[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු රජතුමා - 06: එළාර රජුගේ සොළී සේනාව ප්‍රබලයි කාවන්තිස්ස රජ සටන ප්‍රමාද කරයි

දුටුගැමුණු රජතුමා - 06:

එළාර රජුගේ සොළී සේනාව ප්‍රබලයි කාවන්තිස්ස රජ සටන ප්‍රමාද කරයි

දසමස් ඇවෑමෙන් පසු විහාරමහා දේවිය පින්වත් කුමරකු බිහි කළා ය. මේ පින්වත් කුමරුගේ උපත මුළු රුහුණට ම ජයග්‍රාහී පණිවිඩයක් විය. කුමරුට නම් තබන ලද්දේ ‘ගාමිණී අභය’ යනුවෙනි.

ගැමුණු කුමරු ගේ උපතින් වසරකට පසු විහාරමහා දේවිය තවත් පුතකු බිහිකළාය. ඔහුට ගාමිණී තිස්ස යැයි නම් තබන ලදී. කුමාරවරු දෙදෙනා නිතරම කෙළි දෙළෙන් කාලය ගත කළහ. සිය පුතුන් දෙදෙනා වෙනුවෙන් නම් තැබීමේ,හිසකේ කැපීමේ, බත් කැවීමේ, අකුරු කියැවීමේ ආදී වශයෙන් සියලු වැදගත් මංගල අවස්ථාවන් සිදුකරන ලද්දේ මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ ය.

ගැමුණු කුමරුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළ අනාවැකි කරුවන් පැවසූ පරිදි ම සතුරන් නසා රට එක්සේසත් කර බුද්ධ ශාසනය රැක ගැනීමට කුමරුන් සතු ජන්ම ශක්තිය හැකියාව ගැන දේවිය සතුටට පත් වූවා ය. කුමාරයා ගේ ඉදිරිපත්වීම, පෞරුෂය, විමසිලිමත් බව, යුද්ධයෙහි උපායශීලී බව, රට ජාතිය ආගම පිළිබඳ දක්වන ආකල්ප පිළිබඳ නිරතුරු සිහියට නැඟුවා ය. තම පරපුරෙන් තමාට උරුම වූ වගකීම ද පාරම්පරික අයිතිය ද ලංකාව එක්සේසත් කිරීම සඳහා තමා තුළ ඇති අභිප්‍රාය ගැමුණු කුමරුගෙන් ඉටුකර ගත හැකි බව දේවිය දැන සිටියා ය. රට එක් සේසත් කර ගාමිණී අභය කුමරු මහ රජු ලෙස අභිෂේක ලැබීමේ සිහිනය සැබෑ වන බව දැනුන දේවියගේ සිතට සතුටක් ඇති විය. කුªමාරයා අවුරුදු දොළහ පමණ වන විට එළාර රජු සමඟ සටනට යෑමට අවශ්‍ය බව පැවසී ය.

ඒ සඳහා කිහිපවරක් අවසර පැතීය. ‘යුද්දෙට යන්න එපා’ කාවන්තිස්ස රජු අවවාද කළේ ය. ගැමුණු කුමාරයා යුද්ධයම සිතට නංවාගෙන මුරණ්ඩු වී ඇතැයි රජතුමා අප්‍රසාදයෙන් යුතුව කල්පනා කළේ ය.

"දේවිය, ගැමුණු කුමරු දැන් තරමක් මුරණ්ඩුයි. ඔහුගේ කටේ තියෙන්නේ යුද්ධය ම තමා. යුද්ධයට යන්න නොදීම ගැන ඔහු දැන් ඉන්නේ තරමක අමනාපයෙන්. ගැමුණු කුමාරයා සිතන්නේ යුද්ධය ප්‍රමාද කිරීම සතුරාට වාසියක් බවයි. දැනට අප සතුව ඇති ආයුධත්, සේනා ශක්තියත්, රැස් කර ඇති ආහාර ප්‍රමාණයත් යුද්ධයට ප්‍රමාණවත් යැයි කුමරු සිතනවා. නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ.

"යුද්ධයට යාමට ගැමුණු තවම පුංචි වැඩියි. එළාරගේ විසි මහ සේනාපතිවරුන්, සූවිසි දහසක් යෝධ සේනාවත් සමඟ අපේ එකොළොස් දහසත් තරම් සේනාවට යුද්ධ කළ හැකිද? සටනට යා යුත්තේ දිනන්නටයි. පරදින්නට නොවේ."

එළාර රජු සටනෙහි ශූර බව දැනගත් කාවන්තිස්ස රජු, මහා සංඝරත්නය ඉදිරිපිට දී ගැමුණු කුමරු සහ තිස්ස කුමරු යන දෙදෙනාම කරුණු තුනක් සම්බන්ධ ව පොරොන්දු කරවා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා මහා සංඝරත්නය රජ මාළිගයට වැඩම කර දන් වළඳා අවසන් වූ පසුව කුමරුන් දෙදෙනා කරුණු තුනක් සම්බන්ධ ව පොරොන්දු කරවාගෙන බත් පිඬු කැවීමට සූදානම් විය. ඉන් පළමුවැන්න බුදු සසුනට සහ මහා සංඝ රත්නයට දිවිහිමියෙන් සැලකීම ය. කිසි කලෙකත් සොහොයුරන් දෙදෙනා අතර අසමඟියක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම දෙවැනි කාරණාව ය. තෙවැන්න වූයේ කිසිවිටෙකත් සොළීන් සමඟ සටනට නොයන බවට පොරොන්දු වීම ය. එහෙත් ගැමුණු කුමරු මහා සංඝයා වහන්සේ ඉදිරිපිට දී පිය රජු දුන් බත් පිඬු මුවට නොගත්තේ ය.බත් පිඬු ආපසු තලියටම දැම්මේ ය. මාළිගය තුළට ගොස් ඇඳේ වකුටු වී නිදන්නට විය. මේ බව දුටු මව් බිසව ‘මෙච්චර ඉඩකඩ තියෙන යහනේ වකුටු වී නිදාගන්නේ මක්නිසා ද? අතපය දිග හැර නිදන්නට බැරි මන්දැයි’ විමසුවා ය.

එවිට ගැමුණු කුමරු ‘මෑණියනි, අතපය දිග හරින්නේ කෙලෙස ද? උතුරෙන් හැඩි දෙමළු. දකුණෙන් ගොළු මුහුද. අත් පා දිග හරින්නේ කොයිබට ද? කුඩා කාලයේ දී මෑණියන් අපට කියා දුන්නේ උතුරේ රාජ්‍ය නිදහස් කරගත යුතු යි. බුද්ධ ශාසනය දියුණු කළ යුතුයි. රට එක්සේසත් කළ යුතුයි, කියායි. ‘ එහෙත් මෑණියනි, පිය රජතුමා මේ තරම් යුද්ධයකට බිය ඇයි? අපේ හමුදාවත් සමඟ උතුරට යන්නට ඉඩ නොදෙන්නේ ඇයි?’ කුමාරයා විචාළේ ය.

ගැමුණු කුමාරයා අද කතා කරන්නේ මහත් සිත් වේදනාවකිනි. ඒ බව වටහා ගත් දේවිය සිය පුතු සනසන්නට වෑයම් කළා ය.

"පුතාට ඒක කරන්න පුළුවන්. ඒත් පුතා තවම පුංචි වැඩියි. ඒ වගේම අපේ යුද සේනා ප්‍රමාණවත් තරම් නැහැ. එළාර රජු ගේ සොළී සේනාව ප්‍රබලයි. ඔවුන් ගේ ලක්ෂ සංඛ්‍යාත භට හමුදාවක් උතුරේ බලකොටු ඉදිකරගෙන සිටින බව පුතා දන්නවද? ඒ නිසයි පිය රජතුමා තව තවත් සේනා සංවිධානය කරන්නේ. පුතාටත් ඒ සඳහා උදව් වෙන්න පුළුවන්.

"මෑණියනි, මම දැනටමත් ඒ කටයුතු ගැන සෙවිල්ලෙන් සිටිනවා. අපි කම්හල්, ආයුධ ගබඩා පුහුණු කඳවුරු ආරම්භ කළා. දැන් අපේ සේනාංකය තිස් දහස ඉක්මවලා. සෑම භටයකුගේ ම දැනුම, දක්ෂතා, කුසලතා වර්ධනයට කටයුතු සිදු කරනවා. පිය රජතුමාගේ අවසරය ලැබෙනවා නම් ඕනෑම වේලාවක සටනට යාමට සූදානම්."

‘පුතා, ඉක්මන් වෙන්න එපා, කලබල වෙන්න එපා. මදක් ඉවසන්න. මේ රට එක්සේසත් කර උරුමය ලබා ගන්නට, බුද්ධ ශාසනය දියුණු කරන්නට පුතාට පුළුවන් බව පිය රජතුමා පිළි ගන්නවා. ඒ සඳහා අවශ්‍ය කරුණු සලසා දීමට පිය රජතුමා පසුගිය කාලය පුරාම කටයුතු කළා. යුද්ධය ආරම්භ කළ යුතු ආකාරයත්, දිනයත් එතුමා තීරණය කරයි. මඳක් ඉවසා සිටින්න.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]