[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපත් ආකල්ප දෙලොව දියුණුව ගෙන දෙයි

යහපත් ආකල්ප දෙලොව දියුණුව ගෙන දෙයි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

“හනන්ති භොගා දුම්මෙධං - නො ච පාරගවේසිනො
භොගතණ්හාය දුම්මෙධා - හන්ති අඤ්ඤෙ ච අත්තනං”

මෙම ගාථා ධර්මය බෞද්ධයාගේ අත්පොත යන ගෞරව නාමයෙන් පිදුම් ලබන ඛුද්දක නිකායට අයත් ධම්ම පදයෙහි තණ්හා වග්ගයට අයත් වූවෙකි. එහි සරල අර්ථය නම්,

අනුවණ පුද්ගලයා වස්තු තණ්හාව හේතු කොට ගෙන” අනුන් නසයි. එමෙන් තමන් ද නසන්නේ ය” යන්නයි.

තථාගතයන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළේ අපුත්තක නම් සිටුවරයකු අරමුණු කොටගෙන ය. සැවැත් නුවර සුවිශාල ධනයක් උරුම ව සිටි මොහු ආහාරයට ගත්තේ නිවුඩු හාලේ බත් සහ කාඩි හොද්දක් පමණි. වැහැරී ගිය සළු හැඳි හෙතෙම දිරා ගිය රියකින් ගමන් කළේ ය. දරු සම්පත් නොලද්දේ ය. ධනය මත්තෙහි ම ඇලෙමින් දැඩි ලෝභී දිවියක් ගත කළේ ය. හදිසියේ ම හටගත් රෝගී තත්ත්වයක් නිසා අපුත්තක සිටුවරයා මරණයට පත් විය.

මොහුගේ මරණයෙන් පසු එකී ධනයට හිමිකරුවකු නොවූ හෙයින් ඒ සියල්ල ම රටේ රජුට හිමි විය. දින හතක් පුරා පසේනදි කොසොල් මහ රජතුමා තම සේවකාදීන් යොදවා මෙම මහා ධනස්ඛන්ධය රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන එන්නට විය. මේ නිසා සත් දිනකින් බුදු රදුන් හමුවට යාමට මහ රජුට නොහැකි විය.

සත් වැනි දින දවල් යාමයෙහි දෙව්රම් වෙහෙරට යන කොසොල් රජු තථාගත බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාරය කොට පසෙක හිඳ පිළිසඳර කතාවෙහි යෙදුණි. එවිට බුදු හිමියන් විමසා සිටියේ දින හතකින් නොපැමිණියේ ඇයි ද යන්නයි. එවිට රජතුමා අපුත්තක සිටුවරයාගේ මරණය පිළිබඳ සැළ කර එම මහා ධනයට උරුමකම් කීමට කිසිවෙකු නොවූ හෙයින් ඒ සියල්ල රැගෙන ඒම සඳහා ගිය බව ප්‍රකාශ කර සිටියේ ය. පසුව කොසොල් මහ රජු විසින් බුදු හිමියන්ගෙන් විමසනු ලැබුවේ භාග්‍යවතුන් වහන්ස, මෙම සිටුවරයාට මෙතරම් සුවිශාල ධනයක් තිබුණ ද නිසි සැපයක් විඳීමට නොහැකි වූයේ ඇයි ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් බුදුරදුන් මෙසේ පැහැදිලි කළ සේක. පෙර ආත්ම භාවයක ගරගසිඛී නම් පසේ බුදුරදුන් පිඬු සිඟා වඩින විට සිටු පදවියක් දැරූ මොහු තම රාජකාරියකට යාමට සිටු මැදුරින් පිටතට පැමිණියේ ය. බුදුරදුන් දැක තම බිරිඳට පවසා යන්නේ මේ ශ්‍රමණයන්ට තිබෙන සුළු දෙයක් ලබා දී පිටත් කර හරින ලෙස ය.

පසුව සිටුවරයාගේ වචනය ඇසූ සිටු දේවිය බෙහෙවින් ශ්‍රද්ධා ගුණයෙන් යුතු ව ප්‍රණීත ආහාර පාන පිළියෙළ කොට පසේ බුදු රජාණන් වහන්සේගේ පාත්‍රය පිරී යන පරිදි දන් පූජා කළා ය.

පිණ්ඩපාතය පිළිගෙන වැඩම කරන උන්වහන්සේට අතරමඟ දී හමුවන සිටුවරයා පාත්‍රය හැර බලන්නේ කිනම් දෙයක් බිරිඳ පූජා කළේ ද යන්නයි. ප්‍රණීත ආහාරවල සුවඳ දැනුණ ඔහු සිටු මැදුරට පැමිණ බිරිඳට බෙහෙවින් දෝෂාරෝපණය කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස දන් දීමට අවසර දුන් හෙයින් මෙම ආත්ම භාවයෙහි බොහෝ ධනය ලැබුණ ද, දුන් දෙයට අනුව සතුටුවීමට නොහැකි වූ හෙයින් අපුත්තක සිටුවරයා බොහෝ දුෂ්කර දිවියක් ගෙවූ බව බුදුරජාණන් වහන්සේ කොසොල් මහ රජුට මනාව පැහැදිලි කළහ. පසුව නැවතත් රජු බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ මොහුට දරු සම්පත් නොමැති වූයේ ඇයිද යන්නයි. එයට ද පිළිතුරු සපයන උන්වහන්සේ පෙර ආත්ම භාවයක තම වැඩිමල් සිටුවරයා හදිසියේ ඇති වූ රෝගයකින් මරණයට පත් වූ අතර පසුව සිටු තනතුරට තිබෙන්නා වූ දැඩි තෘෂ්ණාව නිසා දිනක් උදෑසනම සොහොයුරුගේ කුඩා පුත් කුමරු සමග රහසේම කැලයට යන සිටුවරයා කුඩා කුමාරයා මුලා කොට කඩුවෙන් හිස සිඳ දමා මරණයට පත් කරයි. එහි විපාක ලෙස ආත්ම වාර හතක් දරු සම්පත් සඳහා මොහුට වාසනාව නොවූ බව තථාගත බුදුහිමියන් රජුට පැහැදිලි කොට වදාළහ.

මෙම වටිනා කතා පුවත තුළින් පැහැදිලි වන්නේ තණ්හාවේ ආදීනවයි. වටිනා මිනිසත් බව ලැබුව ද මෙකී කෙලෙස් නිසා මිනිසා තම වටිනා ජීවිතය පවා විනාශ කර ගන්නා අයුරු නූතනයෙහි බොහෝ සිදුවීම් තුළින් මනාව පැහැදිලි වන්නකි. දැඩි ආශාව හෙවත් තණ්හාව නිසා මිනිසා අඳුරෙන් අඳුරට ම යොමු වන බව සම්බුද්ධ දේශනාවයි.

කහවනු වරුෂාවක් වැස්ස ද දැඩි ලෝභී පුද්ගලයාට එය ප්‍රමාණවත් නොවන බව ධර්මයෙහි සඳහන් වේ.

“තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස - නත්ථි සොකො කුතො භයං”

යනාදී වශයෙන් ද පෙන්වා දෙන්නේ තණ්හාව නිසා ශෝකයත්, භයත් ඇතිවන අතර එයින් මිදුණ පුද්ගලයාට කිසිදු අසහනයක් නොවන බවයි.

අප සමාජය දෙස බලන කල්හි සිදුවන නොයෙක් සිදුවීම් තුළින් පැහැදිලි වන්නේ තෘෂ්ණාව ඒ සඳහා මූලික හේතුවක් වී ඇති අයුරු ය. මෙයින් මිදීමට නම් අප තථාගත බුදුරදුන්ගේ ධර්මයට අනුගත වීම අනිවාර්ය සාධකයකි. මෙම බියකරු සසර කතරින් එතෙර වීමට බාධා කරන මූලික බාධකය වන්නේ ද දැඩි තණ්හාවයි. මෙය තමාට පමණක් නොව මුළු මහත් සමාජයට ම දැඩි පීඩාවක් වනු ඇත. නූතන ලෝකය දෙස අවධානය යොමු කිරීමෙන් මෙකී කාරණා මනාව පැහැදිලිව පෙනෙන්නට ඇත. ඒ නිසා වටිනා මිනිසත් බව ලද අප සියලු දෙනාම මෙම කෙලෙස්වලින් සිදුවන බලපෑම වටහාගෙන යහපත් ආකල්ප ගොඩ නඟා ගැනීමට උත්සාහ කළ යුතු ය.

බුද්ධ වචනයට අනුව ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන පුද්ගලයෙක් බවට අප පත් විය යුතුව ඇත. නොමැති නම් සිදු වන්නේ අප තව දුරටත් මෙම සසරෙහි දුක් වේදනාවන්ට ගොදුරු වීමයි.

“ධම්ම කාමො සුඛං සේති- ධම්ම දෙස්සී පරාභවො.”

ධර්මයට කැමති තැනැත්තා සැප ලබන අතර, ද්වේශ කරන්නා පිරිහීමට පත් වේ. මෙකී ධර්මාවවාදයට අනුව තම දිවි මග ආලෝකමත් භාවයට පත්කර ගනිමින් තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ මෙම සසර දුකින් එතෙර ව උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට අධිටන් කර ගනිමු. ඒ සඳහා ඔබ සැමට ධර්මයේ ආශීර්වාදයෙන් නුවණැස පෑදේවා’යි ප්‍රාර්ථනා කරන්නෙමු.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk