[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමේ අගයන ශ්‍රමය වටිනා සම්පතකි

බුදු දහමේ අගයන ශ්‍රමය වටිනා සම්පතකි

යමකු වීර්යය අත්හැර උකටලී ව මෙලොව අවුරුදු සියයක් ජීවත් වුව ද ඉන් පලක් නොවන බවත්, යමෙකු වීර්යවන්ත ව ලොව එක් දවසක් ජීවත් වන්නේ ද එය වඩාත් ශ්‍රේෂ්ඨ වන බවත් ඉහත දේශනාව මගින් පෙන්වා දී ඇත. ඒ අනුව දෙලොව දියුණුව සලසාලනු ලබන පුද්ගල ශ්‍රමය නිවැරදි දෑ සඳහාම යොදවා ශ්‍රමයේ ඵලදායිතාව උපරිමයෙන් නෙළා ගැනීමට අපි සැම උත්සාහවන්ත වෙමු.

මෙලොව ජීවත්වනු ලබන පුද්ගලයෙකුගේ ලෞකික දියුණුව සලසා ගැනීම පිණිස තමාගේ කායික ශ්‍රමය නිවැරදි ව වැය කළ යුතු ආකාරය ව්‍යග්ග පජ්ජ සූත්‍රය තුළදී බුදුරදුන් කරුණුූ පැහැදිලි කර දී ඇත.

උත්සාහයෙන්, වීර්යෙන් සිය බාහු බල මෙහෙයවා, දහඩිය මුගුරු වගුරුවා , දැහැමෙන් සෙමෙන් නිවැරදි ධනයක් ඉපයීම පිණිස තම ශ්‍රමය වැය කළ යුතු බව උගන්වා ඇත.

අංගුත්තර නිකාය තුළින්ද කායික ශ්‍රම විභජනය වඩාත් ඵලදායි වන අන්දමින් වැය කළ යුතු අන්දම එහි සඳහන් කරුණු අටක් මගින් පෙන්වාදී ඇත.

ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන සිතා දැන් කළ යුතු දේ දැන් කරන්න

වැඩක් කර අවසන් වූ විට එම වැඩ කරන කාලය තුළදී අතපසු වූ යමක් ඇත්දැයි සිතා එයද ඉටු කරන්න

ගමනක් යාමට ඇති විට කළ යුතුව ඇති වැඩ අවසන් කර යෑමට උත්සාහ කරන්න.

ගමනක් ගොස් ආපසු ආවිට ඒ කාලය තුළදී මඟ හැරුණු කටයුතු ඉටු කරන්න ප්‍රමාණවත් වන ආහාරයක් නොලද විට තවමත් මාගේ කය ශක්තිමත්ය දුබල වීමට පෙර වැඩ කටයුතු අවසන් කිරීමට උත්සාහ කරන්න ප්‍රමාණවත් වන ආහාරයක් ගත් කල්හි දැන් මාගේ ශරීරය ශක්තිමත් යැයි සිතා වැඩ කරන්න මද ගිලන් බවක් දැනෙන විට රෝගය උත්සන්න වීමට පෙර කළ යුතු වැඩ නිමා කිරීමට උත්සාහ කරන්න රෝගයකින් සුවය ලද පසු රෝගී ව සිටි කාලයෙහි අතපසු වූ වැඩ සොයා බලා ඉටු කිරීමට උත්සාහ කරන්න යනුවෙන් කායික ශ්‍රමයෙන් උපරිම ඵල නෙළා ගැනීමට අවශ්‍ය උපදෙස් එමගින් ලබා දී ඇත. ඒවා සාර්ථක ලෞකික දිවියක් ගෙවන්නෙකු සඳහා ඉවහල් වන වැදගත් උපදේශයෝ ය.

කායික ශ්‍රමය පුද්ගල යහපත පිණිස මෙන්ම, සමාජ යහපත පිණිස ද වඩාත් නිවැරදිව යෙදවිය යුතු වන්නේ ය. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලැබූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන “සම්මා වායාමය” මගින් ද උගන්වා ඇත. එහි දැක්වෙන සතර “සම්‍යග් ප්‍රධාන වීර්ය” මගින් ද උගන්වා ඇත්තේ ශ්‍රම විභජනය උභයාර්ථ සාධනය පිණිස ම ඉවහල් වන්නක් වන බවයි.

උපන් කුසල් දියුණු කර ගැනීමට උත්සාහ කිරීම, නූපන් කුසල් උපදවා ගැනීමට උත්සාහ කිරීම, උපන් අකුසල් නැති කර ගැනීමට උත්සාහ කිරීම හා නූපන් අකුසල් නූපදවීමට උත්සාහ කිරීම ය, වශයෙන් එම කරුණු පෙන්වා දිය හැකි ය.

නූතන සමාජය තුළ වෙසෙන බොහෝ දෙනෙකු තමාගේ අගනා කායික ශ්‍රමය අනර්ථය පිණිස ම යොදවන බවක් දැකිය හැකි ය. එමගින් ලෞකික දිවිය මෙන්ම ආධ්‍යාත්මික දිවි පෙවෙත ද නිසරු එකක් බවට පත් කරනු ලැබේ.

සිඟාලෝවාද සූත්‍ර දේශනාව මගින් ද ශ්‍රමය නිවැරදි ව නොයොදන තැනැත්තාගේ ස්වභාවය පැහැදිලි කොට දී ඇත. එහි දැක්වෙන පරිදි “ථීනමිද්ධ” නීවරණ ධර්මය පවතින පුද්ගලයාගේ ස්වභාවය මනා ලෙස විග්‍රහ කොට දී ඇත. “ථීන” යනු සිතෙහි ඇති වන්නා වූ උදාසීන බවයි. “මිද්ධ” යනු සිතුවිලි තුළ ඇතිවන්නා වූ උදාසීන බවයි එවැනි ලක්ෂණයන්ගෙන් යුතු වූ තැනැත්තා නිතර ඈනුම් ඇරීම, නිතර ආහාර අනුභව කිරීම, නිරත නිදාගැනීම ආදියෙහි නිරතවන බව ද පෙන්වා දී ඇත. එමෙන් ම කායික ශ්‍රමය වැය නොකොට උදාසීන ව ක්‍රියා කරනු ලබන පුද්ගලයෙකු හඳුනා ගත හැකි දෝෂ හයක් ද එමගින් දේශනා කොට ඇත.

දැන් උදෑසන වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් සවස් වැඩි යි සිතා වැඩ කල් දැමීම, දැන් සීතල වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් උෂ්ණ වැඩියැයි සිතා වැඩ කල් දැමීම, දැන් කුසගිනි වැඩියැයි සිතා වැඩ කල් දැමීම, දැන් කුස පිරුණ වැඩි යැයි සිතා වැඩ කල් දැමීම.

යනු එම දෝෂයෝ ය. මෙවැනි ලක්ෂණයන්ගෙන් යුතු පුද්ගලයන් සමාජයේ බහුල ව දක්නට ලැබෙන අතර ඔවුන් දියුණුවක් නොලබන බවත්, දෙලොව පරිහානිය ඇති කර ගන්නා බවද දැකිය හැක.

පුද්ගල ශ්‍රමය සමාජ යහපත පිණිස ම යොදවන්නා නිරතුරුවම කරන කාර්යයෙහි දක්ෂයෙකු විය යුතු වේ අනලස් අයෙකු විය යුතු වේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද විය යුතු වේ

එමගින් තම අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට ද හැකියාව උදාවනු ඇත. පුද්ගලයෙකු වැය කරනු ලබන, ශ්‍රමය ලෞකික දියුණුව නැතහොත් මෙලොව අභිවෘද්ධිය සලසා ගත හැකි පරිදි යෙදවිය යුතු බවත්, එමෙන් ම ආධ්‍යාත්මික දියුණුව සලසා ගත හැකි පරිදි තම මානසික ශ්‍රමය ද නිවැරදිව යෙදවිය යුතු වේ.

මානසික ශ්‍රමය වඩාත් නිවැරදිව යෙදවීම මගින් කෙලෙස් ධර්මයන් ද නැතිකොට නිවන් අවබෝධ කර ගත හැකි වන බව දේශනා කොට ඇත. එහෙත් බුද්ධ කාලයේ විසූ ඇතැම් දෙනා මානසික ශ්‍රමය නිවැරදිව වැය නොකොට උකටලී ව ක්‍රියා කර ඇති අන්දම ඇතැම් චරිත මගින් ද ප්‍රකට කෙරේ. යමෙකු මානසික ශ්‍රමය වැය කිරීමේ දී එය උපරිමයටත් වඩා වැය කළහොත් එමගින් මානසික නොසන්සුන් බවක් ද ඇති කෙරේ. ඒ බව චක්ඛුපාල තෙරුන්ගේ කතා පුවත සාක්ෂි දරයි.

බුදු දහමෙහි අගයනු ලබන ශ්‍රමය අගනා සම්පතක් වන්නේය. එය වඩාත් නිවැරදිව කළමනාකරණය කරගත යුතු වේ. ආදර්ශමත් බුදු සිරිත තම ශ්‍රමය වඩාත් ඵලදායි ලෙස යෙද වූ අන්දම දවසේ පැය 22 ක් ම දෙවි මිනිසන්ගේ හිත සුව පිණිස ශ්‍රමය කැප කිරීමෙන් ම පසක් කෙරේ.

වර්තමාන සමාජය තුළ බෙහෙවින් ම පුද්ගල ශ්‍රමය වැය කෙරෙනුයේ ස්වාර්ථය හෙවත් ආත්මාර්ථයම පාදක කොට ගෙන ය. එහෙත් එය පරාර්ථය හෙවත් අන්‍යයාගේ යහපත පිණිස ද යෙදවිය යුත්තක් බව බුද්ධ දේශනා මගින් ද ප්‍රකට කොට ඇත. මහාවග්ග පාලියේ දැක්වෙන පරිදි

“මා ඒකේන ද්වේ අගමිත්තං” යන දේශනාවෙන් සනාථ කරනුයේ ද ශ්‍රමයෙන් උපරිම ඵල නෙළා ගන්නා ලෙසත් එය සමස්තය වෙනුවෙන් ම වැය කළ යුතු එකක් වන බවත් ය.

“අප්පමාදේන සම්පා දේථ”

“අප්පමාදෝ අමත පදං”

යනාදි බුද්ධ දේශනා පාඨ මගින්ද පුද්ගල ශ්‍රමයෙහි අගය පහදා දී ඇත.

යමෙකු වීර්ය අත්හැර උකටලී ව මෙලොව අවුරුදු සියයක් ජීවත් වුවද, ඉන් ඵලක් නොවන බවත් යමෙකු වීර්යවන්ත ව ලොව එක් දවසක් ජීවත් වන්නේ ද එය වඩාත් ශ්‍රේෂ්ඨ වන බව ඉහත දේශනාව මගින් පෙන්වා දී ඇත. ඒ අනුව දෙලොව දියුණුව සලසාලනු ලබන පුද්ගල ශ්‍රමය නිවැරදි දෑ සඳහාම යොදවා ශ්‍රමයේත් ඵලදායිතාව උපරිමයෙන් නෙළා ගැනීමට අපි සැම උත්සාහවන්ත වෙමු.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]