දුටුගැමුණු රජතුමා - 03:
රට බේරා ගැනීමට දේවි කුමරිය මුහුදට බිලි වෙයි
සේවිකාවන් විසින් කුමරිය ඔරුවෙන් බස්සවා කැඳවාගෙන යන ලදී. ඉනික්බිතිව සුවඳ පැනින්
නහවා වටිනා වස්ත්‍රාභරණයෙන් සරසා අභිෂේක මණ්ඩපය වෙත ගෙන යන ලදී. දේවී කුමරිය
දෙවඟනක් බඳු රූප ශ්‍රීයෙන් බැබළිණි. රජතුමා බොහෝ සතුටට පත් විය. පුරෝහිත බමුණන්
විසින් දේවි කුමරිය මාගම රජුගේ අග මෙහෙසිය ලෙස අභිෂේක ගන්වන ලදී.
බමුණු ආචාර්යවරු ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට කිහිපවරක් උත්සාහ කළ ද එය අසාර්ථක
විය. ඔවුන් ගේ මුවට වචන නොනැගිණි. කතාකරගත නොහැකි විය. “ඔබේ තීරණය වන්නේ මා කළ වරදට
මගේ ජීවිතය පුද කළ යුතු බව නම් මා ඊට කැමැත්තෙමි. ඒ සඳහා මට අවස්ථාව ලබා දෙන්න.”
රජතුමා පැවස ීය.
නමුත් පුරෝහිතවරුන් ගේ නිමිති පාඨ අනුව තීරණය වූවේ නිර්දෝෂී රහත් තෙර නමක් උණු
තෙල් කටාරමක බහා වධ දී ඝාතනය කොට මුහුදට දැමීම නිසා මුහුදු දේවතාවුන් කෝපයට පත්ව
රජුත්, රටත් විනාශ කිරීමට ස්වභාව ධර්මය විසින් ලබාදුන් අණ කිරීමක් බවයි. තව ද මේ
විපතින් රට බේරා ගැනීමට නම් කන්‍යා කුමරියක් මුහුදට බිලි කළ යුතු බවත් පැවසී ය.
රජු ඊට එකඟ වුවත් එවැනි කන්‍යා කුමරියක් මේ මොහොතේ සොයා ගන්නේ කෙසේද? යන්න ඊළ ඟ
ගැටලුව විය. රාජ සභාවේ සිටි පිරිස විවිධ යෝජනා ඉදිරිපත් කළහ. ඒ මොහොතේ ඉදිරියට
පැමිණි රජතුමාගේ දියණිය වන “දේවී” කුමරිය “ඔබතුමා අතින් සිදු වූ වරදට මුහුදට බිලි
විය යුත්තේ අන් කිසිදු තරුණියක නොව ඔබගේ දියණිය වන මේ දේවි කුමරියයි. තවදුරටත්
මුහුද ගොඩ ගලමින් ගම් බිම් යට කරන්නට ඉඩ නොතබා මේ විපතින් රට බේරා ගැනීමට මා හට
අවස්ථාව ලබා දෙන්නැ’යි ආයාචනය කරමින් පිය රජු දෙපා මුල වැඳ වැටුණා ය.
“දේවි” කුමරියගේ අප්‍රතිහත ධෛර්යය සහ නිර්භීත භාවය පිළිබඳ සියල්ලෝ ම පුදුමයට
පත්වූහ. ඇමැතිවරු සහ ආරක්ෂක නිලධාරින් ඇමතූ කුමරිය මාලිගාවේ ආරක්ෂක ඔරුව සූදානම්
කරන ලෙසත්, එය මුහුදු වෙරළ වෙත ගෙනගොස් තමාට එහි යාමට සූදානම් කරන ලෙසත් දැන්වී ය.
දියණියගේ වදන් ඇසු රජතුමා බොහෝ සේ කම්පාවට පත්විය. තමාගේ ප්‍රාණ සමාන දියණිය මුහුදට
බිලි දෙන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කළේ ය. පිය රජතුමා ගේ ශෝකී වත දුටු දේවී කුමරිය
ශෝක නොවන ලෙස ඇයැද සිටියා ය. තමා බිල්ලක් වී රටත් , ජනතාවත්, පියාණනුත් බේරා ගැනීම
සඳහා මේ යන ගමනට ආශිර්වාද කරන ලෙස ද ඉල්ලා සිටියා ය. කුමරියගේ මේ ඉල්ලීමත් සමඟ ම
මුළු රාජ සභාවම තුෂ්ණිම්භූත ව කුමරිය දෙස බලා සිටියහ.
රට බේරා දෙන ලෙසට දෙවියන් යදිමින් සිටි පූජකවරු මුහුදු දේවතාවුන් ගේ ඉල්ලීම ඉටු
කිරීමට වෙරළට පැමිණෙන දේවී කුමරියට ආශිර්වාද කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
රජතුමා ද ආරක්ෂක සෙනෙවිවරු සමඟ මුහුදු වෙරළට යන විට එහි එකම හිස් ගොඩකි. එහි ඉතා
සුන්දර ලෙස සරසන ලද ඔරුවක බඳෙහි “කැලණිතිස්ස රජතුමාගේ දියණියයි” යනුවෙන් ලියා
තිබිණි. එහි සුව පහසු යහනක් තනවා කුමරියගේ ආහාරපාන, ඇඳුම් පැළඳුම් තැන්පත් කොට
තිබිණි. මුහුදු වෙරළට පැමිණි කුමරිය පිය රජතුමා වෙත ගොස් දෙපා අල්ලා වැඳ ආශිර්වාද
ලබා ගත්තා ය. සියලු දෙනාට ම දෑත් ඔසවා ආචාර කළ කුමරිය ඔරුවට නැගුණා ය. ආරක්ෂක සෙබලු
විසින් ඔරුව මුදා හරින ලදී.
දේවි කුමරිය මුහුදේ පාකර හැරිය පසු මුහුදු ඝෝෂාව, සැඩ සුළඟ, කුණාටුව නතර විය. වැස්ස
තුරල් විය. මහජනතාව සාධු කාර දෙමින් සතුට පළ කළහ. රජතුමා පුදුමයට පත්විය.
දේවී කුමරිය රැගත් ඔරුව කෙමෙන් රළවැල් අතරට මැදිවී පාවි ගියේ ය. ඔරුවෙහි සුව පහසු
යහනෙහි සිට අවට නැරැඹූ ඇයට දසතින් මුහුද මිස අන් කිසි දෙයක් දක්නට නොලැබිණි.
එහෙත් ඇයට බියක් නොදැනිණි. පාළුව තනිකම නොදැනිණි. ඔරුව සන්සුන් ගමනක යෙදේ. බොහෝ
වෙහෙසට පත් ව සිටි කුමරිය නින්දට වැටුණා ය.
ඔරුව කෙමෙන් පාවී අවුත් ලක්දිව දකුණු ප්‍රදේශයේ කිරින්ද වෙරළට ගොඩ ගැසී ය. පසුදා ඇය
අවදි වූයේ මිනිස් කටහඬ කිහිපයක් ඇසීමෙනි. මොහොතක් කල්පනා කළ ඇය තමා දැන් සිටින්නේ
මුහුදු වෙරළක බව තේරුම් ගත්තා ය. වෙරළට පැමිණෙමින් තිබූ ඔරු දුටු ඇය තමා දැන්
සිටින්නේ ධීවර ගම්මානයක බව අවබෝධ කරගත්තා ය. පසුගිය රැය පුරා තමා රැගත් ඔරුව බොහෝ
දුරකට පාවී ඇති බව ද තීරණය කළා ය.
මෙම යාත්‍රාවත්, එහි පාවී ආ කුමරියත් දුටු ප්‍රදේශවාසීහු ඒ බව තම ධීවර ප්‍රධානියාට
දැනුම් දුන්නෝ ය. ඔහු රජතුමා හමුවට පැමිණ “දෙවඟනක් බඳු රූමත් කුමාරිකාවක් කිරින්දේ
වෙරළට පැමිණ සිටින බව“ පැවසී ය. මේ ආරංචිය ඇසු රජතුමා බොහෝ සතුටට පත්විය. පැමිණි
පිරිසට තුටු පඬුරු වශයෙන් රන් කහවණු ප්‍රදානය කෙරිණි. රජතුමා පැමිණෙන තෙක් ඇයට
ආරක්ෂාව සපයන ලෙසට අණකර චතුරංග සේනාව එහි පිටත්කර හරින ලදී.
සිව්සැට බරණින් සැරසී රජ පෙරහරේ ඉදිරියෙන් ම පැමිණී කාවන්තිස්ස රජතුමා ඔරුව අසලට
පැමිණියේ ය. ඔරුවේ සිටි කුමාරියගේ රූප සම්පත්තියෙන් වශී විය. ඇය කැලණිතිස්ස රජුගේ
දියණිය බව හඳුනා ගත්තේ ය. මාගම රජු තමා බව හඳුන්වා දුන් රජතුමා මෙසේ ඔරුවක නැගී
තනිව ම එන්නට හේතුව විමසී ය. පිය රජතුමා ගේ වරදක් නිසා මුහුද ගොඩ ගලන්නට පටන් ගත්
බවත්, රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා මුහුදට බිලි වූ බවත් පැවසුවාය. එහෙත් මුහුද මා
බිලි නොගෙන මේ ප්‍රදේශයට රැගෙන විත් තිබෙන බවත් පැවසුවාය.
ඔබේ සපැමිණීම දේවාශිර්වාදයක්. බොහෝ සතුටට කරුණක්. එම නිසා ඔබ කැමැති නම් මාගේ අග
මෙහෙසිය ලෙස ඔබ අභිෂේක කිරීමට කැමති බව ප්‍රකාශ කළේ ය. තම රජ මාලිගයේ දී බොහෝ
ප්‍රභූවරුන්, ඇමැතිවරුන්, ප්‍රසාදයෙන් කතා කරන ආරෝහපරිනාහ දේහ සම්පත්තියෙන් යුතු
කාවන්තිස්ස රජු දෙස කුමරිය මෙහොතක් බලා සිටියා ය. ඔහු කෙරෙහි පැහැදුණේ ය. මුනිවත
රකිමින් සිය කැමැත්ත පළ කළා ය.
සේවිකාවන් පැමිණ කුමරිය ඔරුවෙන් බස්සවා කැඳවාගෙන යන ලදී. ඉනික්බිතිව සුවඳ පැනින්
නහවා වටිනා වස්ත්‍රාභරණයෙන් සරසා අභිෂේක මණ්ඩපය වෙත ගෙන යන ලදී. දේවී කුමරිය
දෙවඟනක් බඳු රූප ශ්‍රීයෙන් බැබළිණි. රජතුමා බොහෝ සතුටට පත් විය. පුරෝහිත බමුණන්
විසින් දේවි කුමරිය මාගම රජුගේ අග මෙහෙසිය ලෙස අභිෂේක ගන්වන ලදී. දේවි කුමරිය
අභිෂේක ගන්වන ලද ස්ථානයේ විහාරයක් තනවන ලදී. මේ නිසා ඇය විහාරමහා දේවිය නම් වූවා ය.
විහාර මහා දේවිය ලා බාල වයසේ පසු වුවද දැනුමෙන් පිරිපුන් වූවා ය. රාජ්‍ය තාන්ත්‍රික
කටයුතු පිළිබඳ පරිචයක්, නිපුණත්වයක් දැක්වූවා ය. රජ මැදුරේ සියලු දෙනාගේ සිත් දිනා
ගත්තා ය. ඇයගේ විධානයන්ට සියලු සේවක සේවිකාවෝ අවනත වූහ. ඇය ගේ ප්‍රධානත්වයෙන්
දිනපතා රජ මාලිගයේ මහා සංඝයා වහන්සේ විෂයෙහි දන් පිරිනැමුණි. ඊට අමතරව සිතුල් පවු
විහාරය, තිස්සමහා විහාරය සිලාපස්ස පිරිවෙන ඇතුළු අවට විහාරස්ථානවල විසූ රහතන්
වහන්සේලාට ඇප උපස්ථාන කෙරිණි; දන් පිරිනැමිණි. මෙසේ මහා සංඝයා වහන්සේට උපස්ථාන කරන
ආකාරය, දන් පිරිනමන ආකාරය දුටු, ත්‍රිපිටක තිස්ස මහතෙරුන් වහන්සේ එතුමියට ආශීර්වාද
කළහ.
අයන්ති විතාන |