[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වළගම්බා රජුට රැකවරණය දුන් මාලිගාතැන්න සෙනසුන

වළගම්බා රජුට රැකවරණය දුන් මාලිගාතැන්න සෙනසුන

මල් වගා කර දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජෝපහාර දැක්වූ ග්‍රාමය මල්වතු හිරිපිටිය යැයි ද, පලතුරු පූජා කළ ග්‍රාමය අඹගස් පිටිය ලෙස ද, ව්‍යංජන සකස් කොට ධාතූන් වහන්සේට පූජා පැවැත්වූ ග්‍රාමය කෙහෙල්ගල් දොරුව ලෙස ද අදට ද ප්‍රචලිත ය.

හාත්පස පැතිර ගිය ඝන වනාන්තරයට මැදිව අතරින් පතර අහස් කුසට එසැවුණු ගල් කුළු ය. ඊට පහළින් දක්නට ඇති කුඹුරු යායත්, ඊට යාබදව ගලා බසිනා දිය දහරාත් ,දකින දසුන නෙත පින් කර ඇතුවා යැයි සිතෙයි.ඒ අතරින් පෙනෙන පොල් රුප්පාවන් ද ඊට මැදිව අහස් කුස වන්දනා කරනා කොත් වහන්සේලා ද අවට ඇති විහාර පින් බිම් වල සලකුණු ය.හෙළ රජ දරුවන්ගේ පාද ස්පර්ශයෙන් සුපෝෂිත වූ මේ බිම් අඟලක ම ඇත්තේ අපේ ඇත්තන්ගේ උරුමය යැයි සිතෙයි.

බස්නාහිර පළාතේ සියනෑ කෝරලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඓතිහාසික පින් බිමක මුහුදු මට්ටමේ සිට අඩි අටසිය පනහක පමණ ඉහළ ඇති මෙම දසුන අතිශය මනස්කාන්ත ය.

කොළඹ නුවර පාරේ, නුවර දෙසට ගොස් මිරිස්වත්ත හංදියෙන් දකුණට හැරී 205 වතුරගම පාරේ කිලෝමීටර් පහක් පමණ ගිය පසු මාලිගාතැන්න හංදිය හමුවෙයි.ඉන් වමට හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන ලොව්තුරු බුදු පියාණන්ගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දෙවරක් වැඩසිටි බව සැලකෙන හෙළ රජ දරුවන්ගේ ස්පර්ශයෙන් පෝෂිත මාලිගාතැන්න විවේක සේනාසනයට පැමිණිය හැකි ය.

ඓතිහාසික වශයෙන් මෙන්ම ආගමික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මාලිගාතැන්න අත්තනගල්ල,වාරණ,පිළිකුත්තුව මෙන්ම සියනෑ කෝරලයේ ප්‍රමුඛතම රාජ මහා විහාර පින් බිමයි.

වසර දාහතරයි මාස හතක කාලයක් සැඟව, සිය සේනා සංවිධානය කරමින් සතුරා පරාජය කොට හෙළ දේශය සශ්‍රික කළ වළගම්බා රජු මෙන්ම, මුගලන් මහ රජුත් සකල කලා වල්ලභ මහා රජුත් ආරක්ෂා වූයේ මාලිගාතැන්න යැයි මාලිගාතැන්න විවේක සේනාසනයේ භාරකාර කොටපොල පියරතන හිමියෝ පවසති.

මිත්තාසභ තෙරුන් වහන්සේ රහත්භාවයට පත්වූ ස්ථානය ද මාලිගාතැන්න ලෙස හැඳීන්වෙන අතර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දෙවරක් වැඩසිටි පුණ්‍යවන්ත භූමියක් ලෙස ද ප්‍රචලිත ය.

පොලොන්නරු යුගයේ දී වාචිස්සර සංඝරාජ නාහිමියන් පාත්‍රයක වඩා හිඳ වූ පූජනීය දළදා වහන්සේ තැනින් තැන වැඩමවා ගෙන යන අතරතුරේ මාලිගාතැන්න විහාර පින් බිමට මුල්වරට වැඩම කොට තිබෙන බව සඳහන්‍ ය.පූජනීය දළදා වහන්සේ භාරව සිට ඇත්තේ හිරිපිටිය රාළ යැයි කතා පුවතක් ද ඇති බව පියරතන හිමියෝ සඳහන් කරන තවත් කරුණක් වෙති.

රාත්‍රියේ දී හිරිපිටිය රාළ වෙත පැමිණි දෙවියන්ට ආරාධනාවක් කොට ඔහුට පවසා ඇත්තේ ‘කෝට්ටේ කළාලේ - දත මැද ගන් රාලේ ‘ යන්නයි.එලෙස පවසා ඇත්තේ කෝට්ටේ කෝලහාලයක් වන බවත්, ධාතූන් වහන්සේ රට මැදට රැගෙන ගොස් ආරක්ෂා කරගන්න යැයි ද කතා පුවතකි.

මෙයින් කලබල වූ හිරිපිටිය රාල දන්ත ධාතූන් වහන්සේ දෙවන වරටත් මාලිගාතැන්නට වැඩම කොට සඟවා තිබූ බවට සටහන් තවමත් මෙහි දක්නට ඇති නශ්ඨාව ශේෂයන් සාක්ෂි දරන්නේ ය. දන්ත ධාතූන් වහන්සේ උදෙසා උදේ හවා දානය සකස් කොට පූජා කළ යුතු යැයි එකල රාජ නියෝගයක් ද පනවා ඇති අතර එය බත්ගම යැයි සඳහන් ව තිබු බවද පසු කාලීනව එය බුත්පිටිය ලෙස වෙනස් වූ බව ද සඳහන් තවත් පුවතක් ය.

මල් වගා කොට දන්ත ධාතූන් වහන්සේ උදෙසා පුජෝපහාර දැක්වූ ග්‍රාමය මල්වතු හිරිපිටිය යැයි ද පලතුරු පූජා කළ වූ ග්‍රාමය අඹගස් පිටිය ලෙස ද, ව්‍යංජන සකස් කොට ධාතූන් වහන්සේට පූජා පැවැත්වූ ග්‍රාමය කෙහෙල්ගල් දොරුව ලෙස ද අදට ද ප්‍රචලිත ය.

මුල් කාලයේ දී අක්කර හැත්තෑපහක භූමි භාගයක් පුරා මෙම විහාර පින් බිම විසිර පැවැතුණ ද අදට මෙහි ඇත්තේ අක්කර 58 ක සීමා අඩවියක් ය.හෙළ රජ දරුවන්ගේ ඓතිහාසික උරුමයෙන් පෝෂිත වූ ස්වභාවික වනාන්තරය පීරා ඉහළ මළුව වැඳ පුදා ගැනීමේ ගමන තුළ ඇත්තේ අපූරූ වූ අත්දැකීමක් ය.ගමන් මග පුරා දක්නට ඇති ගල් ලෙන් වගේම ගල් කුළු මතින් නිර්මාණය වූ ස්වාභාවික නිර්මාණයන් ද සැදැහැති ඔබට ගෙනෙන වෙහෙස දුරු කර දමයි. විශාල ගල් පර්වත දෙකක් මැඳ බිහිව ඇති මුර කපොල්ල හෙවත් දෙගල් දොරුව ගල් පඩි හැටකින් පමණ නිර්මාණය වී ඇති අපූරූ දසුනකි.

මාලිගාතැන්න විවේක සෙනසුනෙහි භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා විසිනමක් පමණ දැනට වැඩ වාසය කරන අතර වළගම්බා රජුගේ දෙවොලත්, රජුගේ ආභාරණ තැන්පත් කළ යන්ත්‍ර ගල ද තවමත් මේ පින් බිමේ දක්නට ඇති නශ්ඨාව ශේෂයන් ය.

එමෙන්ම ශ්‍රී දළදා වහන්සේ සඟවා තබන්නට ඇතැයි සැලකෙන උමං මාර්ගයක් ද මෙම විහාර පින් බිමේ ඇති අතර එම උමං මාර්ගය වාරණ රාජමහා විහාර පුදබිමට සම්බන්ධ ව තිබෙන්නට ඇති බව පියරතන හිමියෝ පෙන්වා දෙති.

අතීත ශ්‍රී වීභූතියේ ශේෂයන් නිසොල්මනේ රකිනා මහා ගල් පර්වතයට මැදිව නිමවී ඇති පිළිම ගෙයත් එහි සමාධි සුවයෙන් වැඩ සිටිනා පිළිම වහන්සේ දකින සිතට ගෙනෙනුයේ අපමණ ශාන්තියකි. පිළිම ගෙට එපිටින් ඇති ධර්ම ශාලාව මෙරට ස්වභාවික විශාලතම ලෙන තුළ නිර්මාණය වී ඇති අතර එහි පන්සියයක පමණ පිරිසක ට ඉඩ පහසුකම් ඇති බව දකින නෙත් පුදුම දනවන සුලුය.

රාජ රාජ මහෝත්තමයන්ගෙන් මෙන්ම මහරහතන් වහන්සේලා ගේ පාදස්පර්ශයෙන් සුපෝෂිත මෙම විහාර පින් බිම අනාගතවාදී උරුම කරුවන් උදෙසා පිදෙන අමිල බොදුණු උරුමයකි.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk