[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහමෙන් දැමුණු නිගණ්ඨ සච්චක පසු භවයක දී රහත් ඵලයට

දහමෙන් දැමුණු නිගණ්ඨ සච්චක පසු භවයක දී රහත් ඵලයට

ස්වාමිනි, කළුවර දවසක, කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ, කළු තිඹිරි ගසක් මුල කාළකාරාම සූත්‍රය වදාළ බව මම මතකයේ තබා ගන්නෙමි

අනන්ත වූ බුදු ගුණ අනන්ත ආකාශයට උපමා කිරීම ඉතා යහපත්. ඔබ වහන්සේට සුදුසු පූජාවක් මා සතුව නැහැ. එනිසා මේ ලක්දිිව මම ඔබ වහන්සේට පුජා කරනවා.

තථාගතයන් වහන්සේ වැඩ සිටි කාලයේ වෛශාලි පුරයේ සච්චක නම් නිගන්ඨ පුත්‍රයෙක් විසුවා.මව්පියන්ගෙන් වාද කරන්නට ඉගෙන ගත් ඔහු, පඬිවරයෙක්. ඒ වගේ ම ලිච්ඡවි කුමාරයන්ගේ ගුරුවරයා ද වුණා. තමා තරම් දන්නා, තමන් හා වාද කිරීමට සමත් මේ ලෝකයේ කවුරුත් නැතැයි ඔහු තමා ගැන මාන්නයකින් සිටියා.

ඔහු වෛශාලියේ ජනයා මැද “මා හා වාද කළහොත් වෙවුලා නො යන, කිසිලිවලින් ඩහදිය නො වැගිරෙන පණ්ඩිතයෙක් , ගණාචාරවරයෙක්, සම්මා සම්බුදු යැයි කියා ගන්නා කෙනෙක් මිහිපිට නැහැ. මා හා වාද කළොත් ඔහු වෙව්ලා යනවා. ඔහුගේ කිසිලිවලින් ඩහදිය ගලනවා” යැයි නිතර පුරසාරම් දොඩනවා.

දිනක් ඔහු තමන්ගේ හපන්කම් පෙන්වනු පිණිස පන්සියයක් ලිච්ඡවීන් ද කැඳවාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට කූටාගාර ශාලාවට ගියා. එළිමහනේ් සිටි භික්ෂුූන් වහන්සේ දැක සච්චක අසනවා,

”ස්වාමීනි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කොයි වැඩ සිටී ද?”

” මහ වනයේ කූටාගාරයේ ගසක් මුල තථාගතයන් වහන්සේ වැඩ සිටිනවා”

සච්චක වාදයකට පැමිණෙන බවත්, ඔහු දමනය වන බවත් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. උන්වහන්සේ අසලට ගිය සච්චක ඒ අසලින් අසුන් ගෙන වාදයකට මෙන් කතාවක් පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඔහුගේ වාදයෙහි නිසරු බව දක්වා ඔහු පරාජිතයකු බවට පත් කළා. සච්චක පරාජය පිළිගෙන කිසිවක් කර කියා ගත නො හැකිව ලජ්ජාවෙන් බිම බලා ගත්තා. ඉන්පසු ඔහු,

”පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ හා වාදයට ආ අපි ම වරදකරුවෝ වෙමු. මද කිපුණ ඇතෙකු හා ගැටෙන්නට යන කාටවත් සෙතක් වන්නේ නැහැ. ඝෝර විෂ සහිත සර්පයකු හා ගැටුණ අයෙකුට යහපතක් සිදුවන්නේ නැහැ. ඒ වගේ ගෞතමයන් වහන්සේ හා වාදයකට ආ අප කළේ බලවත් වරදක්. මට සමාවන සේක්වා! හෙට දිනයේ ඔබ වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා සමග මගේ නිවසට දානය පිණිස වඩින සේක්වා!” කියා ආරාධනාවක් ද කර පිටව ගියා. සච්චක ධර්මය ඇසූව ද, ඔහුගේ නුවණ මෝරා තිබුණේ නැහැ. නමුත් අනාගතයේ දී ඔහු ලක්දිව ඉපදී රහතන් වහන්සේ නමක් බවට පත්ව බුදුසසුන බබළවන බව භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.

සච්චක මිය පරලොව ගොස් චුත ව දෙව්ලොව උපන්නා. ලක්දිව බුදු සසුන පිහිටියාට පසු ඔහු දෙව් ලොවින් චුත ව දක්ෂිණාගිරි විහාරාසන්නයෙහි ඇමති පවුලක උපන්නා. සුදුසු වයසට ආ කල්හි ඔහු ගිහි ගෙදරින් නික්ම පැවිදි වුණා.

උන්වහන්සේ කාළබුද්ධරක්ඛිත නම් වුණා. ත්‍රිපිටකයත්, විනයත් මැනවින් ඉගෙන ගෙන දිනක් තමන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ මුණ ගැසීමට පැමිණියා. නමුත් උපාධ්‍යායන් වහන්සේ කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ හමුවීම මඟ හැරියා. වචනයක් හෝ කතා කළේ නැහැ. පසුදින උදෑසන ම බුද්ධරක්ඛිත හිමි උපාධ්‍යායන් වහන්සේ වෙත ගොස් වැඳ

” ස්වාමිනි, මම ත්‍රිපිටක ධර්මය ඉගෙනීම අවසන් කර ඔබ වහන්සේ දැකීමට පැමිණියෙමි. නමුත් ඔබ වහන්සේ මට මුහුණ නො දෙයි. පිළිසඳර කතා නො කරයි. මා අතින් සිදු වූ වරද කුමක් ද?”

”බුද්ධරක්ඛිත, ත්‍රිපිටකය උගත් පමණින් පැවිදි බව සම්පූර්ණ වන්නේ නැහැ”

”ස්වාමිනි, එසේනම් කුමක් කළ යුතු ද?”

”බුද්ධරක්ඛිත, කුසිතපබ්බත විහාරයට ගොස් බුදු සසුන සම්පූර්ණ කර ගන්න.”

උපාධ්‍යායන් වහන්සේගේ අවවාදය පිළිගත් උන් වහන්සේ වීර්ය කොට අරහත්වයට පත්වූ සේක.

ඒ කාලයේ සද්ධාතිස්ස රජතුමා සිල් සමාදන් ව සෑගිරියේ වාසය කළා. කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දහම් දෙසයි නම්, ප්‍රශ්න විසඳයි නම් මට දන්වන්න” කියා තෙරුන් වහන්සේගේ උපස්ථායකට කියා තිබුණා. එක් අමාවක දිනක දී කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ භික්ෂු සංඝයාවහන්සේ සමඟ කළු තිඹිරිගසක් මුල වැඩ සිටියා. එහිදී එක් භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගෙන් කාළකාරාම සූත්‍රයෙන් ප්‍රශ්නයක් විමසුවා. එදින දහම් දෙසන දිනයක් බැවින්, බුද්ධරක්ඛිත රහතන් වහන්සේ රාත්‍රිය මුළුල්ලේ ම කාළකාරාම සූත්‍රයෙන් දහම් දෙසූ සේක. එම දේශනාව කරන අතරේ මහ පොළොව කම්පා වුණා. පන්සියයක් භික්ෂූන් වහන්සේ අරහත්වයට පත්වුණා.

කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දහම් දෙසන බව උපස්ථායක විසින් තිස්ස රජුට දැනුම් දුන්නා. රජතුමා දහම් අසනු සඳහා එහි ගොස් අප්‍රසිද්ධියේ පිරිසේ කෙළවරක සිටගෙන රාත්‍රිය මුළුල්ලේ ම ධර්මය ශ්‍රවණය කළා. රහතන් වහන්සේ දේශනාව අවසන් කරනවාත් සමඟම රජතුමා සාධුකාර දුන්නා.

”මහරජ, කොයි වෙලාවේද මෙහි ආවේ”

”ස්වාමිනි, ඔබ වහන්සේ පූර්ව ගාථා වදාරා අවසන් වනවිට ම වගේ මම විහාරයට පැමිණියේ”

”මහරජ තුන්යම පුරාම ඔබ සිටගෙනම දහම් ඇසීමෙන් ඉතා දුෂ්කර දෙයක් සිදුකළේ”

”ස්වාමීනි, එය දුෂ්කර දෙයක් නොවේ. ඊට වඩා දුෂ්කර වූයේ ඔබ වහන්සේ වදාළ හැම දහම් කරුණක් ම මම හොඳින් අසා මතකයේ තබා ගැනීමයි”.

ඉන්පසු රජතුමා අසනවා,

”ස්වාමීනි, ඔබ වහන්සේ වදාළ බුදුගුණ මෙ පමණ ද? නැතිනම් තව තිබෙනවා ද?”

” මහරජ, මා කී බුදුගුණවලට වඩා නො කී බුදුගුණ ඉතා බොහෝ යි,

”ස්වාමීනි, උපමාවක් වදාළ මැන”

”මහරජ, ජලය පිරී දොගොඩතලා ගලා යන මහා ගංගාවකට ඉඳිකටුවක් ඇල්ලුවොත් එහි මලින් යන ජලය යම් සේ ඉතා මඳ වේ ද, ඉතිරි ජලය බොහෝ වේ ද, එමෙන් මා කී බුදුගුණ ස්වල්පය යි. නො කී බුදුගුණ බොහෝ යි”

”ස්වාමීනි, තව උපමාවක් වදාළ මැන”

”මහරජ, අහසෙහි ඉගිලෙන ලිහිණින් සිටිනවා. ඔවුන් පියාසර කරන විට පියාපත්වලට වැසෙන අහස ද වැඩි? ඉතිරි අහස ද වැඩි?”

”ස්වාමිනි, ලිහිණියාගේ පියාපත්වලට වැසෙන අහස ඉතා මඳයි. නො වැසෙන අහස ම ඉතා බොහෝ යි”

”රජතුමනි, එමෙන් ම මා කී බුදුගුණ ඉතා මඳයි. නො කී බුදුගුණ ඉතා බොහෝ යි. අනන්තයි, අප්‍රමාණයි” යි තෙරුන් වහන්සේ වදාළ සේක.

”ස්වාමිනි, අනන්ත වූ බුදු ගුණ අනන්ත ආකාශයට උපමා කිරීම ඉතා යහපත්. ඔබ වහන්සේට සුදුසු පූජාවක් මා සතුව නැහැ. එනිසා මේ ලක්දිිව මම ඔබ වහන්සේට පුජා කරනවා. මේ දහම් පඬුර භාර ගන්නා සේක්වා!.”

”මහරජ, ඔබගේ පැහැදීමට අප ප්‍රශංසා කරනවා. අපට දුන් මේ රාජ්‍යය අපි නැවත ඔබට ම දෙමු. දැහැමින් මේ රට පාලනය කරන්න” තෙරුන් වහන්සේ රජුට වදාළා.

”ස්වාමිනි, කළුවර දවසක, කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ, කළු තිඹිරි ගසක් මුල කාළකාරාම සූත්‍රය වදාළ බව මම මතකයේ තබා ගන්නෙමි” යි කී රජු උන්වහන්සේට වන්දනා කර නික්ම ගියා.

   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]