[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් ආලෝකයෙන් හෙළදිව එළිය කළ අනුබුදු මිහිඳු මා හිමි ගුණ කඳ සිහිකරමු

සදහම් ආලෝකයෙන් හෙළදිව එළිය කළ අනුබුදු මිහිඳු මා හිමි ගුණ කඳ සිහිකරමු

කෙළෙහිගුණ දත් සත්පුරුෂයන් වශයෙන් ගිහිපැවිදි අපි කවුරුත් ලක්දිවට සියලු ශාසනික දායාදයන් ලබාදුන් උත්තම මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණ සමුදාය සිහිකරමු. සෑම නිවසක ම, ආයතනයක ම බෞද්ධ ධජය ඔසවමු. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වාදුන් සදහම් මඟෙහි ගමන් කරන්නට වඩවඩාත් උත්සාහවත් වෙමු.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදහම් සංදේශය අපගේ මාතෘ භූමියට දායාද කොට වදාළේ, දීපප්පසාදක මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. පරම පූජනීය කල්‍යාණමිත්‍රයාණෝ වශයෙන් ලක්දිව වැසියන් කෙරෙහි කළ මහා ශාසනික අනුග්‍රහය නිසාවෙන් උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ නමක් වැනි ය. ගෞතම සම්මා සම්බුදු සසුන බබුළුවාලූ ශ්‍රීමත් මොග්ගලීපුත්තතිස්ස මහරහත් මුනිඳුන් තෙවන ධර්ම සංගායනාව සමාප්ත කොට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් රහතන් වහන්සේලාට මෙසේ පැවසූහ.

“ඔබ වහන්සේලා ඉතා රම්‍ය වූ ලංකාද්වීපයට වැඩමකොට ඉතා සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවව්...” යනුවෙනි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගත වූ පසු පොසොන් පුන් පොහෝ දිනක ලක්වැසියන්ට අමා දහම් වැසි වස්සවනු පිණිස, අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ මිහින්තලාවට වැඩම කළ සේක.

ගෞතම බුදුසසුන සිරිලක බැබළ වූ සේක...

පළමුව චුල්ලහත්ථිපදෝපම සුතුරින් දහම් දෙසා, දේවානම්පියතිස්ස රජු ඇතුළු හතළිස් දහසක් පිරිස තිසරණගත උපාසකයින් කරමින් ඇරඹි දහම් ප්‍රචාරය සතියක් ඇතුළත දී ලක්දිවින් මාර්ගඵලලාභීන් අටදහස් පන්සියයක් බිහි කරන්නට සමත්වීය.

අරිට්ඨ මහ රහතන් වහන්සේගෙන්, ඇරඹි සිංහල රහත් සඟ පරපුර සුළු කලකින් ම කසාවතින් ලක්දිව බැබළවීය. ගිහි කල සිය සහෝදරිය වූ සංඝමිත්තා රහත් තෙරණිය මෙහි වැඩමවා භික්ෂුණි සංඝයා බිහිකොට හෙළ කතුනට විමුක්ති මග විවර කළෝ මිහිඳු මාහිමියන් ම ය. උන්වහන්සේ නිකෙලෙස් හදමඬල නම් ස්වර්ණ මංජුසාවෙහි ශ්‍රී සද්ධර්මය දරාගෙන මෙහි වැඩමකොට, පර්යාප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් බුද්ධ ශාසනය ලක්දිව බැබළවූහ. මහා සඟ පිරිවරකින් යුක්ත ව ලක්දිවට ශාස්තෘන් වහන්සේ හා සමාන ව යහපත, සෙත සැලසූහ.

අසහාය ධර්ම දූත මෙහෙවර....

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩමකොට මුල් වසරෙහි මහමෙව්නා උයනෙහි දෙවනපෑතිස් නිරිඳුන්ලවා කරවන ලද්දේ මහාවිහාරයයි. දෙවනුව කරවන ලද්දේ මිහින්තලේ සෑගිරියයි. තුන්වෙනුව කරවන ලද්දේ ථූපාරාමයයි. සිව්වෙනුව කරවන ලද්දේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා රෝපණය කිරීමයි. පස්වෙනුව රුවන්වැලි මහා සෑය අනාගතයේ පිහිටන තැන ගල්ටැඹ පිහිටුවාලූ සේක. එමෙන් ම අප භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා ධාතූන් වහන්සේගේ පිහිටුවීම ද සිදුවිය. සයවැනි ව කරවන ලද්දේ ඉසුරුමුණි විහාරයයි. එමෙන්ම පඨමක චේතියත්, වෙස්සගිරි විහාරයත් කරවීමට රජතුමාට අනුශාසනා සිදුකළේ මිහිඳු මහරහතන් වහන්සේම යි. ඒ උත්තම කල්‍යාණ මිත්‍ර රත්නයේ අනුහසින් සිවුවනක් ශ්‍රාවක පිරිසට ධර්මයේ හැසිරෙන්නට, මහානීය පින් රැස් කරගන්නට, නිසි උතුම් පතිරූප දේස වාසයක් මෙසිරිලක බිහිවිය. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් අපහට දායාද විය.

සිරිලක එළිය කළ හිරුමඬල බැස යයි...

දෙවනපෑතිස් නිරිඳුන්ගේ සොහොයුරු උත්තිය රජුගේ අභිෂේකයෙන් අටවැන වසරේ දී, උපසම්පදාවෙන් සැටවස් වූ, උපතින් අසූවයස් ඇති මිහිඳු මාහිමියන් වහන්සේ මිහින්තලේ සෑගිරි වෙහෙරෙහි වැඩහුන් සේක.

සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යබව පසක් කරමින්, අපගේ පරම කල්‍යාණමිත්‍ර වූ සිංහලයාගේ මහා ආධ්‍යාත්මික ආචාර්යයන් වහන්සේ වූ මිහිඳු මාහිමියන් වහන්සේ පහන් සිලක් නිවී යන සේ පිරිනිවන් පා වදාළ සේක. එදින වප් මාසයේ පුර පක්ෂයේ අටවක දවසයි. එනිසා එම දිනය එකල සැදැහැති හෙළ බොදුනුවන් හැඳීන්වූයේ “ශ්‍රී මිහිඳු පුර අටවක” නමිනි. ඒ මීට වසර 2280 කට පෙර, එනම් ශ්‍රී බු.ව. 284 දී ය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහයට සිදුකළ බැති පුද...

මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම ගැන ඇසූ උත්තිය රජු සෝකහුලෙන් පහර කමින් වහා මිහින්තලේ සෑගිරියට ගියේ ය. නිසල ශ්‍රී දේහයට වන්දනා කොට මිහිඳු මාහිමියන්ගේ උතුම් ගුණ කඳ පවසමින් හඬා වැටුණේ ය. රන්දෙණක සුවඳ තෙල් පුරවා ශ්‍රී දේහය එහි තැන්පත් කොට, රන් කුළුගෙයක තබා මහත් ගෞරවයෙන් අනුරාධපුරයට වඩමවන ලද්දේ ය. ධජ පතාක ඔසවා, තොරන් බන්දවා, මල් මාලාවන්ගෙන් සරසා, පුන්කලස් තබ්බවා නගරය අලංකාර කරන ලද්දේ ය. අනුබුදු මිහිඳු මාහිමියන්ට කෘතගුණ සලකා, අවසන් ගෞරව දක්වන්නට අතිවිශාල සැදැහැති ජනකායක් දිවයිනේ නන්දෙසින් ඇදී ආහ. අරහත් ශ්‍රී දේහය පඤ්චම්බ මාලකයෙහි කූටාගාරයක තැන්පත් කරවා සත් දිනක් පුරාවට අපමණ පූජෝපහාර පවත්වන ලද්දේ ය.

අරහත් මිහිඳු මාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය...

අනුරාධපුරයෙන් නැගෙනහිර දිසාවෙහි බද්ධමාලක නම් ස්ථානයෙහි සඳුන් දරවලින් චිතකයක් කරවන ලදී. ශ්‍රී දේහය රැගෙන ථූපාරාමය ද පැදකුණු කොට එතැනට වැඩමවාගෙන විත් දර්ශනීය චිතකයෙහි කූටාගාරය තැන්පත් කරවී ය. ලක්දිව් තලයෙන් පහළ වූ සිංහල අරහත් භික්ෂූහු ද භික්ෂුණීහු ද ධර්ම සංවේගයෙන් යුතුව අනිත්‍ය ප්‍රතිසංයුක්ත සම්බුද්ධ දේශනාවන් සජ්ඣායනා කළහ. මගඵල නොලත් භික්ෂූන් ද භික්ෂුණීන් ද මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණ කියමින් කඳුළු සැලූහ. මග ඵලලාභී උපාසක උපාසිකාවන් ධර්ම සංවේගයෙන් බලා සිටියදී අවශේෂ ජනයා හඬා වැළපුණහ.

දෙවිවරු ද අහස් ගැබෙන් උපහාර පිණිස මල්වරුසා වැස්සවූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ භූමියට ගෞරව පිණිස “ඉසිභූමංගන” යන නාමය තබන ලදී. උත්තිය රජතුමා විසින් එහි ශ්‍රී අරහත් ධාතු තැන්පත් කොට චෛත්‍යයක් ද කරවන ලදී.

සිරිමෙවන් රජ දවස සිදුකළ මිහිඳු මා හිමි කෘතගුණ පූජා....

මිහිඳු මාහිමියන්ගේ පිරිනිවන් පෑමෙන් වසර 560කට පසු රජ වූ සිරි මේඝවර්ණ රජතුමා මිහිඳු මාහිමි ගුණ සමරා මිහිඳු පුර අටවක දින මහා පින්කම් සිදු කොට ඇත. ලක්දිව දහම් දීපයක් කළ මිහිඳු මාහිමියන් කෙරෙහි අතිශයින් පැහැදී “මහා මහේන්ද්‍ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්‍රී ලංකාද්වීපයට අධිපති වන සේක.” යනුවෙන් සිතා සිරිමෙවන් රජතුමා සිදුකළ පුද පූජාවන් ගැන මහාවංශයෙහි මෙසේ සඳහන් ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ සිරුරෙහි පමණට ම තනි රත්තරනින් පිළිම වහන්සේ නමක් කරවා, වප් මස පුර අටවකට පෙර දින මිහින්තලයට වැඩමවා, අම්බස්ථලයෙහි අටවක දින වැඩසිටීමට සැලැස්වී ය. පසුදින හෙවත් නවවක දා ලංකාද්වීපයේ සියලු භික්ෂූන් ද, සිවුරඟ සේනාවන් ද, නගරවාසීන් ද කැටුව ශාස්තෘන් වහන්සේගේ උතුම් පුත් රුවනක් වූ, ලංකාදීපයට ශාස්තෘ බඳු වූ මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කිරීමට පෙරගමන් ගියේය. එමෙන් ම නගරයේ මහා සිරගෙදර සිරකරුවන්ද නිදහස්කොට, මහා දන්සැල් පිහිටුවා, සියලු ප්‍රධානීන් ට බත් වැටුප් දී, මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා සියලු උපහාරයන්ගෙන් යුත් අපමණ පූජා පැවැත්වීය.

අම්බස්ථලයෙහි පටන් අනුරාධපුරය දක්වා මාර්ගය ඉතා සොඳුරුව සරසා, මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිම වහන්සේ වැඩමවන උත්සවයට නොයෙක් භෝගයන් පුදා, එහි සිටි දුගී මගී යාචකයන්ට මහ දන් පැවැත්වී ය. භික්ෂු භික්ෂුණී උභය සංඝයා උදෙසා සිවුපසයෙන් ම සංග්‍රහ කළේ ය. “එම්බා ජනයෙනි, අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අනුරපුරයට වැඩම කරනා අයුරු මෙසේ බලව...” කියමින් සිරිමෙවන් රජතුමා මහත් වූ හරසරින් පිළිම වහන්සේ වැඩමවාගෙන විත් නගරයේ නැගෙනහිර ද්වාරයෙහි කරවන ලද විහාරයෙහි තුන් දිනක් වඩාහිඳුවීය. ඉන්පසු ජය ශ්‍රී මහා බෝමළුවට වැඩමවා එහි තුන් මසක් වඩාහිඳුවා, රාජමාලිගාවට අසලින් ම අලංකාර විහාරයක් කරවා එහි පිළිම වහන්සේ තැන්පත් කරවීය. එමෙන් ම ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන හා භණ්ඩුක යන රහතන් වහන්සේලාගේ ද පිළිම වහන්සේලා කරවා එහි වඩා හිඳෙව්වේ ය.

සැදැහැති සේම නුවණැති සිරිමෙවන් රජු පිළිම වහන්සේලා වඩාහිඳුවන ලද විහාරයට ආරක්ෂාව සලස්වා, පුද පූජාවන් පිණිස වියහියදම් ද ලබාදී වාර්ෂිකව මේ අයුරින් ම උපහාර පූජෝත්සව පවත්වන්නට රාජ නියෝග කළේ ය. එමෙන් ම මහා පවාරණ දිනයේ දී මහ මිහිඳු හිමි පිළිම වහන්සේ මහා විහාරයට වැඩමවා වාර්ෂිකව වප් මස දහතුන් වෙනිදා පුද පූජාවන් පවත්වන්නට ද විධිවිධාන යෙදී ය. සිරිමෙවන් රජුගේ පරම්පරාවෙන් පැමිණි ලක්දිව රජවරුන් එම මිහිඳු පුර අටවක උපහාර පූජාව නොකඩවා වසර තුන්සියයක් පවත්වා ඇත. මෙවර මිහිඳු පුර අටවක දිනය යෙදෙන්නේ ඔක්තෝබර් මස 23 වන දිනට ය.

කෙළෙහිගුණ දත් සත්පුරුෂයන් වශයෙන් ගිහිපැවිදි අපි කවුරුත් ලක්දිවට සියලු ශාසනික දායාදයන් ලබාදුන් උත්තම මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සමුදාය සිහිකරමු. සෑම නිවසක ම, ආයතනයක ම බෞද්ධ ධජය ඔසවමු. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වාදුන් සදහම් මඟෙහි ගමන් කරන්නට වඩවඩාත් උත්සාහවත් වෙමු. ඒ අපගේ පරම කල්‍යාණමිත්‍ර වූ ලංකාදීපප්පසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අපගේ නමස්කාරය වේවා!

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk