[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම කථික භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ මන්තානිපුත්ත පුණ්ණ මහ රහතන් වහන්සේ

ධර්ම කථික භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ මන්තානිපුත්ත පුණ්ණ මහ රහතන් වහන්සේ

මන්තානිපුත්ත පුණ්ණ මහ රහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් අතර බැබළෙන ධර්ම කථික භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍ර වූ සුවිශේෂී රහතන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ අතීත සසර මඟ පැමිණි පිය සටහන් පින්බර ය. පදුමුත්තර බුදුන් වහන්සේ මනු ලොව පහළ වීමට පළමුව හංසවතී නුවර බ්‍රාහ්මණ කුලයක ගෞතම නාමයෙන් උපත ලැබූ මොහු ත්‍රිවේදයෙන් පරතෙරට ගිය උගත් පඬිවරයෙකි. ඔහු එක්තරා අවස්ථාවක පන්සියයක් බ්‍රාහ්මණ මානවකයන්ට වේදය උගන්වමින් සිටියේ ය. එයින් ලැබිය හැකි මෝක්ෂයක් නැතැ’යි වේද ධර්මය අතහැර තම පිරිවර පිරිස සමඟ පැවිදි වූයේ ඍෂිවරුන් ලෙස ය. දහ අට දහසක් වූ පිරිවර සමඟින් ධ්‍යාන භාවනා වැඩූ ඔවුන් පඤ්ඤාභිඥා අෂ්ට සමාපත්ති ලාභීන් ය.

ගෞතම ඍෂිවරයා මහලු කාලයේ ලොව පහළ වූ පියුමතුරා බුදුන් වහන්සේ ලක්ෂයක් රහතන් වහන්සේ පිරිවරාගෙන හංසවතී නුවර වාසය කරමින් සදහම් දෙසුවේ තාරකාවන් මධ්‍යයේ බබළන සුපුන් සඳ සේ ය. එක් දිනයක අලුයම් කාලයේ දී ගෞතම ඍෂිවරයාගේ පිනෙහි මහිමය පියුමතුරා බුදුන් වහන්සේ දුටුවේ මහා කරුණා සමාපත්තියෙනි.

තාපස ශ්‍රාවකයන් අසපුවෙන් නික්ම ගිය පසුව පියුමතුරා බුදුන් වහන්සේ වැඩම කළේ තපස් අසපුවට ය. බුද්ධ ශ්‍රී දේහයෙන් බැබළෙන උන්වහන්සේගේ දසුනින් ඔද වැඩුණු ගෞතම තාපසයාණන් උන්වහන්සේට ආසනයක් පැනවූයේ මහත් ශ්‍රද්ධාවෙනි. පියුමතුරා බුදුන් වහන්සේ දහම් දෙසන අවස්ථාවේ දී තම අසපුවට පැමිණි ශිෂ්‍ය ජටිලයන් අමතා ගෞතම ජටිලයා පැවසුවේ , දරුවනි, මින් මතු මා නොවැඳ සර්වඥයන් වහන්සේ වඳීන ලෙස යි.

මේ මොහොතේ අග සව් දෙනම ඇතුළු ලක්ෂයක් මහ රහතන් වහන්සේ තපස් අසපුවට අහසින් ම වැඩම කළේ බුද්ධ අධිෂ්ඨානයෙනි. මේ අසිරිමත් දසුනින් සැනසුණු ගෞතම තාපසයාණෝ තම සිසුන් ලවා විසිතුරු මල් ගෙන්වා ආසන තනවා බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහ රහතන් වහන්සේට මල් අසුන් පිරිනැමුවේ මහත් ශ්‍රද්ධාවෙනි. ඒ මත සත් දිනක් ම පියුමතුරා බුදුන් වහන්සේ සමඟින් සියලුම රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටීමට සැලැස්වීමෙන් ගෞතම තාපසයාණන් සමඟ සිසු පිරිස සිදු කරගත් පින අපමණ ය. සත් දිනකින් පසුව නිරෝධ සමාපත්තියෙන් නැඟී සිටි පියුමතුරා බුදුන් වහන්සේ ඇතුළු පිරිස මල් අසුන් දානයෙහි අනුමෝදනා බණ දේශනා කිරීමට පැවරුවේ සුවිශේෂී භික්ෂූන් වහන්සේ නමකට ය. උන්වහන්සේ තුන් පිටකය ඇසුරෙන් දෙසූ සදහම් දෙසුමෙන් ගෞතම තාපසයාණන් හැර තම සිසුන් සියල්ලම රහත් බව ලබා සසර මඟ තරණය කළහ. එහි දී ගෞතම තාපසයාණන්, බුදුන් වහන්සේගෙන් විමසුවේ මල් අසුන් දානයෙහි බණ දෙසූ සුවිශේෂී භික්ෂූන් වහන්සේ කවුදැ’යි යනුවෙනි.

ඒ ධර්ම කථික භික්ෂූන් අතුරෙන් අග්‍ර වූ භික්ෂූන් වහන්සේ නමක් බව පැවසූ විට ගෞතම තාපසයාණන්ට ද අනාගතයේ බුද්ධ ශාසනයක ධර්ම කථික භික්ෂූන් වහන්සේ නමක් වීමට අධිෂ්ඨාන ඇති විය. එහි දී බුද්ධ ඥානයෙන් අනාගතය දෙස බැලූ පියුමතුරා බුදුන් වහන්සේ වදාළේ ගෞතම තාපසයාණන්ගේ පැතුම මෙයින් කල්ප ලක්ෂයකට පසුව බුද්ධත්වය ලබන ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ ඉෂ්ඨ සිද්ධ වන බව ය. ඒ අනුව ධර්ම කථික භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රස්ථානය ලබන බවට පියුමතුරා බුදුන් වහන්සේගෙන් ගෞතම තාපසයා විවරණ ලැබුවේ සාධුකාර මධ්‍යයේ ය.

පසුව ගෞතම බුදු සසුන හමුවන තුරා සසර මඟ තරණය කළ එතුමා දෙව්, මිනිස් භවයන්හි උපත ලබමින් කළ පින් දහම් අපමණ ය. එතුමා සසරේ අවසන් ආත්ම භාවය නොහොත් ගෞතම බුද්ධ ශාසනයේ දී උපත ලැබුවේ පුණ්ණ නාමයෙනි.

කපිල වස්තු නුවර සමීපයෙහි ද්‍රෝණ වස්තු නම් බ්‍රාහ්මණ ගමෙහි බ්‍රාහ්මණ මහා සාර කුලයක උපත ලැබූ මොහුගේ මෑණියන් වහන්සේ වූයේ මන්තානි බැමිණිය යි. ඒ නිසා පුණ්ණ හැඳීන්වූයේ මන්තානිපුත්ත පුණ්ණ නාමයෙනි.

දිනක් අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ තම බෑනණු වූ පුණ්ණ මානවකයා පැවිදි කරවා බුදුන් වහන්සේ හමුවට යවා තමන් වහන්සේ වැඩම කළේ ඡද්දන්ත විල් තෙර වෙත ය. පුණ්ණ තෙරණුවන් වහන්සේ බුදුන් වහන්සේ හමුවට පසුව යමි ‘යි සිතමින් ශාසන ප්‍රතිපදාවල නියැළෙමින් නොබෝ කලකින් මහ රහත් බව ලැබූහ. උන්වහන්සේගෙන් බණ ඇසූ පන්සියයක් පිරිසගේ ද අදහස සඵල වු බැවින් බුදුන් වහන්සේ හමුවට දැන්වත් යමු යැ’යි යෝජනා වු බැවින් පළමුව පන්සියයක් පිරිස පිටත් කර තමන් වහන්සේ දෙවනුව යාමට සිතූහ. ඒ පන්සියයක් රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේ හමුවට වැඩම කර තමන් ජාත භූමි වාසී භික්ෂූන් වහන්සේ බවත්,පුණ්ණ රහතන් වහන්සේගේ ශිෂ්‍යයන් බවත් දන්වා සිටිමින් වැඳ නමස්කාර කළහ.

ශිෂ්‍ය රහතන් වහන්සේ සිය දෙනාගේ ම සංවරශීලී බවත් , ඔවුන් සියලු දෙනාම දස කථා වස්තුලාභීන් බවත් සැරියුත් තෙරුණුවෝ දැන ගත්හ. ඔවුන්ගේ ආචාර්යවරයා වන පුණ්ණ තෙරුන් වහන්සේ බුදුරදුන් හමුවට සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළේ තම සිසුන්ට පසුව යි. එහිදී පුණ්ණ තෙරුන් වහන්සේ, බුදුන් වහන්සේගෙන් බණ අසා අන්ධ වනයට වැඩම කළේ දිවා විහරණය පිණිස යි.එක්තරා අවස්ථාවක ලොව්තුරා බුදුන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටින ස්ථානයක දී මෙලෙස වදාළා. ‘ මන්තානිපුත්ත පුණ්ණ ස්වාමීන් වහන්සේ අප්‍රමාණ ගුණයන්ගෙන් , අප්‍රමාණ ඥානයන්ගෙන් යුතු රහතන් වහන්සේ නමක් බව යි. එහි දී බුදුන් වහන්සේ වදාළ මෙම වර්ණනාවෙන් පැහැදුණු සැරියුත් තෙරණුවන් තමන් වහන්සේ කිසි දිනක නොදැක සිටි පුණ්ණ මහ රහතන් වහන්සේ හමු වීමට සිතා ගත්තේ ධර්ම සාකච්ඡා කරන්නට යි. ඒ අනුව අන්ධ වනයට වැඩම කළ සැරියුත් තෙරණුවෝ, පුණ්ණ තෙරණුවන් වහන්සේගෙන් ‘සප්ත විශුද්ධි ක්‍රමය’විචාළා. පුණ්ණ හිමියෝ ද ඇසූ ඇසූ සෑම පැනයකට ම ප්‍රති පිළිතුරු දුන්නේ සවිස්තර ලෙස යි.

මෙලෙස රහතන් වහන්සේ දෙදෙනා අතර ම ඇතිවූ සදහම් සාකච්ඡාව රථවිනීත සූත්‍රයේ ද සඳහන් වෙනවා. මෙය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් නොවන අතර එය රහතන් වහන්සේ දෙනම අතර, සිදුවන සාකච්ඡාව ඇසුරෙන් සිදුවන සුන්දර ධර්ම සාකච්ඡාවක් වශයෙන් හැඳීන්විය හැකි යි.

මෙම සූත්‍ර දේශනාවේ සප්ත විශුද්ධි ක්‍රමය සඳහන් වන අතර එය ශාසන බ්‍රහ්ම චරියාවේ හැසිරීමට ඉවහල් ය. පෘතග්ජන සත්ත්වයාගේ සිතෙහි බැඳුණු කෙලෙස් මලින් අපිරිසුදු වන සිත පිරිසුදු කරන ධර්ම විශේෂයක් වශයෙන් ‘විශුද්ධි ධර්ම’ හැඳීන්වේ. විශුද්ධිය යනු සිතෙහි පිරිසුදු බව යි. ඒ අනුව සප්ත විශුද්ධිය ලෙස ශීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය, කංඛාවිතරණ විශුද්ධිය, මග්ගා මග්ග ඥාන දස්සන විශුද්ධිය, ප්‍රතිපදා ඥාන දස්සන විශුද්ධිය, සහ ඥාන දස්සන විශුද්ධිය වෙයි.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk