[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිය ගණනින් මහ රහතන් වහන්සේ වැඩ සිටි පිළිකුත්තුව රාජ මහා විහාරය

සිය ගණනින් මහ රහතන් වහන්සේ වැඩ සිටි පිළිකුත්තුව රාජ මහා විහාරය

මුදුන් වෙන ඉර රශ්මිය සඟවා ගන්නට වෑයම් කරන අතු පතර විහිදී ගිය රූස්ස ගස්වල වියන හරි අපූරු ය.ඒ සෙවණ යට අතීත රජ දරුවන් මෙන්ම මහා රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ වැලි මළුව අතීත අභිමානයට කදිම පරිසරයක් මවා ඇත්තේ ය.

විහාර මළුවට ඉදිරිපස, ඈතට දිවෙන වෙල් යායත්, දකුණු පසින් ඇති පොල් වතු ද සශ්‍රීකත්වයේ අමිල සටහන් යැයි සිතේ.වම් පසින් ඒ සශ්‍රීකත්වයට නෑකම් කියන අභය වැව ද ,නැගෙනහිරින් රහතන් වහන්සේලාගේ ස්පර්ශයට පූජා වුණු ලෙන් සංකීර්ණ හා සුන්දර වන පියස ද දක්නට ලැබෙයි.මේ අතීතයේ උරුමය යළි යළිත් මතුවෙන ඓතිහාසික පිළිකුත්තුව රාජ මහා විහාර පින් බිමේ සීමා මාලකයයි.

අක්කර දෙසීයක පමණ භූමි භාගයක් පුරා ව්‍යාප්ත ව ඇති පිළිකුත්තුව රාජ මහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයට අයත් පින් බිමකි.

කොළඹ නුවර පාරේ ගම්පහ මිරිස්වත්ත හන්දියෙන් වතුරගම කිරිඳීවැල මාර්ගයෙන් කිලෝමීටර් හතරකුත්, ඉන්පසු පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කිලෝමීටරයක පමණ දුරක් ගිය පසු මෙම පින් බිමට පැමිණිය හැකි ය.

නේක හැඩතල වලින් යුත් පර්වත හා ගල්කුළු සහිත උස්බිම් ප්‍රදේශයක් වන පිළිකුත්තුව පිළිබඳ ජනප්‍රවාදයේ ඇත්තේ ද විවිධ කතා පුවත් ය.

රජවරුන් ට පිළි සැපයූ ගම් පියස නිසා පිළිකොටුව,ආරච්චි කොටුව,මල් කොටුව,හාල්පන් කොටුව හා බිලි ගහ කොටුව යන පහ එකතු වී පිළිකොටුව යන්න පිළිකොත්තුව වී පසුව පිළිකුත්තුව වූ බව මෙම විහාර පින් බිමේ ඇති පුරාවිද්‍යා ඒකකයේ ආචර්‍ය මුල්ලේගම සුමන හිමියෝ පවසති.

වළගම්බා රජතුමා වසර දාහතරයි මාස හතක් සැඟව සිට සිය සේනාව සංවිධානය කළ එක් ස්ථානයක් වශයෙන් ද හැඳීන්වෙන අතර රජුට පිළි සැපයූ ගම වශයෙන් ද, වළගම්බා රජුගේ බිසවගේ ආභරණ හා පිළි සඟවා තැබු ගම වශයෙන් ද පිළිකුත්තුව පිළිබඳව ජනප්‍රවාදයේ එන තවත් මතයකි.

පිළිකුත්තුව විහාර පින් බිම වටා ඇති කටාරම් සහිත ලෙන් හා ස්වභාවික ලෙන් එකසිය දෙකක් පමණ ඇති අතර බ්‍රාහ්මීය අක්ෂර සහිත පුවරු ද දක්නට ලැබීම ඉතිහාසයේ සලකුණු වලට කදිම සක්ෂි ය.එමෙන්ම ස්වභාවික පොකුණු හා උමං මාර්ග ද තවමත් දක්නට ඇති දසුන් ය.පශ්චාත් නුවර යුගයේ දී නිර්මාණය වුණා යැයි සැලකෙන ලෙන් විහාර ගෙයත්, එහි ඇතුළත ජාතක කතා සිතුවම් ද අතීත රජ දරුවන්ගේ නිර්මාණ ප්‍රතිභාවට කදිම සාක්ෂි ය.අඩි විසිහයක් පමණ දිගින් යුතු සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ත් අඩි හතක් පමණ උස හිටි පිළිම වහන්සේත්, ධ්‍යාන මුද්‍රාවෙන් නිර්මිත සමාධි පිළිම වහන්සේ ද විහාරය ඇතුළත සිත් නිවා සනහන දසුන් ය.

විශ්ණු හා නාථ දේව ප්‍රතිමා දෙකක් ලෙන් විහාරය තුළ තිබීමෙන් එකල දේව වන්දනාව ද විහාරය කේන්ද්‍ර කරගෙන සිදුකර ඇති බව සුමන හිමියෝ පෙන්වා දෙති.

පිළිකුත්තුව රාජ මහා විහාරයේ සුවිශේෂ කරුණක් බවට දක්නට ලැබෙන සිතුවමකි භික්ෂුණීන් වහන්සේලා ගේ සිතුවම.රහත් තෙරණින් වහන්සේලා දෙනමකගේ හා භික්ෂුණීන් වහන්සේලා දෙනමකගේ සිතුවම් මෙහි දක්නට ලැබෙයි.එය බුදු රජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවන් වන ඛේමා හා උප්පලවන්නා තෙරණිවරුන්ගේ නිරූපණයක් යැයි විශ්වාසයක් පවති.එමෙන්ම ලෙන් විහාර යේ වියන තුළ නෙළුම් මල් තුන්සිය පනහක් පමණ සිතුවම ද නෙතට එක් කරනුයේ අපූරු දසුනක් ය.

විහාරය වටා ඇති බිතු සිතුවම් අතර එක් පසෙක සිවිලිම,ලෑලිවලින් නිමවා ඇති අතර, එහි රාශි දොළහ සිතුවම් කර තිබීම පිළිකුත්තුව විහාරයේ දක්නට ඇති තවත් සුවිශේෂ කරුණක් ය.කෝට්ටේ යුගයේ ඉතා දියුණුවට පත් පිරිවෙන් අතරින් එකක් වන කෑරගල පද්මාවති පිරිවෙන පිළිකුත්තුවට ආසන්න ව පිහිටි නිසා භික්ෂුන් වහන්සේලා ථේරවාදී බුදු දහම ඉගෙනුමට අමතර ව ඡ්‍යොතිෂ විද්‍යාව ද උගෙන ඇති බැව් මුල්ලේගම සුමන හිමියෝ සඳහන් කරති.

එමෙන්ම බදාම හා වර්ණ සකසා ගැනීම සඳහා ස්වභාවික ද්‍රව්‍ය යොදා ගෙන ඇති අතර ක්‍රි.ව 1834 දී මංගල හෙරියේ සිරියා නැමැති චිත්‍ර ශිල්පියා මෙහි බිතුසිතුවම් ප්‍රතිසංස්කරණය කළ බව ජනප්‍රවාදයේ සඳහන් තවත් කරුණක් ය.

ක්‍රි.ව 1874 දී නිර්මාණය කළ සිතුවම් ද පිළිකුත්තුව රාජ මහා විහාර පින්බිමේ දක්නට ඇති අතර වසර හාරසියයකට වඩා ඉපැරණි අක්කර ගණනක් පුරා පැතිර ඇති පුස් වැල ද ඒ අභිමානය නිහඬව මෙම පුණ්‍ය භුමියේ දරා සිටින බැව් දැක ගත හැකි ය. පිළිකුත්තුව රාජ මහා විහාර පින් බිමේ බෝධීන් වහන්සේ ලා දෙනමක් එක සමීපයේ වැඩ සිටින අයුරු දක්නට ඇති දුර්ලභ දසුනක් ය. අහස් කුසට එසැවී ගිය එක් බෝධීන් වහන්සේ නමක අතු පතර මනා ලෙස විහිදී ගොස් ඇති අතර එය ‘කුමරි බෝධිය’ නමින් ද අතු පතර විහිද නොමැති බෝධිය ‘කුමර බෝධිය’ වශයෙන් ද ජනප්‍රවාදයේ සඳහන් ව එන කරුණක් ය.

විහාරය ආසන්නයේ කටාරම් ලෙන විශාල ගල් දෙකක් එකට යා වීමෙන් නිර්මාණය වී තිබෙන අතර, එහි ඝණ්ඨාකාර හැඩයෙන් යුත් ස්තූපය දකින නෙතඟට දැනෙන්නේ අපමණ ශ්‍රද්ධාවකි.

පශ්චාත් නුවර යුගයේ දී නිර්මාණය කොට ඇති එය ගඩොල් භාවිතයක් නොකොට සියල්ල මැටියෙන් නිර්මාණය කර තිබීම ද අපූරු ය.ස්තූපයේ කොත වෙනුවට කරඬුවක් තැන්පත් කර තිබුණත් එය පසු කාලීනව නිධන් සොරුන්ගේ ගොදුරක් බවට පත්වීමේ අඳුරු සලකුණු තවමත් දක්නට හැකි ය.

පිළිකුත්තුව රාජ මහා විහාර පින් බිමේ දක්නට ඇති දැව පාලම ද සිත් ඇද ගන්නා තවත් දසුනක් ය.උමං ජල මාර්ගය විවෘතව පවතින ස්ථානයක් හරහා මෙම දැව පාලම ඉදිව ඇති අතර කැලෑ දෙල් දැවයෙන් යකඩ ඇණ රහිතව ක්‍රි.ව 1873 දී එය නිර්මාණය කර ඇති බැව් දැක ගත හැකි ය.

ඒ ආසන්නයේ දක්නට ඇති ලෙන තුළ ඇත්තේ දැවයෙන් නිර්මිත වූ දෝලාවකි.එය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ පිළිකුත්තුව රාජ මහා විහාරයට ධර්ම දේශනාවක් සඳහා වැඩම කරවූ දෝලාව යැයි මුල්ලේගම සුමන හිමියෝ පවසති.

සිය ගණනක් රහතන් වහන්සේලා ගේ ස්පර්ශයෙන් හා අතීත රජදරුවන්‍ගෙන් පුණ්‍යවන්ත වූ පිළිකුත්තුව රාජ මහා විහාර පින් බිමේ හාත්පස ඇත්තේ ජාතියක අභිමානය ලියැවෙන නශ්ඨාව ශේෂයන් ය.

කටු කොහොල් පිරි ඝන කැලෑව මැද ඉහළට එසැවුණු පර්වත මස්ථකයෙහි මේ අභිමානය තවත් වසර ගණනක් අනාගතවාදීන් උදෙසා නිසොල්මනේ දරා සිටිනවා ඇත.

   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]