[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි පැවිදි දෙපිරිසට ම පූර්වාදර්ශයක් වූ හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි සාධු චරිතය

ගිහි පැවිදි දෙපිරිසට ම පූර්වාදර්ශයක් වූ හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි සාධු චරිතය

"සිංහලෙන් කවි ලිවීමටත්, පාලියෙන් ගාථා සෑදීමටත්, සංස්කෘත ශ්ලෝකයන් ප්‍රබන්ධ කිරීමටත් එක සේ හුරු පුරුදු වූ පන්හිඳක් හේන්පිටගෙදර හිමි සතුව පැවතිණ. ප්‍රේමයත්, සෞන්දර්යයත් එකට කැටි කොට නවකතා ලිවීම ද, සාහිත්‍ය විචාරය ද, කවිත්වය ද උන්වහන්සේ තුළ වඩ වඩාත් කැපී පෙනුණ හැකියාවන් විය."

ත්‍රිපිටක ධර්මය විෂයෙහි විවිධ අංශයන්හි විසිරී පැතිරී පැවැති දැනුම් සම්භාරයකින් සේ ම ඒ පිළිබඳ විස්තර කිරීමෙහි හා වෙනත් දර්ශනවාද සමග තුලණය කිරීමෙහි මනා කෞශල්‍යයකින් හෙබි හේන්පිටගෙදර ඤාණසීහ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෑතකාලීන ව ලංකාවේ වැඩසිටි විද්වත් යතිවරයන් වහන්සේලා අතර විශිෂ්ඨ ස්ථානයක් උසුලති.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහල් වෙළඳාමට ප්‍රසිද්ධ මරඳගහමුල නගරාසන්නයේ පැරැණි සොඳුරු මිනිසුන් වසන ගමක් වෙයි. එය නමින් හේන්පිටගෙදර යි. එ ගම විසූ සම්භාවනීය පරපුරකින් පැවතෙන දෝන ඇලිස් ජයසිංහ හාමිනේගේත්, දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාළහාමිගේත් තෙවැනි පුත්‍ර රත්නය මෙලොව එළිය දුටුවේ වර්ෂ 1909 දෙසැම්බර් 18 වැනිදා ය. සමරවීර සකලසූරිය ලෙස නම් ලැබූ ඔහු බාල වියේ දී ම මූඪගමුවේ මාහිමි වෙත භාර කෙරිණි. කලක් ගතවීමෙන් පසු සාමණේර බණ දහම් සහ වත් පිළිවෙත් ආදිය පුරුදු පුහුණු කිරීම සඳහා ඔහු භාර දුන්නේ බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මාහිමි වෙත ය. හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලින් මූලික අධ්‍යාපනය ලබමින් සිටි සකලසූරිය කුමරු අධ්‍යාපනය විෂයයෙහි දැක්වූයේ නෛසර්ගික කාර්යශූර භාවයකි.

මෙම කාලයෙහි ලංකාවේ දක්‍ෂතම ශිෂ්‍යයන් ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් අතහිත දීමට පිහිටුවා තිබූ “බෙන්හැම්” ශිෂ්‍යත්වයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරුණු එක ම ශිෂ්‍යයා මොහු ය. එම ශිෂ්‍යත්වයෙහි ස්වභාවය එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයෙන් අවසන්වීම යි. එහෙත් ඊට කැමැත්තක් නොදැක්වූ සකලසූරිය කුල කුමරු වර්ෂ 1919 ජනවාරි 18 වැනිදා හේන්පිටගෙදර ඤාණසීහ නමින් උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත්විය. ඉක්බිතිව බලගල්ලේ සරස්වතී පිරිවෙණට ඇතුළත් ව ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළේ ය. උන් වහන්සේ තුළ සහජයෙන් පැවැති ඉගෙනීමේ දක්‍ෂතාව වඩාත් ඔප මට්ටම් කරමින් ප්‍රාචීන, ප්‍රාරම්භ හා මධ්‍යම පරීක්‍ෂණවල දී විශිෂ්ටතා මැනවින් ප්‍රකට කරමින් වර්ෂ 1939 දී ප්‍රාචීන අවසාන විභාගයෙන් උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සහිත ව රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගැනීමට සමත් වූ හ. අනතුරුව ස්වකීය විද්‍යාස්ථානය වූ පූර්වෝක්ත බලගල්ල සරස්වතී පිරිවෙණෙහි ආචාර්යවරයෙකු වශයෙන් ද ක්‍රියා කරමින් ශාසනික, සාහිත්‍යයක හා ජාතික සේවාවන් හි නිරත වූ හ. එම සේවාවන් ගිහි-පැවිදි සකල සත්පුරුෂ සාධු ජනයාගේ අපමණ ගෞරවාදරයට ලක්විණ. ඒ ඒ ප්‍රදේශවලට වැඩමවන ලෙස උන්වහන්සේට අපමණ ආරාධනා ලැබෙන්නට විය. ඒ අතර සරස්වතී පිරිවෙණෙහි ම ආදි ශිෂ්‍යයෙකු වූ රත්නපුර තිරිවානකැටියේ මූල මහා විහාරාධිපති එළමල්දෙණියේ සුමේධාලංකාර හිමියන්ගේ ඉල්ලීමට පමණක් හේන්පිටගෙදර හිමියෝ ප්‍රතිචාර දැක්වූහ.

ඒ අනුව වර්ෂ 1934 දී රත්නපුරයට වැඩම කළ උන්වහන්සේ එදා මුද්දුවේ තිබූ අම්බලම හා කුඩා බිම් තීරුව වර්ෂ 1934 අගෝස්තු මස 26 වැනිදා රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන බවට පත් කළහ. ශ්‍රී සුමන මහා විද්‍යාලය, ශ්‍රී සුමන බාලිකා විද්‍යාලය, ඇහැළියගොඩ බුළුගහපිටිය ශ්‍රී සුමන විද්‍යාලය, තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාලය, තුම්මෝදර ශ්‍රී සුමන විද්‍යාලය, ඉඟිනියාගල විද්‍යාරාජ පිරිවෙණ, වතුපිටිය සාරිපුත්ත පිරිවෙණ, මුවගම්කන්ද විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය, සර්වෝදය ප්‍රජා නායකත්ව භික්‍ෂු පුහුණු ආයතනය ආදී ගිහි පැවිදි අධ්‍යාපන ආයතන සහ තවත් එවැනි ආයතන ආරම්භ කිරීමට පුරෝගාමී ව ක්‍රියා කළ හ. මේ අතර වූ ශ්‍රී සුමන බාලිකා විද්‍යාලය දැනට ජාතික පාසලකි.

යම් යම් ජාතික ප්‍රශ්නවල දී අභීතව හා අව්‍යාජව සිය අදහස් පළ කිරීම නිසා හේන්පිටගෙදර හිමි වෙත මුලු රටේ ම අවධානය යොමු විය. වර්ෂ 1956 සිදු වූ දේශපාලන පෙරළියේ අදෘෂ්‍යමාන බලවේගයක් වූයේ උන්වහන්සේ ය. ඒ නිසාම වර්ෂ 1966 න් පසු වසර 03 යි මාස 04 යි දින 14 ක් කුමන්ත්‍රණ සැකකරුවෙකු ලෙස චෝදනා ලැබ සිරගත වී සිටින්නට සිදුවිය.

හේන්පිටගෙදර හිමි පිළිබඳ කතා කිරීමේ දී උන්වහන්සේගේ ග්‍රන්ථකරණය පිළිබඳ වෙසෙසින් සඳහන් කළ යුතු ම ය. වර්ෂ 1946 දී එළිදැක්වූ ‘දෙවියෝ’ නම් කෘතියෙන් ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේ ඉක්බිතිව පිළිවෙලින් සිංහල මේඝදූතය, අභිධර්ම පරීක්‍ෂණය, සද්ධර්ම ශතකම්, සිංහල රඝුවංශය, මහරහතන් වහන්සේ, සියබස් ලකර විස්තර වර්ණනා, විඥප්තිමාත්‍රතා සිද්ධිවාදය, බෞද්ධ දර්ශනය යනාදී ශාස්ත්‍රීය සංස්කරණ හා ග්‍රන්ථ ලියා පළකළහ. බන්ධනාගාරගත ව සිටිය දී ලත් විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගත් හේන්පිටගෙදර හිමියෝ ගාමිණීගීතානාම, ජෙට්ඨගාමිණී චරිතය, මහා පැරකුම්බා සිරිත, මිනිසා සහ ජීවිත පරමාර්ථ, ලෝකය, සසර, ඛන්ධක විනය, කලාව කුමක් පිණිස ද?, රූපා (නවකතාවකි), ශුන්‍යතා දර්ශනය, සත්ත්වයා පිරිසිදු වන්නේ කෙසේ ද?, හැඩගැසෙන චරිතය, ගැටලු තැන්, බුද්ධ ධර්මය හා බෞද්ධ සභ්‍යත්වය, දර්ශනය විද්‍යාව සහ බුද්ධාගම, උපාධියෙන් පසු, සත්ත්වයා, අභිධර්මය ප්‍රශ්න හා පිළිතුරු, බෞද්ධ සමාජවාදය, සිරකූඩුවක් තුළ දී ඇතුලු ග්‍රන්ථ සම්භාරයක් රචනා කරමින් සිදුකළ ශාස්ත්‍රීය සේවාව විද්වත් ලෝකයාගේ අතිශය සම්භාවනාවට ලක්වූවකි.

සිංහලෙන් කවි ලිවීමටත්, පාලියෙන් ගාථා සෑදීමටත්, සංස්කෘත ශ්ලෝකයන් ප්‍රබන්ධ කිරීමටත් එක සේ හුරු පුරුදු වූ පන්හිඳක් හේන්පිටගෙදර හිමි සතුව පැවතිණ. ප්‍රේමයත්, සෞන්දර්යයත් එකට කැටි කොට නවකතා ලිවීම ද, සාහිත්‍ය විචාරය ද, කවිත්වය ද උන්වහන්සේ තුළ වඩ වඩාත් කැපී පෙනුණ හැකියාවන් විය. පසු කලෙක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උසස් ම පදවියක් වූ අධිකරණ නායක පදවියට ද පත් වූ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි උදාර සාධු චරිතය ගිහි පැවිදි කාගේත් චරිත සංවර්ධනයෙහි ලා කදිම පූර්වාදර්ශයක් සපයයි.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]