරටට වැඩමවීම තුළින් ජනයාගේ සිතේ ශ්‍රද්ධාව ගොඩනැංවීමට සමත් විය. විවිධ සංස්කෘතිකාංග වලින් සමන්විත පෙරහර ක්‍රම මෙරට තුළ ව්‍යාප්ත වීම මහින්දාගමනයෙන් අපට ලැබුණු තවත් දායාදයකි.

අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වඩින විට තිස් දෙවැනි වියේ පසු වූ තරුණ තෙරුන් වහන්සේ නමකි. එකළ අප රට පාලනය කළේ දේවානම්පියතිස්ස රජු ය. ඒ රජුගේ අභාවයෙන් පසුව උත්තිය රජු රාජාභිෂේක ලබා අටවැනි වසර උදාවිය. මිහිඳු මහ රහතන් වහන්සේගේ වයස අවුරුදු අසූවකි. උපසම්පදාවෙන් සැට වසක් ගතකළ සේක. එකල්හි උන්වහන්සේ සෑගිරි විහාරයේ වැඩහුන් සේක. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව පසක් කරමින් පහන් සිලක් නිවී යන ලෙසින් පරම කල්‍යාණමිත්‍ර වූ සිංහල අපගේ අධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේ වූ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවී ගිය සේක. ඒ වප් මාසයේ පුර අටවක දිනයේ ය. එකල සිංහලයෝ වප් මාසයේ පුර අටවක දිනය “ශ්‍රී මිහිඳු පුර අටවක” නමින් හැඳීන්වූහ.

මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවීම ඇසූ උත්තිය රජු අධික වේදනාවට පත්විය. මිහින්තලේ සෑගිරියට ගොස් රහතන් වහන්සේගේ ශ්‍රී දේහය වන්දනා කොට ගුණ කියමින් හඬා වැටුණේ ය. රන් දෙනක සුවඳ තෙල් පුරවා වසා රන් කුඵ ගෙයක් මත තබා අනුරාධපුරයට වඩමවාගෙන එන ලද්දේ ය. තොරණ බඳවන ලද්දේ ය. ධජ පතාක ඔසවා මල් මාලාවන්ගෙන් සරසා පුන් කළස් තබ්බවන ලද්දේ ය.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය දැක වන්දනා කර ගැනීමට ලක්වැසි ජන ගංගාවක් ගලා ආවේ ය. ඒ ජනයා ද උන්වහන්සේගේ ගුණ කියමින් හඬන්නට විය. රජු විසින් ශ්‍රී දේහය කූටාගාරයේ තැන්පත් කරවා සත් දිනක් පූජෝපහාර පවත්වන ලද්දේ ය. සත් දිනෙන් අනතුරුව රජු විසින් අනුරාධපුරයේ නැඟෙනහිර දිසාවේ බද්ධමාලක නම් ස්ථානයේ සඳුන් දරින් චිතකයක් කරවා ශ්‍රී දේහය ථූපාරාම සෑයද පැදකුණු කරමින් එතැනට වඬමවා ගෙනවිත් තැම්පත් කර වූයේ ය.

සිහල දීපයෙන් බිහි වූ රහතන් වහන්සේලා ද, රහත් භික්ෂුණීන් වහන්සේලා ද ධර්ම සංවේගය සිහි කරමින් අනිත්‍ය ප්‍රතිසංයුක්ත වූ සම්බුද්ධ දේශනා සජ්ඣායනා කළ සේක. මගඵල නො ලත් භික්ෂූන් වහන්සේලා මෙන්ම භික්ෂුණින් වහන්සේලා ද, උපාසක, උපාසිකාවෝ ද ගුණ කියමින් හඬන්නට වූහ.

ශ්‍රී දේහයේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට එතැන චෛත්‍යයක් කරවන ලදී.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ වූ ආදාහන පූජෝත්සවය ශ්‍රී ලංකාවේ පළමු රාජකීය බෞද්ධාගමික ආදාහනය යි. මෙරට ජන හදවත් ආගමික ප්‍රබෝධයෙන් පුබුදුවා ලු සිංහල සභ්‍යත්වයේ හා සදාචාරයේ නියමුවා වූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම පාලකයන්ට මෙන්ම රට වැසියාටද ධර්ම සංවේගය ඇති කරන්නක් විය.

ආධ්‍යාත්මික, සාමාජික, සංස්කෘතික , ආර්ථික වශයෙන් අනුපමේය සේවයක් සිදුකළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම සිහිපත් කරන අද දිනයේ අපගේ වගකීම වන්නේ උන්වහන්සේ පෙන්වා දුන් තථාගත ධර්මය අප ජීවිතවලට ළංකර ගැනීමට උත්සුක වීම ය.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk