බබ්බු ජාතක කතාව :
අන්සතු වස්තුවෙහි
ලොබ බැඳීම
විපතට මුලයි
අනුරාධපුර
කුට්ටම්පොකුණ විහාරාධිකාරී
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
කිවුලතලාවේ
සමිත හිමි
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි දවසේ භික්‍ෂුන් වහන්සේලා සිව් නමක් විසින් තමාට
පවරා නොදුන් දෙය අරගත් නිසා පැවිදි උතුමන් වහන්සේලාට මෙවැනි ශික්ෂා පදයක් පැනවුවා.
එනම්, “පවරා දුන් දනක් විනා නොපවරා දුන් දනක් ගෙට ගොස් අරගැනීම අකැප” යි යනුවෙනි.
එම සිද්ධියට හේතු වූයේ කාන මාතාවගේ කථාවයි.
සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයේ සැවැත් නුවර කාන මාතාව නම් ආර්ය
ශ්‍රාවක උපාසිකාවක් සිටියා. මෙම උපාසිකාවට කාන මාතාව යැයි කියන්නේ ඇයට සිටි කාන නම්
දුව නිසායි. ඒ දුවට “ කාන” යැයි කියන්නේ ඇස කණ නිසා නම් නොවේ. එම දියණියට විශේෂිත
වූ රූප ශ්‍රීයක් තිබුණා. ඒ නිසා දුටු දුටු පුරුෂයන් ඇගේ රූප ශ්‍රීයෙහි තෘෂ්ණාවෙන්
බැ¼දී අන් ස්ත්‍රීන් දෙස නොබලාම ඇයව ම ප්‍රාර්ථනා කළා. මෙසේ ඔවුන් ඇසක් කණ වූවන්
මෙන් ඇයම ප්‍රාර්ථනා කළ බැවින් එම දියණිය කාන නමින් ප්‍රසිද්ධ වූවා. ඇගේ මව “කාන
මාතා” නම් වූවා.
පසුව තම දියණිය නදුරු ගමක කුල පුරුෂයකුට විවාහ කර දුන්නා. ඇය කෙරෙහි බොහෝ ආදර
ගෞරවයෙන් කටයුතු කිරීමට එම පුරුෂයා වගබලා ගත්තා. දිනක් තම මෑණියෝ බලන්නට කානාවෝ
ගොස් එහි දින කිහිපයක් රැ¼දී සිටි නිසා සැමියා ඇයට “වහා නැවත ගෙදර එන්න.” යැයි
පණිවිඩයක් යැවුවා. ස්වාමියා බැලීමට යන ගමන හිස් අතින් යාම සුදුසු නොවේ යැයි මෑණියන්
ලවා ගමනට අවශ්‍ය කැවුම් පිස නිමවුවා. ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේ නමක් ගෙදරට ම පිඬු
සිඟා වැඩියා. ගෙදර කැවුම් තියාගෙන නැහැ කීම නුසුදුසු බැවින් කාන මාතාවෝ පාත්‍රය
පුරවා කැවුම් බෙදුවා. එම භික්ෂුන් වහන්සේත් තවත් භික්ෂුවකට කැවුම් ලබා ගත් නිවසේ මං
සලකුණු පෙන්වා “කාන මාතාවගේ නිවසට වඩින්න. එයින් කැවුම් ලබාගත හැකි” යැයි කීවා.
උන්වහන්සේත් කාන මාතාවගේ නිවසට වැඩම කොට කැවුම් ලබා ගත්තා. එම අයුරින් සිව් නමක් ම
ඇගේ නිවසින් කැවුම් ලැබුවා. ස්වාමියාට ගෙන යාමට කැවුම් ඉතුරු නොවුණ නිසා කානාව ගමන
නතර කළා.
ස්වාමියා දෙවන වරටත් කානාවට වහා ගෙදර එන ලෙස කියා පණිවිඩ යැවුවා. එම අවස්ථාවෙත්
කැවුම් පිස නිමවුවත් නැවත වැඩි ස්වාමින් වහන්සේලා නිසා දෙවන වරටත් ගමනට බාධා
පැමිණුනා. එවරත් ගෙදර නොපැමිණි තම බිරිඳ පිළිබඳ උරණ වු පුරුෂයා වෙනත් කුල නිවසකින්
ආවාහයක් කර ගත්තා.
මෙම පුවත කානාවෝ ආසා බොහෝ වික්‍ෂේප ව හඬන්නට වුණා. කාන මාතාවෝ ද ශෝකයෙන් පීඩිත
වුණා.
එම පුවත සර්වඥයන් වහන්සේ දැන කාන මාතාවගේ නිවසට වැඩම කොට සුදුසු පරිදි ධර්මය වදාරා
ඔවුන්ගේ ශෝක සන්සිඳවා ජේතවනාරාමයට ම වැඩියා. එදින සවස දම් සභා මණ්ඩපයේ දී රැස් වු
භික්ෂුන් වහන්සේලා අසවල් භික්ෂුන් වහන්සේලා හතරදෙනා නිසා කානාවට ස්වාමියා අහිමි
වුණා. ආර්ය උපාසිකාවෝත් බොහෝ වික්‍ෂේප ව ශෝකයට පත් වී යැයි කතා කරමින් සිටියා. එම
අවස්ථාවේ සර්වඥයන් වහන්සේ දම් සභාවට වැඩියා. “ මහණෙනි, මා එන්නට ප්‍රථමයෙන් කුමක්
ගැන කතා කරමින් සිටියේ” දැයි විචාළා. භික්ෂුන් වහන්සේලා කරමින් සිටි කතාව දැන් වූ
පසු “මහණෙනි, දැන් පමණක් නොව, පෙරත් එම භික්ෂූන් වහන්සේලා සතර දෙනා විසින් කාන
මාතාවගේ ලාභය ගන්නා” ලදැයි වදාරා ආරාධිත වු බුදුරජාණන් වහන්සේ අතීත කතාව දේශනා කොට
වදාළා.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයේ බෝධි සත්වයන්
වහන්සේ ගල් වඩු කුලයක ඉපිද ගල් වඩුවන්ට ආචාරී ව ජීවත් වුණා. ඒ කාලයේ දී සතළිස්
කෙළක් ධන සම්භාරයක් නිධන් ගත කර සිටි පිටිසර ගමක සිටුවරයෙක් හදිසියේ ම නැසී ගියා.
ඔහුගේ බිරිඳ ද එම සතළිස් කෙළක් ධන සම්පත කෙරහි ආසාව උපදවා සිටියදී මියගොස් ධනය
නිදන්කොට ඇති භූමියෙහි ම තුඹසක මී ධේනුවක් වී ඉපදුණා. මේ වන විට බෝධි සත්වයෝ ගල්
පළා කර්මාන්ත කළේ, ඉතා දුක සේ ධනය ඉපයීම සඳහා එම පිටිසර ගමට සැමදා එන යන වග බලා
සිටි මූසික ධේනුව බෝධි සත්වයන් කෙරෙහි ස්නේහයක් උපදවා
“ මාගේ සතළිස් කෙළක් ධනය මෙම සත්පුරුෂයාට දී මමත් ප්‍රයෝජන ලබමි” සිතා එක දවසක්
කහවනුවක් කටින් ඩැහැගෙනවිත් බෝධි සත්වයන් පාමුල තැබුවා. බෝධි සත්වයෝ මේ කිමෙක්දැයි
ඇසුවා. “සත්පුරුෂයාණෙනි, නුඹ මේ කහවනුව ගෙන මට වී ඇට සතරක ප්‍රමාණයේ මස් ගෙනත් දී
ඉතිරිය ඔබ ප්‍රයෝජන ගන්න” යැයි මූසික ධේනුව කියා සිටියා.
එයට එකඟ වු බෝධි සත්වයන්ට දිනකට එක් කහවනුවක් ගෙනත් දී රත්රන් සතරක වී ඇටයක දඩමස්
ලබා බොහෝ සතුටින් ඒ මුසික ධේනුව කල් යැව්වා. දිනක් ගොදුරු සොයා යන බළලෙක් මෙම මුසික
ධේනුව දැක අල්ලා ගත්තා.
“බළලාණෙනි, මා අතහැර මැනව”
“කොහොම අතහරින්නද? මා එන්නේ ගොදුරු සොයා ගෙන බොහෝ ව්ලාවකට පසුවයි ගොදුරක් ලෙස ඔබව
මට ලැබුණේ.”
“ මා අල්වා ගත්තේ කුමකට ද? ”
“ මස් කන්නට”
“ ඔබ කැමති එක දවසක මස් කන්න ද? හැමදාම මස් කන්නද?”
“සැමදාටම” යැයි බළලා කිව්වා.
“ එසේ නම් මා අතහරින්න. ඔබට මම හැමදාම මස් ලබා දෙන්නම්” යැයි පොරොන්දු පිට බළලාගෙන්
මුසික ධේනුව ගැළවුණා. එදින සිට සැමදාම තමා ලබාදෙන කහවනුවට වී ඇට සතරක ප්‍රමාණයක මස්
ලබා එයින් කොටසක් බළලාට ද දී ජීවත් වුණා. ඔය අතරේ තවත් බළලෙකුට මූසික ධේනුව
අසුවුණා. ඔහුටත් පෙර සේ ම කියා ගැල වී ගියා. මෙසේ බළලුන් සිවු දෙනෙකුට මස් ලබා දීමේ
පොරොන්දුවට ජීවිත දානය ලැබුවා. තමන්ට ලැබෙන මස් කොටස දැන් කොටස් 5 කට වෙන්කර එයින්
එක් කොටසක් ආහාරයට ගත් නිසා මූසික ධේනුව දුර්වල වුණා. බෝධිසත්වයෝ ඇය එසේ වීමට කාරණා
විමසා සිටියා. ධේනුවට සිදු වු මෙම අකරතැබ්බය බෝධි සත්වයන්හට දැන් වූවා. “මෙතෙක් මට
නොකීවේ” ඇයි දැයි අසා එයට පිළියමක් ලෙස දැවයෙන් කරන ලද කරඬුවක් කරවා එහි ඇතුළත
මූසික ධේනුවට ඉන්නට ඉඩ සලස්වා “මස් ඉල්වා එන බළලුන්ට පරිභව කරවයි” කීවා. මේ ආකාරයට
පළමු කොට බළළෙක් මස් ඉල්ලා පැමිණියා. එවිට “නුඹට මස් දෙන්නට මා කවුද?” යැයි කියමින්
බළලා කිපෙන අයුරින් මූසික ධේනුව පරිභව කළා. බළලා කේන්ති අරගෙන එක පාරටම කරඬුවට
පැන්නා. එයින් බළලාගේ පපුව පැළී ගියා.
මේ අයුරින් බළලුන් සතර දෙනාම මරණයට පත්වුණා. එතැන් පටන් මූසිකාව බෝධිසත්වයන් කෙරේ
පැහැදී දිනකට කහවනු දෙක බැගින් ලබා දුන්නා. මේ ආකාරයට තමාගේ සතළිස් කෙළක් ධනය බෝධි
සත්වයන්ටම දුන්නා. යැයි කියමින් බුදුරජාණන් වහන්සේ අතීත කතාව නිමවා වදාළා. “
මහණෙනි, බළලුන් සතර දෙනා මස් කෑමෙන් මුසිකාවට වු අලාභය මෙන්ම මේ කානා උපාසිකාවට ද
මහත් අලාභයක් වුණා.” “ඒ නිසා අද පටන් පවරා දුන් දනක් විනා නොපවරා දුන් දනක් ගෙට
ගොස් ඇරගැනීම අකැප” යැයි භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂා පදයක් පැනවූවා.
“මහණෙනි, එසමයෙහි බළලුන් සතර දෙනා මේ කාන මාතාවගේ නිවසට පැමිණි භික්ෂුන් සතර
දෙනාමයි.” මුසික ධේනුව නම් මේ කාන මාතා උපාසිකාවයි. ඒ සමයෙහි ගල්වඩුවා ව උපන්නේ
ලොව්තුරා බුදු වු මම්ම නොවේ දැයි පෙරාපර සන්ධි ගළපා මේ බබ්බු ජාතකය දේශනා කොට
වදාළා. |