ජාතියේ පිනට පහළ වූ මහා ප්‍රාඥයා
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 156 වැනි ජන්ම දිනය නිමිත්තෙනි
ශ්‍රී
ලංකා අමරපුර මහා නිකායේ
උත්තරීතර මහා නායක
ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී
ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස මහ නා හිමි
ලෝකයෙහි ඒ ඒ රටවල කලින් කල ශ්‍රේෂ්ඨ ආගමික නායකයෝ, සාන්තුවරයෝ, වීරවරයෝ, ජන නායකයෝ,
මහා ප්‍රාඥයෝ පහළ වෙති. 1864 සැප්තැම්බර් මස 17 වැනි දින ලක්දිව ශ්‍රීමත්
හේවාවිතාරණ පවුලෙහි උපත ලද අනගාරික ධර්මපාලතුමා ද මෑත අතීතයේ ලක්දිව පහළ වූ එබඳු
උතුමකු බව සඳහන් කිරීම විවාද රහිත ය. එතුමා තම ධනයත් – තම ශ්‍රමයත් – තම කාලයත් –
තම බුද්ධියත් – තම ජීවිතයත් මේ පුංචි රටේ අභිවෘද්ධිය සඳහාත් සම්බුද්ධ ශාසනයේ
උන්නතිය සඳහාත් කැප කළ බව නොරහසකි.
වයස අවුරුදු 29 වෙත් ම තරුණ ධර්මපාල තුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නාමය ද ඉවත්
කොට ඉහත සඳහන් ආගමික – ජාතික නාමයෙන් හෙළ දිව ප්‍රචලිත පුද්ගලයෙක් බවට පත්විය. මේ
වකවානුවේ දී ම අමෙරිකාවේ චිකාගෝ නුවර පැවැත් වූ දෘෂ්ඨි සම්මේලනයට සහභාගිවීමට ආරාධනා
ලැබුණේ අපේ අනගාරික ධර්මපාල තුමාටය.
මෙම සම්මේලනයට ඉන්දියාවෙන් සහභාගි වූවේ එරට ශ්‍රේෂ්ඨ නාමයක් දිනාගෙන සිටි ස්වාමි
විවේකානන්ද තුමා ය. අනෙකුත් රට රාජ්‍යවලින් ද දාර්ශනික විද්වතුන් රාශියක් මෙම
සම්මේලනයට සහභාගි වූහ. එහි දී අපේ අනගාරික ධර්මපාල තුමන්ට ද මූලාසනයෙන් තම කතාවට
ආරාධනා ලැබුණි.
තලඑලලු සිරුරත්, බෙල්ල පසුපසට ඇදහැලුණු, කැරලිගැසුණු කේශ කලාපයත්, සුදු වන්
වස්ත්‍රයෙන් සැරසුණු මහේශාක්‍ය උපාසක පෙනුමත්, සුරත හා දබරැඟිල්ලත් සභාව වෙත
දිගුකොට, ලෙලවමින් මුළු සිරුර ම සලිත කරවමින් බෞද්ධ නියෝජිත විද්වත් ධර්මපාල තුමා
එදා චිකාගෝ දෘෂ්ඨි සම්මේලන වේදිකාවේ සිට තම දේශනය ආරම්භ කළහ.
මෙම තරුණ දේශකයා හඳුන්වා දෙන ලද්දේ මුලසුනෙහි සිටි බොන්ස්ටන්හි ආචාර්ය බෙක්ස් ෆර්ඩ්
නම් දේවගැති වරයාණෝ ය. පිරිස තමන් වෙත යොමු කරගනු සඳහා පෙරකී පරිදි මෙතුමා කතාව
ආරම්භ කළේ ‘ඔබ හැම කෙනෙක් ම - සෑම විටක ම අපේ කුරුසයට අයත් ආගමට බාහිර කිසිවකු ඇද
ගන්නේ නැතැයි කීම ඔබගේ සිරිතක් වී ඇත. එහෙත් ඔබගේ ක්‍රියාවන් බෙහෙවින් ම
ආත්මාර්ථකාමිත්වයෙන් යුක්ත බව කිව යුතු ව තිබේ’ මෙයාකාරයෙන් මහා පිරිස තමන් වෙත
යොමු කර ගැනීමට ඒ සභාවේ දී මෙතුමා ප්‍රකාශයක් කර ඇති බව පෙනේ. 1893 සැප්තැම්බර් 11
වැනි දා සිට 27 වැනි දින දක්වා මෙම සම්මේලනය පවත්වනු ලදහ. එක් අවස්ථාවක දී
ක්‍රිස්තියානි මිෂනාරීන්ගේ ආගම් ප්‍රචාර ක්‍රමය දියුණු කරගත යුත්තේ කුමන ක්‍රමයකට ද
යන්න සභාවෙන් ප්‍රශ්නයක් මතු විය. එයට චතුර පිළිතුරක් ධර්මපාලතුමා ලබා දුන්නේ එම
සභාව ම උණුසුම් කරවමිනි.
එම පිළිතුර නම් ‘පෙරදිග ක්‍රිස්තියානි ධර්මය පැතිරවීමට පටන් ගත්තේ ශත වර්ෂ 3ක්
තිස්සේ ය. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ට උවමනා කළ අන්දමේ ක්‍රියාපටිපාටියක් නොවන බව
බෞද්ධ ජනතාව වෙත වාර්තා වී ඇත. ක්‍රිස්තු ධර්මය පෙරදිග පරාජයට පත්වූයේ ඒ නිසා ය.
ක්‍රිස්තු ධර්මය පෙරදිග වගා කරන්නට නම් ඔබේ වැඩපිළිවෙළ සහ වේදිකා අමුතුවෙන් සකස්
විය යුතු ය’ ඔබ ධර්ම ප්‍රචාරයට යැවිය යුත්තේ ආත්මාර්ථයෙන් තොර වූ, ආත්ම පරිත්‍යාගයට
හැඩ ගැසුණු පිරිසකි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ප්‍රදර්ශනය වුණු දයාව, නිහතමානී
ගුණය ඔවුන්ගෙන් ද මූර්තිමත් විය යුතුය.
මුළු ආසියාව ම ජයගත් බුදු දහම මොන්ගෝලියාව දක්වා පැතිර ගියේ ය. බෞද්ධ ධර්ම දූතයන්
වහන්සේලා ගියේ ඔබේ ජේත්තු ආයිත්තමින් සැරසී නොවේ. මේ වේදිකාවේ දැකිය හැකි අන්දමට
චාම් ඇඳුමෙනි. ඔවුන් ගියේ එක් අතකින් බයිබලයත්, අනෙක් අතින් රම් බෝතලයකුත් රැගෙන
නොවේ. මේ බෞද්ධ ධර්ම දූතයින් ගියේ ඉතා නිහතමානී. දයානුකම්පාව සහිත ව ය. එමඟින් ගිය
ගිය දේශය ජයගත් ඔවුහු මුළු මහත් ආසියාව ම දැමුණු තත්ත්වයකට පත් කිරීමට සමත් වූහ.
එහි ප්‍රතිඵලය වූයේ සත්ව ඝාතනාගාර අතුරුදහන්වී ගණිකා මඩම් අහෝසිවී යෑමයි. එහෙත්
බටහිර ශිෂ්ටාචාරය නිසා ඒවා දැන් වඩාත් බහුල ව පවතී. යුරෝපීය රාජ්‍යයන්ගෙන් මේ යහපත්
තත්ත්වය ඇති කිරීම ලංකාව බඳු කුඩා රටක් විසින් කළ යුතු කරුණක් ව ඇත. බුද්ධිමත්
තමුන්නාන්සේලා දේව ධර්මයෙන් හා බල කිරීමකින් තොර වූ නිදහස් ජනතාවකි. ඔබට ක්‍රිස්තු
ධර්මය පෙරදිග ප්‍රතිස්ථාපනය කිරීමට උවමනා නම්, එය කළ හැක්කේ ක්‍රිස්තුස් වහන්සේගේ
කරුණාවේ හා නිහතමානි ගුණයේ ප්‍රතිපත්ති මත පිහිටා බව කල්තබා දන්වනු කැමැත්තෙමි.
එම උත්සවයට ඉන්දියාවෙන් ස්වාමි විවේකානන්ද තුමා ද සහභාගි විය. අප බුදුන් වහන්සේගේ
ධර්මයේ කිසියම් අඩුපාඩුවක් ඇත්නම් එය පැහැදිලි කර දෙන ලෙස ධර්මපාල තුමා ස්වාමි
විවේකානන්ද තුමාගෙන් ඉල්ලා සිටියේ ය. හින්දු භක්තික බ්‍රාහ්මණයකු වූ ස්වාමි
විවේකානන්ද තුමා, බුදුන්ගේ ධර්මය නැතිව ඉන්දියාව උසස් තත්ත්වයකට ගෙන ඒමට නොහැකි බව
ප්‍රකාශ කරමින් බුදු දහම පිළිබඳ වර්ණනාවක් ද කොට ධර්මපාල තුමාට ද තුති පුද කළේ ය.
දෘෂ්ඨි සම්මේලනයේ දේශනයෙන් පසු ධර්මපාල තුමාට අමෙරිකාවේ විවිධ ආයතන හා සංවිධාන
මඟින් දේශනාවලට ද ආරාධනා ගලා එන්නට විය. එවැනි දේශනා 05 කට පමණක් එතුමාට සහභාගි
වන්නට අවස්ථාව ලැබුණි. නිව්යෝක් නුවර ධන කුවේරයෙකු වූ චාර්ල්ස් ස්ට්‍රවුස් මහතා
ධර්මපාලතුමා විසින් පන්සිල් හි පිහිටුවා බෞද්ධයකු බවට පත් කරවිය. 1925 දී දෙවන වරට
ද අමෙරිකාවට ගිය ධර්මපාල තුමා එරට සිටි සිංහල ව්‍යාපාරිකයකු වූ කේ. වයි. කිරා
මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළ උත්සවයක දී එදා වාග් විලාශය හා චතුර කථිකත්වය
සිහිපත් කළේ එස්. යිට්ස් බ්‍රවුන් මහතා පුවත් පතකට ප්‍රකාශයක් නිකුත් කිරීමෙනි.
ධර්මපාල තුමාගේ දේශනය තුළින් චතුර දේශකයකුගේ නියම විලාශය ද, පූජකයකුගේ ප්‍රතාපවත්
බව අසන්නන් අන්දමන්ද කළ වාග් මාලාවකින් හෙබි උත්තමයකු බවට එදා එහි සිටි ලෝක
නායකයන්ට දැනගත හැකි විය.
ඉහත සඳහන් අයුරින් නිව්යෝක් හෙරල්ඩ්, වොෂින්ටන් වූමන් ට්‍රිබියුන්, චිකාගෝ ජර්නර්,
සෙන්ටිනල්, ඉන්දියානා පොලිස් ආදි එදා පැවති අමෙරිකාවේ සුප්‍රසිද්ධ නගරයන් වූ
චිකාගෝ, සැන්ප්‍රැන්සිස්කෝ නගරවල පුවත්පත් සඟරා මගින් අපේ තරුණ අනගාරික ධර්මපාල
තුමාගේ ව්‍යක්ත දේශනයට ලබා දී තිබුණේ ඉහළම තැනකි. බුදුරදුන් සහ උන්වහන්සේගේ දේශනාව
දැන ගැනීමට බටහිර ලෝකයාට අවස්ථාවක් ලැබුණේ මේ වීරෝධාර තරුණ ධර්මපාල ප්‍රාඥයාගේ
දේශනාවන් නිසා ය.
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් කොටුගොඩ ධම්මාවාස මහ නා
හිමියන් ලියූ ලිපියක් ඇසුරිනි. |