[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නුවණට සරිලන ගුණයෙන් උතුම් රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නා හිමි

නුවණට සරිලන ගුණයෙන් උතුම් රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නා හිමි

උන් වහන්සේ ගේ සාධු චරිතය ලොකු කුඩා සැවොම විමසා, කියවා, සිතා, ලියා ආදර්ශයට ගත යුතු ඉතා දුර්ලභ උදාර චරිතයකි.

ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් ලක්දිව අන්ත පරිහාණිකර තත්ත්වයකට පත්ව තිබූ අවධියක් ලෙස 19 වන සියවසේ මුල් භාගය හඳුන්වාදිය හැකි ය. මෙම තත්ත්වයෙන් අප ධර්ම ද්වීපය ආරක්‍ෂා කර ගැනීමට බෝධි සත්ත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ ජාතියේ පිනින් පහළ වූහ.

උන් වහන්සේ ආරම්භ කළ අත්‍යුදාර ශාසනික මෙහෙවර අඛණ්ඩ ව පවත්වාගෙන යාමට 19 වන සියවසේ අග භාගය වනවිට පහළ වූ අග්‍රගණ්‍ය මහා යතිවරයන් වහන්සේලා බොහෝ සිටිය හ. සංඝරාජෝත්තමයාණන් වහන්සේ ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් උන් වහන්සේලා අතර කීර්තිමත් මහා යතිවරයෙකු ලෙස පණ්ඩිතාචාර්ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දිය හැකි ය.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ විසූ රයිගම විදානෙලාගේ දොන් කොර්නේලිස් අප්පුහාමි හා අඹේපිටියගේ දෝන අද්‍රියානා හාමිනේ යන සැදැහැබර වාසනාවන්ත මව්පියන්ගේ පුත්‍රයෙකු ලෙස වර්ෂ 1828 මැයි මස 28 වැනිදා රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නා හිමියෝ ජන්මලාභය ලැබූ හ. වර්ෂ 1837 දී රත්මලාන පුරාණ විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත් වූයේ අඬුපේ සෝණුත්තර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ආචාර්යත්වයෙනි. පසුව පණ්ඩිතාචාර්ය මලිගස්පේ ශ්‍රී ධර්මකීර්ති, පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ යන බහුශ්‍රැත ධර්ම විනයධර මහ තෙරවරුන් වහන්සේලා වෙතින් ධම්මාලෝක හිමියෝ ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලැබූ හ. වර්ෂ 1860 දී මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී අධි සීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර, එහි දී ඉදිරිපත් කළ අර්ථවත් පාලි නිබන්ධනය කෙරෙහි සංඝ සභාවේ බලවත් ප්‍රසාදය පළ කෙරිණි.

උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභයෙන් පසු උන්වහන්සේ රත්මලාන පුරාණ විහාරස්ථානයේ වැඩ සිටිමින් එහි ප්‍රාචීන ශාස්ත්‍ර ශාලාවක් ඇති කළහ. එහි දී දිවයිනේ නන් දෙසින් පැමිණි ගිහි පැවිදි ශිෂ්‍යයන්ට තමා උගත් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා දුන් හ. උන් වහන්සේ සිදු කළ ලෝක ශාසනික සේවාවෙහි ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ එතැන් සිටයි. චිරරාත්‍රඥ මහතෙර නමක් ලෙස උන්වහන්සේ පිළිබඳ වූ කීර්තිරාවය රටපුරා පැතිරෙන්නට විය. ඒ අතර ධම්මාලෝක නා හිමි පිළිබඳ වෙසෙසින් පැහැදුණු කැලණිය ප්‍රදේශයේ ධර්ම ශාස්ත්‍රෝන්නතිකාමී සැදැහැවත් බෞද්ධ පිරිසක් වර්ෂ 1875 දී වස් විසීම සඳහා කැලණියේ දලුගමට වැඩම කරන ලෙස ආරාධනා කරන ලදුව උන් වහන්සේ එහි වැඩම වූ හ. වස් වසන අතරතුර සැදැහැවතුන් ගේ බලවත් ඉල්ලීම පරිදි ප්‍රදේශයට අඩුවක් ව තිබූ විද්‍යාස්ථානයක් ආරම්භ කළහ. එය නමින් ”විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව” විය. එහි සමාරම්භක දිනය ලෙස සනිටුහන් වන්නේ වර්ෂ 1875 නොවැම්බර් 01 වන දිනය යි. මෙයින් උන් වහන්සේ ගේ ලෝක ශාසන සංග්‍රහය මල්ඵල ගැන්විණ.

මෙය උන්වහන්සේ ගේ ම වචනයෙන් කිවහොත් ශාස්ත්‍ර ශාලාවක් හා ධර්ම ශාලාවක් තැනීම යි. ශාස්ත්‍ර ශාලාව නම් පූර්වෝක්ත “විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව” නොහොත් විද්‍යාලංකාර පිරිවෙන යි. ධර්ම ශාලාව නම් ප්‍රාචීන ප්‍රතිචීන භාෂා පිළිබඳ මෙන් ම නොයෙක් විෂයයන් පිළිබඳ දැනුමින් පාරප්‍රාප්ත රත්මලානේ ධම්මාරාම තෙරුන් වහන්සේ වැනි උගත් යතිවරයෙකු බිහි කිරීම යි.

කෙතෙක් කාර්ය බහුල ජීවන රටාවක් ගෙන ගිය ද ශ්‍රී ධම්මාලෝක නා හිමි ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණය ද අත් නොහළේ ය. රාජ චරිතය, විනය කතිකාවත, සත්‍ය විලාසිනී, සංස්කෘත වරනැගිල්ල ආදී ග්‍රන්ථ රැසක් රචනා කළ උන් වහන්සේ සිංහලයේ අක්ෂර වින්‍යාසය, න,ණ,ල,ළ ප්‍රයෝගය, පර්යේෂණ මාර්ගය, ග්‍රන්ථ සංශෝධන ග්‍රන්ථ සංස්කරණවිධි පිළිබඳ පළ කළ අදහස් එදත් අදත් වියත් පැසසුම් ලබති.

ශ්‍රී ධර්මාලෝක නාහිමි සිදු කළ අනුපමේය සේවාව පෑලියගොඩ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමයි. එහිම සංවර්ධිත අවස්ථාවක් සනිටුහන් කරමින් තත් විශ්ව විද්‍යාලය කැලණිය දළුගම ප්‍රදේශයට ගෙන යන ලදී. මුල දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය වූ එය පසුව කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් විය. මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී ධම්මාලෝක නා හිමියන් තුළ පැවති උදාරාධ්‍යාශය නම් පරාධීනත්වයෙන් වැනසී ගිය ජාතික අධ්‍යාපනය, භාෂාව, ධර්ම ශාස්ත්‍ර හා ගිහි - පැවිදි සබැඳීයාව ශක්තිමත් පදනමක් ඔස්සේ ගොඩනැගීමයි. වර්ෂ 1875 දී රත්මලානේ ශ්‍රී ධර්මාලෝක බෞද්ධ පාඨශාලාව ආරම්භ කිරීම තුළින් උන් වහන්සේ බලාපොරොත්තු වූයේ මිෂනාරි අධ්‍යාපනයෙන් බෞද්ධ ළමා පරපුරත්, බෞද්ධ ජනතාවත්, සුරක්ෂිත කිරීම යි.

ශ්‍රී ධම්මාලෝක නා හිමියන්ට ගෞරවයක් ලෙස කැලණිය වරාගොඩ විද්‍යාලය “ශ්‍රී ධම්මාලෝක විද්‍යාලය” ලෙසත්, එහිම පවත්වාගෙන යන කැලණිපුර බෞද්ධ බල මණ්ඩලීය දහම් පාසල “ශ්‍රී ධම්මාලෝක ධර්ම විද්‍යාලය” ලෙසත් හඳුන්වයි.

අව්‍යාජ වූ ගැඹුරු පාණ්ඩිත්‍යයෙන් හෙබි ශ්‍රී ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍ර චරිතය ගුණ සම්පත්තියෙත් ද අනූන වූ අයුරු මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියෝ මෙසේ විවරණය කරති.

ලෝකයෙහි ඇතැමෙක් විද්‍යාධරයෝ ය, බහුශ්‍රැතයෝ ය. එහෙත් ඔවුහු ගුණවත්හු නොවෙති.

තවත් සමහරෙක් ගුණ වෘද්ධයෝ ය. ප්‍රතිපත්තිගරුකයෝ ය. එහෙත් ඔවුහු නැණවත්හු නොවෙති. මෙසෙයින් ගුණයත්, නැණයත්, එක්තැන් වනුයේ කලාතුරෙකිනි. ගුණය නුවණෙහි ඵලය ලෙස සැලකිය හැකි වුව ද උගතුන් ගුණවතුන් වනු විරල ය. ගුණවතුන් උගතුන් වනු ද කලාතුරෙකිනි. එසේ කලට ගුණයට සරිලන නුවණත්, නුවණට සරිලන ගුණයත් එක්තැන් වූ උතුමන් විරලවීම කවර ආශ්චර්යයෙක් ද? එසේ ද වුවත් රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහාස්ථවිරපාදයෝ ගුණවෘද්ධයෙකි. එසේ ම ඥාන වෘද්ධයෙකි.

ධර්ම ශාස්ත්‍රෝද්දීපනය වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළ රත්මලානේ ශ්‍රී ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපතින් සැට වස් පිරෙත් ම ගිලන් බවට පත්ව වර්ෂ 1887 අගෝස්තු 15 වන දින රාත්‍රී අපවත් වී වදාළ සේක.

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]