බිනර පුර අටවක 2020.08.25
දෙලොව සුව පිණිස
සැබෑ බෞද්ධයා නම් දිවි හිමියෙන් ම තෙරුවන් සරණ ගිය පුද්ගලයා ය. කවර හේතුවක් නිසාවත්
ඔහු හෝ ඇය සද්ධර්මයට පිටුපාන්නේ නැත. පවින්, අකුසලයෙන් බැහැර වූ හෙතෙම තමන්ට ද,
අන්‍යයන්ට ද හිත පිණිස ම වන්නේ ය.
එහෙත් අප අද අඩු වැඩි වශයෙන් පොදු මිනිස් සමාජයේ දී විඳින අත්දැකීම් බොහෝවිට කටුක
ය. පීඩාකාරී ය. වේදනාකාරී ය. මිනිසුන් විසින් මිනිසුන් වෙත මුදා හරින විවිධාකාර
බලපෑම් ඊට එක් පැත්තකින් හේතු වේ.
අනෙක් පැත්තෙන් සොබා දහමෙන් ලැබෙන දඬුවම් ය. විටෙක ගං වතුර ය. නාය යෑම් ය. සුළි
සුළං ය. තවත් විටෙක දැඩි නියඟය වගා හානි කරන්නේ ය. විවිධ හේතු නිසා දහඩිය
මහන්සියෙන් වගා කළ හේන් කුඹුරු පාළු වී යන්නේ ය.
තවත් පැත්තකින් ලෙඩ රෝග ය. අන් කවරදා හෝ අසා නැති විවිධ ලෙඩ රෝග දැන් බහුල ය.
මිනිසුන් ගේ ආයුෂ අඩු ය.
බුදු දහමට අනුව නම් මෙවැනි දුක් කරදර, විපත් සියල්ලට හේතු වන්නේ මිනිසා ම ය.
මිනිසාගේ ක්‍රියාකාරකම් ය.
අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ මේ පිළිබඳ ව අපූර්ව කතා පුවතක්
වේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි බමුණෙක් උන්වහන්සේගෙන් විමසූයේ
අතීතයේ මේ ලෝකය අවීචිය මෙන් මිනිසුන්ගෙන් පිරී පැවති බවත්, කුකුළකුට වහලින් වහලට යා
හැකි වන සේ ළංව පිහිටි නිවෙස් තිබූ බවත් පිළිබඳව පෙර සිටි වැඩහිටි ආචාර්යවරුන්ගෙන්
තමන් අසා ඇති බවය.
එහෙත් මෙකල මිනිසුන්ගේ යම් අඩු බවක්, තුනී බවක් පෙනෙන බව ය. ඊට හේතු කවරේ ද යන්න ය.
එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස, මිනිස්සු අන්සතු වස්තුව පිළිබඳව
රාගයෙන් ඇලී, මඬනා ලද ලෝභයෙන් යුතු වෙති. වැරැදි සේවනයන් හි යෙදෙති. ඒ නිසාම තියුණු
ආයුධ රැගෙන ඔවුනොවුන්ගේ දිවි තොර කර ගනිති. ඒ හේතුවෙන් බොහෝ දෙනා මිය යති.
මිනිසුන්ගේ අඩුවක් වීමට එය ද හේතුවක් වන බව ය.
බුදුරජාණන් වහන්සේ එම බමුණාට විස්තර කළ ලෙස එවැනි මිනිසුන්ට නිසි කලට වැසි ලැබෙන්නේ
නැත. ඒ හේතුවෙන් ශස්‍ය මනා ලෙස පැසෙන්නේ නැත. සේතට්ඨිකා නම් ශස්‍ය රෝගය වැළඳෙන්නේ
ය. පැළවල දඬු පමණක් වී අස්වනු හට නොගන්නේ ය. මේ නිසා වන ආහාර හිඟයෙන් ද බොහෝ
මිනිස්සු මිය යති. මිනිසුන්ගේ අඩුවීමට එය ද හේතුවක් වේ.
එමෙන් ම අන්සතු වස්තුව පිළිබඳ ව රාගයෙන් ඇලුණු, ලෝභයෙන් මැඩුණු වැරැදි සේවනයන් හි
යෙදෙන මිනිසුන් අතරට යක්ෂාධිපතිහු , සැඩ පරුෂ යකුන් මුදා හරිති. මේ නිසා ද බොහෝ
මිනිස්සු මිය යති. මිනිසුන්ගේ අඩුවීමට මෙය ද එක් හේතුවක් වේ.
තථාගතයන් වහන්සේ මෙම බමුණාට දුන් පිළිතුර අපට හිතන්නට බොහේ දේ ඉතිරි කර තිබේ.
විපතෙහි වැටෙන්නේ අප විසින් ම සිදුකරන ක්‍රියාකාරකම්හි ප්‍රතිඵල නිසා ය.
ශ්‍රී සද්ධර්මය තුළ අප යා යුතු නිවැරැදි මාවත පෙන්වයි. ඒ ගමන් මග මෙලොවට සේ ම
පරලොවට ද වැඩ දායක ය. ලෝභ, ද්වේශ, මෝහාදී අකුසල සිතිවිලිවලින් මඬනා ලද සිත පිරිසුදු
කර ගනිමු. අපි නිවැරැදි බෞද්ධයන් ලෙස, බොදු මඟ යමින් දෙලොව ජීවිතය සුවපත් කර ගනිමු. |