[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ බෞද්ධ ස්තූප - 11 : සෝණුත්තර මහ රහතන් වහන්සේ නාග භවනට වැඩම කරති

ලංකාවේ බෞද්ධ ස්තූප - 11 :

සෝණුත්තර මහ රහතන් වහන්සේ නාග භවනට වැඩම කරති

රාම ග්‍රාමයෙහි වූ ස්තූපය කරවා තිබුණේ නදී තීරය ආසන්නයේ ය. ගංගා නදියෙහි සැඩ දිය පහරින් ක්‍රම ක්‍රමයෙන් බිඳී ගිය ගං තෙරෙන් ස්තූපය දෙකඩ වී ගියේ ය. ද්‍රෝණයක් ධාතූන් වහන්සේ තැන්පත් කරන ලද කරඬුව ගංගා නදියට වැටුණේ ය.

එම කරඬුව ක්‍රමයෙන් මහ මුහුදට ඇදී ගියේ ය. මුහුදු ජලය දෙබෑ කරගෙන කරඬුව අහසට මතු ව නොයෙක් රත්නයන් පිරීගිය පීඨිකාවක රැස් විහිදුවමින් වැඩ සිටියි. නා රජවරු එම කරඬුව දැක මහත් චිත්ත ප්‍රමෝදයෙන් යුතු ව මාංජේරිකා නාග භවනට රැගෙන ගියහ. මහාකාල නම් නාග රාජයාට මෙය දැනුම් දුන්නාහු ය.

එය ඇසූ මහාකාල නා රජ දස කෝටියක පිරිවරත් සමඟ ගොස් මහත් ගෞරවයෙන් පූජාවන් පවත්වමින් ස්වකීය නා භවනට ධාතු කරඬුව වැඩමවා ගෙන ආවේ ය. සත් රුවනින් ස්තූපයක් තනවා ඒ තුළ කරඬුව වඩා හිඳවීය. ඒ ස්තූපයට උඩින් අලංකාර මණ්ඩපයක් මවන ලදී. හැම කල්හි ගෞරවයෙන් යුක්ත ව නාගයන් සමඟ පූජා පවත්වන ලදී.

එසේ හෙයින් ආයුෂ්මත් සෝණුත්තරයනි, එතැන් හි ධාතු කරඬුවට ඉතා දැඩි ආරක්ෂාවක් පවතිනවා. ඔබ එහි ගොස් ඒ ධාතූන් වහන්සේලා මෙහි වැඩමවා එනු මැනැව. හෙට දවසේ දුටු ගැමුණු මහ රජතුමා ධාතු නිධානය කරවන්නේ යැයි මහා සංඝයා වහන්සේ වදාළහ. සෝණුත්තර මහ රහතන් වහන්සේ මෙසේ වදාළ මහා සංඝයා වහන්සේගේ වචනය අසා “එහෙයි ස්වාමීනි“ යැයි අවසර ගෙන නා ලොවට පිටත් වන්නට අවශ්‍ය කාලය බලමින් තමන් වහන්සේ වැඩ සිටි පිරිවෙනට වැඩි සේක. දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ධාතු නිධානෝත්සවය සිදු වන්නේ හෙටයි, කියා සියලු කටයුතුවලට කරුණු විධානය කරවා නගරයේ අඬබෙර යැවී ය. දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ධාතු නිධානය පිණිස සියලු කටයුතු විධාන කොට මහා විහාරයට පැමිණෙන මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේ ය.

ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා සකල ලංකාද්වීපය ම අනේකාකාරයෙන් සැරසවූයේ ය. මහ රජතුමා නගරයට පිවිසෙන දොරටු සතරෙහි වස්ත්‍රද, ආහාරද, මහජනයාගේ ප්‍රයෝජනය පිණිස තැබීය. රජකු විසින් කළයුතු දේ ගැන හොඳීන් දන්නා දුටු ගැමුණු මහ රජතුමා සතුටු සිතින් යුතු ව එදා පසළොස්වක පොහොය දිනයේ සියලු රාජාභරණයෙන් සැරසුණි ය. නාටිකාංගනාවන්, ආයුධ අතින් ගත් යෝධයන් හා ඇත්, අස්, රිය, පාබල යන සිව් රඟ සේනාවෝ ද නොයෙක් ආභරණයෙන් ඉතා ම අලංකාර ව සැරසීගෙන මහ රජතුමා පිරිවරා ගත්හ. සුදෝ සුදු අජානේය සෛන්ධව අශ්වයන් සතර දෙනෙකු යොදවා ඉතා මනහර වූ මංගල රථයට රජතුමා නැඟුණේ ය. අලංකාරවත් ව සරසන ලද කඩොල් ඇතා පෙරටුකොට, එම හස්තියා මත තබන ලද රන්සිවිගෙයි රනින් කළ කරඬුව තැන්පත් කරවා, ඒ මත සුදු සේසත අල්ලාගෙන සිටියේය. අනුරාධපුර නගරවාසී කාන්තාවෝ එක්දහස් අට දෙනෙක් ඉතා අලංකාර ව සැරසී පිපී ගිය මල් දැමූ පුන්කළස් රැගෙන එම රාජ රථය පිරිවරා ගත්හ. ඉතා අලංකාර ව සැරසුණු දරුවෝ එක් දහස් අටක්, නොයෙක් පැහැ ගත් ඉතා අලංකාර කොඩි රැගෙන පෙළ ගැසුණහ. ඒ ඒ ස්ථානයන්හි නොයෙක් තූර්ය නාද ඝෝෂාවන්ගෙන් යුත් ඇත්, අස්, රිය ශබ්දයන්ගෙනුත්, පොළෝ තලය බි¼දී යන්නාක් මෙන් ඇසුණේ ය.

මහා යස පිරිවරින් යුතු දුටු ගැමුණු මහ රජතුමා මහත් දිව්‍යානුභාවයෙන් තව්තිසාවේ නන්දන භවනට යන ශක්‍ර දේවේන්ද්‍ර විලාසයෙන් අපමණ රාජ්‍ය ශ්‍රී විභූතියෙන් යුක්තව මහමෙව්නා උයනට සැපත්වීමට සුදානම් විය. ධාතු පූජාව පිණිස නින්නාදවන තූර්ය නාදයෙන් ද, කන්කළු බුදු ගුණ ගායනාවෙන් ද අනුරාධපුර නගරය ම ගිඟුම් දෙන්නට විය. දුටුගැමුණු මහ රජතුමාගේ ගමනාරම්භයේ දී නගරයේ පවත්නා තූර්ය නාදය පිරිවෙනේ වැඩ සිටි සෝණුත්තර මහ රහතන් වහන්සේ අසා, ඍද්ධි බලයෙන් පොළොවේ කිමිදී මහාකාල නාගරාජයා ගේ නාග භවනෙහි නා රජු ඉදිරියෙහි පහළ වූ සේක.

මහාකාල නා රජතුමා වාඩි වී හුන් අසුනින් නැඟී සිට උන්වහන්සේට සත්කාර කරමින් ආසනයක වඩා හිඳවා පැමිණි කරුණ විමසා සිටියේ ය. තමන් ලංකාදීපයෙන් පැමිණි බව පවසා සිටියේ ය. වඩින්නට හේතු වූ කරුණ කුමක් දැයි නා රජතුමා විසින් විමසන ලද්දේ ය. එකල්හි මහ රහතන් වහන්සේ භික්ෂු මහා සංඝයා වහන්සේගේ සංදේශය පවසති. “පින්වත් නාග රාජයාණෙනි, ඔබ ළග වැඩ හිඳීන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ලංකාවේ ඉදිවන ස්වර්ණමාලී මහා සෑයේ නිධන් කරවනු පිණිස සක් දෙවිඳුන් සාක්ෂි කොට අපගේ භාග්‍යවත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේම වෙන් කොටයි තිබෙන්නේ, එම නිසා ඒ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ මා හට දුන මැනැව එය රැගෙන යනු පිණිස මම මෙහි පැමිණියෙමි.‘වදාළ සේක.

ආගන්තුක මහ රහතන් වහන්සේගේ බස් ඇසීමෙන් මහාකාල නා රජ මහත් දොම්නසට පැමිණියේ ය. මෙම රහතන් වහන්සේ ධාතූන් වහන්සේලා කෙසේ හෝ වැඩමවාගෙන යන්නට සමත් වෙති. එබැවින් හැකිතාක් ඉක්මනින් එම ධාතූන් වහන්සේ වැඩ සිටින්නා වූ ස්ථානයෙන් අන්‍ය වූ ස්ථානයක සැඟවිය යුත්තේ ය. එසේ සිතා තමන් සමීපයෙහි සිටි බෑණනුවන් වන වාසුලදත්ත නම් නාගරාජයා හට ඉඟියකින් සංඥා කළේ ය.

එකල්හි වාසුලදත්ත නම් නා රජ මහාකාල නාරජුගේ අදහස දැන සැනෙකින් ධාතු මන්දිරයට පිවිසියේ ය. ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇති කරඬුව ගිල දැමුවේ ය. මහාමේරු පර්වත පාදයට ගොස් දරන ලා සයනය කළේ ය.

වාසුලදත්ත නාග රාජයාගේ

ශරීරය යොදුන් තුන්සියයක් දික් ව ගියේ ය. දරනය යොදුනක් තරම් වූයේ ය. දහස් ගණනින් යුතු විශාල පෙනයක් මවාගෙන සයනය කරන්නේ ය. මහා ඍද්ධි බලැති වාසුලදත්ත නා රජ මුඛයෙන් විටින් විට ගිනිදැල් පිට වන්නේ ය. දුම් දමන්නේ ය. තමන් අවට තමන් සේ ම විශාල නාගයින් බොහෝ පිරිසක් මවා ඒ නාගයන්වත් නිදන්නට සැලැස්විය.

එකල්හි බොහෝ දෙවියෝ ද, නාගයෝ ද මාංජෙරිකා නාග භවනට පැමිණිය හ. ඒ තථාගත ශ්‍රාවක වූ ශ්‍රමණ නාගයෙකුගේ ද දිව්‍ය නාගයෙකුගේ ද සංග්‍රාමයක් දැකිය හැකි වන්නේ යැයි කියා රැස් වූහ.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk