බොදු ගීයක මිහිර:
නෞකාව දම් අමා වඳීම්
නමා නළල් තලේ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධිරාජ පාද පත්ම
වන්දනා කරම්
ක්ලේශ තාපයේ
අනන්ත වේදනා ජලේ
නෞකාව දම් අමා වඳීම්
නමා නළල් තලේ
දෑග සව් රහත් බුදුන්
මා සිතින් පුදා
වන්දාමි සඟ රුවන් ගඳීන්
මලින් බැතින් පුදා
ගායනය
මහාචාර්ය සනත් නන්දසිරි
ගී පද රචනය
ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය
මහාචාර්ය සනත් නන්දසිරි
මෙම ගීතයෙන් තෙරුවන් වන්දනාව මනාව අර්ථාන්විත ය. මෙහි ගායනය සහ වාදනය මහාචාර්ය සනත්
නන්දසිරිගෙනි. ගී පද ආචාර්ය අජන්තා රණසිංහයන්ගෙනි.
මෙම කලාකරුවන් දෙදෙනාගේ මෙහෙවරින් ගීතයෙන් ගලා යන භක්ති රසය බොදු සිත පහන් වීමට
සමත් ය. ගීතයට යොදා ඇති සරල බස් වහර කදිම ය. මහාචාර්ය සනත් නන්දසිරිගේ ගායනයෙන්,
එයටම සරිලන මියුරු සංගීතයෙන් ගීත රසය ඔපවත් ය.
ගීතයෙන් පළමුව අසන්නාගේ සිත පහන් කරන්නේ බුද්ධ වන්දනාවෙනි. ‘බුද්ධත්වය’ ලොවේ ඇති
උත්තරීතරම පදවිය යි. ඒ උදෙසා උන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ඇප කැප වූ
අයුරු විශිෂ්ඨ ය. උන් වහන්සේගේ ගුණ කදම්භය අසම සම ය. කෙතරම් උසැති පුද්ගලයෙකුට වුව
ද ශ්‍රී දේහයේ ශීර්ෂ මුදුන දර්ශනය නොවන බව ධර්මයේ සඳහන් ය. එවන් රූප ශ්‍රියාවකින්
බබළන, ආශ්චර්යවත් ගුණවත් උත්තමයෙක් තුන් ලෝ තලයේ ම නැති බැවින් උන්වහන්සේ අසම සම ය.
රජ මැඳුරේ සිට ම රොඩී පැල්පත දක්වාම උන් වහන්සේගේ ගුණ කදම්භය විහිදී ගියේ මහා
කරුණාවෙනි. ඒ අමා මෑණී බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් නිර්වාණය ගීතයෙන් උපමා කර
ඇත්තේ ‘ස්වර්ණ වර්ණ ද්වාරයකට’ ය. ඒ රන් දොරටුවෙන් එතෙර වූ මනු ලොව, දෙව් ලොව, බඹ
ලොව තුන් ලෝ සත්වයන් අපමණ ය. මෙම ගීතයෙන් බුදුන් වහන්සේ හඳුන්වන්නේ ‘ සම්බෝධිරාජ’
නාමයෙනි. සිංහල සාහිත්‍යයේ බුදුන් වහන්සේ වෙනුවෙන් යොදා ඇති විශේෂණ පද රාශියකි. නව
අරහාදී බුදු ගුණයෙන් සපිරි සියලුම විශේෂණ පද බොදු ගීත මාලාවන්හි යෙදී ඇති අයුරු
සුවිශේෂී ය. මෙලෙස බුදුන් වහන්සේගේ පා පියුම් ගීතයෙන් වැඳ නමස්කාර කරන්නේ මෙසේ ය.
‘නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධිරාජ පාද පත්ම
වන්දනා කරම්’
දෙවනුව වැඳ නමස්කාර කරන්නේ අමා මෑණී බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම රත්නයට
යි. ගීතයේ සඳහන් සේ බුදුන් වහන්සේගේ ධර්මය දුක් සයුරෙන් එතෙර වන සත්වයන්ට නෞකාවක්
බඳු ය. සයුරෙහි ඇති එකම ලුණු රසය මෙන් උන් වහන්සේ පෙන්වා දුන් ධර්ම, විනයෙහි ද
ඇත්තේ එකම විමුක්ති රසයකි. මෙලෙස පන්සාළිස් වසක් මුළුල්ලේ ම විනය, සූත්‍ර , අභිධර්ම
වශයෙන් තුන් පිටකයෙන් පෙන්වා දුන් ධර්මස්ඛන්ධය අසූහාරදහසකි. ඒ පෙන්වා දුන් සදහම්
සෙවණෙන් බැහැර වන සියලු සත්වයන්ගේ සිත් සතන් දැවී තැවී යන්නේ රාග ආදී කෙලෙස්
තාපයෙනි.
පෘතග්ජන සත්වයාගේ සිතෙහි කෙලෙසුන් එක්දහස් පන්සියයක් පවතින බව ද ධර්මයේ සඳහන් ය.
‘පත්ළෙහි මඩ ඇති ළිඳෙහි ජලය මෙන් නොකැළඹෙන තෙක්’ ඒ සිත පිරිසුදු ය. එය විටක අළු යට
සැඟවුණු ගිනි පුපුරු සේ ය. මතු වන කෙලෙසුන්ගෙන් ලෝක සත්වයා විඳීන දුක් වේදනා අපමණ
ය. එය ගීතයෙන් ‘අනන්ත වේදනා ජලේ ‘ යනුවෙන් දක්වා ඇති උපමාව කදිම ය. කෙනෙකුගේ
කෙලෙසුන් යටපත් ව උසස් පුද්ගලයෙක් වීමට එතෙර විය යුත්තේ සදහම් නෞකාවෙනි.
එයට සවන් දී සාධු කාර නඟන්නාගේ මුවෙන් මානෙල් මල් සුවඳ විහිදුවන බව මනෝරථපූරණී නම්
වූ අංගුත්තර අටුවාවේ ද සඳහන් ය. මිනිස්, දෙව්, බඹුන් පමණක් නොව ඒ උතුම් සරණ ගිය
අසරණ වන සතුන්ට ද ලැබූ ධර්ම රත්නයේ පිහිට අනන්ත ය.
චම්පා නුවර ගග්ගරා පොකුණෙහි මැඬියන් දහම් දෙසන හඬින් දෙව් ලොව උපත ලැබූ බව
විමානවත්ථු ප්‍රකරණයෙහි ද දක්වා ඇත. ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ
කිරි වවුලන්ට දහම් හඬ ඇසී සතුටු සිතින් උපත ලැබුවේ මිනිස් ලොව ය. දෑස් නොපෙනන අඳ
ගැරඬියෙකු සදහම් හඬින් මිනිස් ලොව ඇමැති කුලයක උපත ලැබූ බව ද ධර්මයේ සඳහන් ය. ඒ
උතුම් සදහම් සුවයෙන් සසර කතරෙන් එතෙරෙ ව සතර මඟ, සතර ඵලයන්ට පැමිණ නිවන් සුවයෙන්
සැනසුණු පිරිස අපමණ ය. බුද්ධ රත්නය මෙන්ම ධර්ම රත්නය ද නමඳීන පිළිවෙත ගෞරව
බහුමානයෙන් ගීතයෙන් පසක් කරන්නේ ‘නමා නළල් තලේ’ යනුවෙනි.
ක්ලේශ තාපයෙන්
අනන්ත වේදනා ජලේ
නෞකාව දම් අමා වඳීම්
නමා නළල් තලේ
තෙරුවන් නමදින නිවැරැදි පිළිවෙත බුද්ධ , ධම්ම, සංඝ යනුවෙන් ගීතයෙන් ඉස්මතුවන්නේ
පියගැට පෙළක් සේ ය. මෙලෙස තෙවනුව වැඳ නමස්කාර කරන්නේ මහා සංඝ රත්නයට යි.
නිවනට පමුණුවන සුන්දර ප්‍රතිපත්තියක් පුරන උන්වහන්සේලාගේ ගුණ අපමණ යි. ඒ දහස් ගණන්
සඟ පරපුර අදත් බොහෝ බෞද්ධ රටවල පිළිවෙත් පුරන්නේ බොදු සිත පුබුදු කරමිනි. බුදුන්
වහන්සේගේ දකුණු පසින් වැඩසිටින්නේ ප්‍රඥාවෙන් අග්‍ර වූ සැරියුත් තෙරණුවෝ ය. බුදුන්
වහන්සේගේ වම් පසින් වැඩසිටින්නේ ඍද්ධිමතුන් අතුරෙන් අග්‍ර වූ මුගලන් තෙරණුවෝ ය.
මෙලෙස අතීත, වර්තමාන, අනාගත වශයෙන් පැවැත එන්නා වූ, ශීලයෙන්, ගුණයෙන් බබළන ඒ ආර්ය
මහා සංඝරත්නය මලින්, සුවඳ දුමෙන් හද බැතියෙන් වැඳ නමස්කාර කරන්නේ මෙසේ ය.
දෑග සව් රහත් බුදුන්
මා සිතින් පුදා
වන්දාමි සඟ රුවන් ගඳීන්
මලින් බැතින් පුදා
ජම්මික ප්‍රබෝධනී වැලිකල |