[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ බෞද්ධ ස්තූප - 07 : අනූහය කෝටියක් රහතන් වහන්සේ මහා සෑය ඉදිවන පින් බිමට වඩිති

ලංකාවේ බෞද්ධ ස්තූප - 07 :

අනූහය කෝටියක් රහතන් වහන්සේ මහා සෑය ඉදිවන පින් බිමට වඩිති

ලක් බුදු සසුනෙහි පිනට ම පහළ වූ දුටුගැමුණු මහ රජතුමාගේ අවවාද පරිදි මහා ස්තූපය ඉදිවෙන භූමිය වෙත යන මඟ දෙපස මෙන් ම මහා සෑය පිහිටන බිම ද අලංකාර කරන ලෙස තම ඇමතිවරුන්වත් යොදවන ලදී. රජතුමාගෙන් ලැබුණු රාජ ආඥාවට අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රිය ගෞරවාදර ඇති ඔවුන් පැමිණ නොයෙක් ආකාරයෙන් අලංකාර කළහ.

නුවරට ඇතුල්වන සතර දොරටුවෙහි කරණවෑමියන් තබන ලද්දේ ය. බොහෝ සුදු වස්ත්‍ර තබන ලද්දේ ය. ප්‍රණීත වූ ආහාර පාන තබන ලද්දේ ය. මහා සෑය ඉදිවන ස්ථානයට පැමිණෙන්නා වූ මහජනයා හිස් රැවුල් බා, දිය නා මධුර වූ ආහාරපාන තම තමන්ට කැමැති පරිදි ගැනීමෙන් පසු සුවඳ මල් රැගෙන සෑය පිහිටන භූමියෙහි රැස් වූහ.

තම තමන් ලද තනතුරු අනුව නියමිත වූ වස්ත්‍රාභරණයන්ගෙන් සැරසුණු මැති ඇමැති සේනාවගේ ආරක්ෂාව ඇතිව වටිනා වස්ත්‍රාභරණයෙන් සැරසුණු සතළිස් දහසක් මිනිසුන් පිරිවරාගෙන ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තුර්ය නාදයෙන් ගිගුම් දෙවමින්, සක් දෙව් රජුගේ විලාශයෙන්, තැන නොතැන ගැන දන්නා විචක්ෂණ බුද්ධියෙන් යුතු දුටුගැමුණු මහ රජතුමා මහ ජනයා සතුටු කරමින් මහා සෑය පිහිටන භූමියට සම්ප්‍රාප්ත විය.

ඒ අවස්ථාවේ දී සිව්සැට බරණින් සැරසුණ සුන්දර නාටිකාංගනාවෝ දිව්‍ය කන්‍යාවන්ගේ සෝභා මතු කරවමින්, බුදුගුණ ගායනා කරමින් නැටුම් දක්වන්නට වූ හ.

ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබූ ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේ ද, මේ අසිරිමත් වූ පින්කමට ලොව නා නා දිසාවන්ගෙන් ලක් දෙරණට සතුටු සිතින් වැඩම කළ සේක.

රජගහ නුවර ඉන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේ අසූ දහසක් රහතන් වහන්සේලා පිරිවරා මේ පුණ්‍ය භූමියට වැඩි සේක. බරණැස ඉසිපතන මිගදායේ සිට ධම්මසේන රහතන් වහන්සේ දොළොස් දහසක් රහතන් වහන්සේලා සමඟ වැඩි සේක.

සැවැත් නුවර ජේතවනාරාමයේ සිට සැට දහසක් රහතන් වහන්සේලා සමග පියදස්සී මහ රහතන් වහන්සේ මේ පින්බිමට වැඩි සේක. රහතන් වහන්සේලා දහ අට දහසක් පිරිවරා විශාලා මහනුර මහ වනයේ කූටාගාර ශාලා විහාරයේ සිට බුද්ධරක්ඛිත රහතන් වහන්සේ වැඩි සේක. කොසැබෑ නුවර ඝෝෂිතාරාමයේ සිට ධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස් දහසක් රහතන් වහන්සේලා පිරිවරා මේ පුණ්‍ය භූමියට වැඩි සේක. සංඝරක්ඛිත මහ රහතන් වහන්සේ උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට යතිවරයන් වහන්සේලා හතළිස් දහසක් සමග වැඩම කළ සේක. පාඨලීපුත්‍ර අග නගරයෙහි අශෝකාරාමයේ සිට මිත්තිණ්ණ රහතන් වහන්සේ එක්ලක්ෂ සැට දහසක් රහතන් වහන්සේලා පිරිවරා පින් බිමට වැඩි සේක. උත්තිණ්ණ රහතන් වහන්සේ කාශ්මීර මණ්ඩලයේ සිට දෙලක්ෂ සැට දහසක් රහතන් වහන්සේලා පිරිවරා පින් බිමට වැඩි සේක. මහා නුවණැති මහාදේව රහතන් වහන්සේ පල්ලාභෝග ජනපදයේ සිට සාර ලක්ෂ හැට දහසක් රහතන් වහන්සේලා පිරිවරා මේ උතුම් පින්බිමට වැඩි සේක. මහා ධම්මරක්ඛිත මහ රහතන් වහන්සේ යෝනක දේශයේ අලසන්දා නගරයේ සිට තිස් දහසක් රහතන් වහන්සේලා පිරිවරා පැමිණි සේක. වින්ධ්‍යා වන පියසේ වත්තනීය සේනාසනයේ සිට උත්තර මහ රහතන් වහන්සේ හැට දහසක් රහතන් වහන්සේලා පිරිවරා මේ පින් බිමට වැඩි සේක.

චිත්තගුත්ත රහතන් වහන්සේ බුද්ධගා බෝධි මණ්ඩල වජිරාසන විහාරයේ සිට තිස් දහසක් රහතන් වහන්සේලා සමඟ වැඩි සේක. චන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේ අසූ දහසක් රහතන් වහන්සේලා සමග වනවාස ප්‍රදේශයේ සිට මේ පුණ්‍ය භූමියට වැඩි සේක. දකුණු දඹදිව කෛලාස මහා විහාරයේ සිට සූරියගුප්ත රහතන් වහන්සේ සමඟ අනූහය දහසක් රහතන් වහන්සේලා වැඩි සේක. මේ මහා පුණ්‍ය පින්කම උදෙසා ලංකාද්වීපයෙන් වැඩම කොට වදාළ රහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ප්‍රමාණය මෙපමණ යැයි ගණනය කළ නොහැකි යැයි ඉතිහාසයේ සඳහන් වේ.

මේ ආකාරයෙන් මහා සෑරදුන් වහන්සේට මංගල ගඩොල් පිහිටුවීමේ උත්සවයට අනූහය කෝටියක් පමණ වූ රහතන් වහන්සේලාත්, භික්ෂූන් වහන්සේලාත් මහා සෑය පිහිටුවන භූමිය වටකරගෙන රජතුමාට මැද සිටින්නට ඉඩකඩ තබා වැඩ සිටි සේක. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක මහ සග රුවන දුටු, දුටුගැමුණු මහ රජතුමා ශ්‍රද්ධාවෙන් මහත් සතුටට පත් විය. සතුටු සිතින් යුතුව උන්වහන්සේලාට පසඟ පිහිටුවා වන්දනා කර මහා සෑය පිහිටුවන භූමියට සුවඳ මල් පූජා කර, තුන් වටයක් පැදකුණු කොට ඒ මැද මංගල ලකුණ සහිත පුන් කළස් පිහිටුවා තිබූ ස්ථානයට පිවිසියේ ය.

මහා සෑය පිහිටුවන භූමියේ මැද පිහිටුවන ලද රන් කණුවට බඳීන ලද රිදියෙන් නිම වූ සීමා දණ්ඩගෙන මහා සෑය පිහිටුවන සීමාව සලකුණු කරන ලෙස, ලෝක සත්වයාගේ යහපතට හේතුවන මහ සෑය කරවීමේ සිතින් යුතු මව්පිය දෙපාර්ශ්වයෙන් ම පිරිසුදු, මව්පියන් ජීවමානව සිටින, මනාකොට සැරසුණු ඇමැතිවරයෙකුට පවරණ ලද්දේ ය.

එම අවස්ථාවේ දී අනාගතය දකිනා මහා සෘද්ධිමත් සිද්ධාර්ථ නම් මහා රහතන් වහන්සේ එලෙස ඉතා විශාල ලෙස සීමාව ලකුණු කරමින් සිටි රජතුමා වළක්වන ලදහ. ඒ අනාගතයේ සිදුවිය හැකි කරුණු දෙකක් හේතුකොට ගෙන ය. එනම් මේ සා විශාල වට ප්‍රමාණයකින් යුතු සෑය සාදා නිම වන විට රජතුමා මරණයට පත්වේවි. ඒ වගේ ම විශාල වට ප්‍රමාණයකින් යුතු මහා සෑයක් ඉදිකිරීමෙන් අනාගතයේ දී පිළිසකර කටයුතු කිරීමට ද ඉතා දුෂ්කර කටයුත්තක් වේවි, යන්න හේතුවෙන් සිද්ධාර්ථ මහ රහතන් වහන්සේ රජතුමාට පෙන්වා වදාරණ ලදහ. සිද්ධාර්ථ මහ රහතන් වහන්සේ කෙරෙහි ඇති වූ අප්‍රමාණ ගෞරව භක්තිය නිසාත්, සංඝයා වහන්සේගේ අනුමැතිය නිසාත් රජතුමා අති විශාල වූ මහා සෑයක් කරවන්නට කැමැත්ත තිබුණත්, උන්වහන්සේගේ උපදෙස් පිළිගත්හ. එම උපදෙස්වලට අනුව රජතුමා මධ්‍යම වට ප්‍රමාණයෙන් යුතු මහ සෑයට මුල් ගල් තැබීමට සලකණු කළහ.

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]