[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයට දියුණුව ගෙනෙන සැඟවුණු නිධානය හඳුනා ගනිමු

ජීවිතයට දියුණුව ගෙනෙන සැඟවුණු නිධානය හඳුනා ගනිමු

වර්තමානයේ බොහෝ දෙනකුට තිබෙන පොදු මානසික ලක්‍ෂණයක් වන්නේ තමන් සිතන දේ මෙන් ම කරන කියන දේ ද නිවැරැදි බවයි. යහපත් බවයි. මෙම මානසික පදනම හේතුවෙන් ඔවුනොවුන් අතර නිතර අර්බුද නිර්මාණය වේ.

වරක් බුදුරදුන් හමුවට පැමිණි එක්තරා දෙවියෙක් මෙසේ ඇසුවේ ය.

“භාග්‍යවතුන් වහන්ස කවර කෙනකු වැරදි නැතිද? කවර කෙනකු අපරාධ නැතිද? කවරෙක් මුලාවට නොපැමිණේ ද? කවර නම් කෙනෙක් සැමකල්හි ම සිහියෙන් යුක්තව වෙසේ ද? කවර කෙනෙක් නැණවත් වේද?” යනුවෙනි. දෙවියා ඇසූ පැනයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙන තමන් වහන්සේ තුළ කිසිදු වරදක් හෝ අපරාධයක් නොමැති හෙයින් මුළාවට පත්නොවී සැමදා සිහි නුවණින් යුතුව වාසය කරන බව පැවසූහ.

බුදුරදුන්ගේ මෙම පිළිතුරෙන් පැහැදිලි වන්නේ නික්ලේසී , වීතරාගී උතුමන් හැර අන් සියල්ලන්ගේ ම කවර හෝ දුර්වලතාවක් පවතින බවයි. කෙනකු වරදට පෙළෙඹෙන හා පොළඹවන විවිධ හේතු තිබේ. ඒ අතුරින් ඇතැම් ඒවා මානසික හේතු වන අතර, ඇතැම් හේතු කාරණා සමාජය හෝ පරිසරයේ බලපෑම නිසා විය හැකි ය.

කවර අර්ථයකින් ගත්ත ද කෙනකු වරදට යොමු වන්නේ මානසික හෝ භෞතික හේතු කාරණා අනුව ය. ඒ හැර ඔහු හෝ ඇය වරදට පොළඹවන වෙනත් බලවේගයක් නොමැත.

මනස තම ආධිපත්‍යයට නතු කරගෙන, එහි පැලපදියම් ව තිබෙන අකුසල සහගත මානසික දුර්වලතා මුලිනුපුටා දැමෙන තෙක් බාහිර සාධක පාලනය කිරීම ද දුෂ්කර වේ. මිනිසා වරදට පොළඹවන අකුසල සහගත මනෝභාවයන් විවිධ නම්වලින් බෞද්ධ පිටක ග්‍රන්ථවල හඳුන්වා තිබේ. කිලෙස, ආසව, අනුසය, උපක්කිලෙස හා නීවරණ ආදි වශයෙන් විවිධ නම්වලින් හැඳීන්වෙන මෙම මානසික දුර්වලතා සියල්ලට පදනම වන්නේ ලෝභ, දෝස,මෝහ යන ත්‍රිවිධ අකුසල මූලයන් ය.

මෙම දුර්වලතා තිබෙනතාක් විවිධ අවස්ථාවල , විවිධ වැරදි සිදුවීමට හැකියාව තිබේ. කෙලෙස් ධර්මවල බලපෑම, පුද්ගලයාගේ උගත්කම, සමාජ තත්ත්වය, ගිහි පැවිදි බව ආදිය අභිබවා ඒවා යටපත් කරමින් ක්‍රියාත්මක වේ. මෙනිසා බොහෝ උගත් පුද්ගලයන්ගෙන් ද අප නොසිතන ආකාරයේ වැරදි අඩුපාඩු සිදුවිය හැකි ය.

මිනිස් සිත පාලනයට නතු කරගැනීම අතිශය දුෂ්කර කාර්යයකි. වීතරාගී නොවන සැම කෙනකුගේ ම සිත අඩු වැඩි වශයෙන් කෙලෙස් ධර්මවල බලපෑමට නතුව තිබෙන බව ඉතා පැහැදිලි කරුණකි. මනසේ පවතින විවිධ කෙලෙස් ධර්ම සීලය මෙන්ම නීතිය ද යටපත් කොට පුද්ගල චර්යාවන්ගෙන් ප්‍රකාශයට පත්වේ. එම කෙලෙස් ධර්ම ප්‍රකාශයට පත්වීම වැලැක්වීම සඳහා අවශ්‍ය පුහුණුව දිගු කලක් තිස්සේ වැඩිය යුතු වේ. බෞද්ධ භාවනාවෙන් අපේක්‍ෂා කරන්නේ එයයි.

මනසේ පවතින විවිධ කෙලෙස් ධර්මවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පාලනය කිරීමට හෝ මුළුමනින් ම බැහැර කිරිමට අවශ්‍ය පුහුණුව භාවනාවෙන් ලැබේ. කෙලෙස් ධර්මවල බලපෑම පමණක් නොව සමාජය හා පරිසරය ද කෙනකු වරදට පෙළඹීම සඳහා හේතුවිය හැකි ය.

මේ අනුව කෙනෙකු වරදට පෙළඹෙන්නේ හෝ වැරදි සිදු කරන්නේ අභ්‍යන්තර කෙලෙස් ධර්මවල බලපෑම නිසා හෝ සමාජ පාරිසරික සාධක නිසා විය හැකි ය. කෙනකුගේ යහපැවැත්ම කෙරෙහි පතිරූප දේශවාසය හෙවත් සුදුසු පරිසරයක වාසය කිරීම මංගල සම්මත කරුණක් ලෙස බුදුරදුන් විසින් අනුමත කරනු ලැබ ඇත්තේ මේ හේතුව නිසයි.

කෙනකුගේ වැරදි විනිශ්චය කිරීමේ දී මෙන්ම එම තැනැත්තා හෝ තැනැත්තිය වරදින් මුදවා ගැනීම සම්බන්ධයෙන් ලබාදෙන උපදෙස්වල දි මේ දෙ අංශය ම සැලකිල්ලට භාජනය කළ යුතු වේ.

නොයෙකුත් වැරදි අඩුපාඩු සහිත පුද්ගලයා දෙස බැලිය යුත්තේ සානුකම්පිත ව ය. දරුණු මනුෂ්‍ය ඝාතකයකු වූ අංගුලිමාලට එම තත්වයෙන් මිදෙන්න හැකි වූයේ බුදු රදුන් ඔහුට දැක්වූ කරුණාව හා මෛත්‍රිය නිසයි. බුදු රදුන් මෙන්ම වීතරාගී ශ්‍රාවකයන් මෙය මැනවින් ක්‍රියාවට නැංවූ අයුරු විවිධ නිදසුන් මඟින් පැහැදිලි වේ. එසේම සෑම අපරාධකරුවකු තුළම සැඟවුණ යහපත් පුද්ගලයකු සිටින බව පැහැදිලි ය. එම යහපත් පුද්ගලයා අවදි කරවිය හැකි වන්නේ සැබෑ කළ්‍යාන මිත්‍රයකුට පමණි.

කෙනකුගේ වරද පෙන්වා දීමට හැකියාවක් තිබෙන අවංක මිතුරකුගේ ඇසුර, මඟ පෙන්වීම සැම කෙනකුටම අවශ්‍ය වේ. එවැනි මිතුරකුගේ ස්වභාවය කවරේද යන්න ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ පළමු ගාථාවෙහි ඇතුළත් වේ.

ඒ අනුව ඇසුරට තෝරා ගත යුත්තේ තමාට නිග්‍රහ කරමින් වරද පෙන්වා දෙන තැනැත්තා ය (නිග්ගයහ්‍යවාදි). එවැනි පුද්ගලයා නිධානයක් පෙන්වන තැනැත්තකු හා සමාන වේ(නිධීනංව පවත්තාරං). එවැනි පුද්ගලයකුගේ ඇසුර හේතුවෙන් පුද්ගලයා උසස් කෙනකු වනු මිස කිසිවිටෙකත් පහත් අයකු බවට පත් නොවේ(සෙය්‍යොහොති න පාපියො). මෙම බුද්ධාවවාදය අනුව ඉතා කර්කශ අයුරින් වරද පෙන්වා දෙන තැනැත්තා විශේෂ ඇගයුමට ලක්කොට තිබේ.

ඒ අනුව මව්පියන්, ගුරුවරුන් මෙන් ම, වැඩිහිටියන් එසේ දැඩි ලෙස වැරදි පෙන්වාදෙන සැබෑ මිතුරෝ වෙති. වරදින් මුදවාගැනීමේ අරමුණින් දැඩි ලෙස අවවාද කරන කෙනකු බොහෝ දෙනකුට ප්‍රිය නොවිය හැකි ය. එහෙත් අවංක චේතනාවෙන් , දැඩි ලෙස අවවාද කරන තැනැත්තා නිධානයක් පෙන්වන තැනැත්තකු හා සමාන ය.

නිධානය යනු භෞතික සුඛ විහරණය සඳහා හේතුවන්නකි. නිධානය කිසියම් කෙනකු විසින් මතු ප්‍රයෝජනය සඳහා සඟවා තබන ලද්දකි. එහෙත් කාලයත් සමඟ එය ප්‍රයෝජනයට නොගෙන අත්හරින ලද්දක් බවට පත්වේ. නොසිතූ විරූ පරිදි එවැනි ධනයක් ලැබීම සොම්නසට හේතු වේ.

දැඩිලෙස කෙරෙන අවවාදය ද එබඳු ය. කලණ මිතුරකුගේ හෝ නැණවතකුගේ දැඩි අවවාදය හේතුවෙන් කෙනකු තම වැරදි නිවැරදි කරගන්නේ නම්, ඔහු හෝ ඇය කිසිවිටෙකත් පවිටකු බවට පත් නොවේ. ධම්මපද ගාථාවෙන් එය තහවුරුකොට තිබේ.

වැරදි පෙන්වා දීම මෙන් ම වැරදි දැකීමට හා පිළිගැනීමට ඇති කැමැත්ත ද නිවැරදි වීම සඳහා අවශ්‍ය වේ. කොතෙක් අවවාද ලැබුණත් නොපිළිගන්නේ නම් එය අර්ථශූන්‍ය ය. බොහෝ දෙනකු කල්පනා කරන්නේ තමා සාකල්‍යයෙන් ම සර්ව සම්පූර්ණ අයකු බවයි. එහෙත් එම පිළිගැනීම කවර අන්දමින් වුව නිවැරදි වූවක් නොවේ.

නිකෙලෙස් උතුමන් හැර අන් සියල්ලන්ගේ ම කුමන හෝ් වරදක් හෝ අඩුපාඩුවක් පවතින බව යට සඳහන් කළ දෙවියා ඇසූ පැනයට ලබාදුන් පිළිතුරෙන් සනාථ වේ.

විවේචනයට මෙන්ම තම අඩුපාඩු නොපිළි ගැනීමට මෙන්ම, ඒවා දැකීමට අකමැති තැනැත්තාට කිසිසේත් දියුණු විය නොහැකි ය.

මෙය පුද්ගලයකුට පමණක් නොව ආයතනයකට හෝ කිසියම් සංවිධානයකට ද අදාළ ය. විවේචනය හා අඩුපාඩු පෙන්වාදීම බාරගත යුත්තේ ධනාත්මක ව යන්න ‘නිධානය’ පිළිබඳ නිදසුනෙන් පැහැදිලි වේ. විවේචනය මගින් එල්ලකෙරෙන චෝදනා මැනවින් නිරීක්‍ෂණය කොට ඒ සියල්ල තමා වෙත පවතී නම්, ඒවා බැහැර කිරීමටත් එවැනි වරදක් නොමැති නම් එය නොසලකා හැරීමත් අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත වේ. එහෙත් වර්තමානයේ එවැනි තත්වයක් දක්නට නොලැබේ. මව්පියන්, ගරුවරුන් හා ආගමික නායකයන් මෙන්ම උගතුන් , බුද්ධිමතුන් විසින් පෙන්වාදෙනු ලබන වැරදි අඩුපාඩු නිවැරදි කරගැනීම වෙනුවට බොහෝ දෙනකු අනුගමනය කරන්නේ එසේ අවවාද හා මඟ පෙන්වීම් කරන පුද්ගලයන්ට ප්‍රතිප්‍රහාර හා නින්දා අපහස කිරීම ය.

මෙම අනුවණ පිළිවෙතින් සිදුවන්නේ නිරන්තරයෙන් ම වැරදි කරන, වැරදි පිළිවෙත් අනුගමනය කරන පිරිසක් ඇතිවීම ය. බුද්ධ ශ්‍රාවකයා කලණ මිතුරන්ගේ ඇසුර, මඟ පෙන්වීම නිරන්තරයෙන් ම අපේක්‍ෂා කරයි. එසේ තම වරද පෙන්වා දෙමින් කෙරෙන අවවාද අනුශාසනා පිළිගැනීමට ඇති කැමැත්ත සුවචබව (සොවචස්සතා) යනුවෙන් හැඳීන්වේ. එය ගිහි පැවිදි දෙපක්‍ෂය තුළම වර්ධනය කරගත යුතු යහපත් පුරුෂාර්ථයකි. මේ අනුව ඇසුරට තෝරාගත යුත්තේ සැඟවුණු නිධානය පෙන්වා දෙන කලණ මිත්‍ර පණ්ඩිතයෝ ය.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk