[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ බෞද්ධ ස්තූප 06: ස්වර්ණමාලි දෙවඟනගේ ඉල්ලීම

ලංකාවේ බෞද්ධ ස්තූප 06:

ස්වර්ණමාලි දෙවඟනගේ ඉල්ලීම

අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තැන ආචාරවිටි නම් ග්‍රාමයේ නොයෙක් ප්‍රමාණයේ රන්බිජු පහළ වී තිබුණි. ඒ රන්බිජු අතර වියතක් පමණ, අඟලක් ප්‍රමාණ වූ ස්වර්ණ බීජයෝ අති විශාල බිම් කඩෙක පැතිර තිබුණි.

ඒ සියලු ස්වර්ණ බීජයන් මහා ස්තූපය සඳහා රජතුමා විසින් වෙන්කරන ලද්දේ ය. අනුරපුරෙන් නැගෙනහිර දිශාවේ සත් යොදුනක් ගිය තැන මහවැලි ගඟෙන් එතෙර ව තඹවිටි නම් ගමෙන් මහා සෑය උදෙසා තඹ සහ යකඩ ලැබුණි. අනුරපුරයට ඊසාන දිගින් යොදුන් සතරක් ගිය තැන සමන් වැව නම් විය. එහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය.

අනුරපුරයෙන් දකුණු පසට අට යොදුනක් ගිය තැන අම්බට්ඨකෝල නම් ජනපදයේ එක්තරා ගල ්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙසට පස් යොදුනක් ගිය තැන උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් මෙන් ම, ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද, පබළු ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය. අනුරපුරයෙන් උතුරු දිශාවට සත් යොදුනක් පිය මැන්න තැන පෙලවැව් නම් ජනපදයකි. එම වැවට වැටෙන ඳීය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල දියබෙරලිය මල් පැහැ එනම් තද නිල් පාටින් යුතු අතිසුන්දර වූ නිල් මැණික් සතරක් උපන්නේ ය. ඒ මැණික් දුටු සුනඛ වැද්දෙක් රජතුමා බැහැ දැක තමා දුටු මහා මැණික් සතර පිළිබඳ ව දැනුම් දුන්නේ ය. මේ සියලු වස්තූන් පිළිබඳ ව තොරතුරු එක් දිනක් ඇතුළත ම දැන ගන්නට ලැබුණි. ඒ තොරතුරු රැගෙන ආ සියලු දෙනාට ම දුටුගැමුණු රජතුමා ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියලු වස්තුව ම රුවන්වැලි මහා සෑය උදෙසා ම දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම ය.

මේ ලෙසින් මහා ස්තූපය කරවන්නට සියලු වස්තුව සම්පූර්ණ වූ කල,වෙසක් පුන් පොහෝ දවසේ වීසා නැකතේ දී මහා සෑයේ කටයුතු ආරම්භ කරන ලද්දේ ය. එහි දී මහා සෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව් දුවක්, රහතන් වහන්සේලා මුණ ගැසී ඇයගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නො කරන ලෙස ඉල්ලා සිටියා ය. රහතන් වහන්සේලා එම දෙවඟනට මහා ස්තූපයේ ආනුභාව පිළිබඳ ව පවසා වෙන විමානයකට යන ලෙස සුදුසු රුකක් පෙන්වා දුන්හ.

ස්වර්ණමාලී දෙව්දුව රහතන් වහන්සේලාගෙන් තමා ගේ නාමයෙන් මහා සෑය බඳීනා ලෙස ඉල්ලා සිටිමින්, රහතන් වහන්සේලාගේ ආයාචනයට සතුටු වී රන් තෙලඹු ගසින්ඉවත් ව වෙනත් විමානයකට යන්නට කැමැත්ත පළ කර සිටියා ය. ඇයගේ ඉල්ලීමට සවන්දුන් රහතන් වහන්සේලා 'ස්වර්ණමාලී' යන නාමය සහිත ව මහා ස්තූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමාට දැනුම් දුන්නාහු ය.

මහා සෑය ස්ථාපනය කරන භූමියෙහි සත් රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය. විචක්ෂණ නුවණ ඇති මහා ප්‍රඥාවන්ත වූ දුටුගැමුණු මහ රජතුමා යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා, ඒවා කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් අනතුරු ව ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීමට ආකාශ ගංගාව ගලා වැටෙනා කල්හි නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි, සියුම් සුවඳ මැටි ඇති, නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ සියුම් මැටි සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑය පිහිටුවන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවන ලදී.

එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසුදු වූ කරගල් ද, ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණයක් ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් එළන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය ද සමකොට තලවා ඒ මත සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන එනු ලැබූ පළිඟු මැණික් ගල් අතුරනු ලදහ. එහි ද සියලු සිදුරු වැසෙන්නට නවනීත මැටි අතුරන ලද්දේ ය.

ඉන් අනතුරුව රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. ඒ මත අඟල් අටක් පමණ ඝනකම් වූ ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඉන් අනතුරුව ඒ ලෝහ තහඩුව මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරියල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් හතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. මේ ආකාරයෙන් අපගේ දුටුගැමුණු මහ රජතුමා ඉතා පහන් සිතින් යුතුව මහා සෑය පිහිටුවන ස්ථානයේ කළ යුතු මූලික කටයුතු සිදුකළ සේක.

මේ ලෙසින් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටි අපමණ ශ්‍රද්ධාවෙන් යුතු ව අප ගේ දුටුගැමුණු මහ රජතුමා ඒ රිදී තහඩුව මත ගොඩනැගෙන මහ සෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා විහාරයේ බෙර හසුරුවා මහා සංඝරත්නය රැස් කරවා මෙසේ ආරාධනා කර සිටියේ ය.

“පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා මහා සෑය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදාවන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. ආදර බැතියෙන් යුතුව පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වා‘යි, භික්ෂු සංඝයා වහන්සේට ඇරයුම් කළේය. ඉන් අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හට ද “පින්වත් ජනතාවනි, හෙට දිනයේ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සමාදන් ව සුවඳ මල් ආදිය ගෙන මහ සෑය පිහිටුවන පුණ්‍ය භූමිය වෙත පැමිණෙත්වා“ යැයි ආරාධනා කර සිටියේ ය. එලෙස ම ඇමතිවරුන්ද මහා සෑ භූමිය සැරසීමේ කටයුතු කරවන්නට කියා යෙදවීය. රජතුමාගෙන් ලැබුණු ආඥාවට අනුව, අප තථාගත බුදුරජාණන් වහ්නසේ කෙරෙහි ප්‍රිය ගෞරවාදර ඇති ඔවුහු පැමිණ නොයෙක් ආකාරයෙන් මහා සෑය පිහිටන බිම අලංකාර කළහ.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]