[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා බල දෙන මෝර පිරිත

මහා බල දෙන මෝර පිරිත

අපේ බුදුරජාණන් වහන්සේ ඉහත ආත්ම භාවයක රණ මොනරෙකු ලෙස උපත ලැබුවා. දිගු කලක් ජීවත් වීම සඳහා තමන් භාවිත කළේ මෝර පිරිත යි.

රණ මොනරා දිනපතාම වන්දනාවක් කරනවා. ‘ඇස් ඇති ඒකරාජ වූ , රන්වන් පැහැයෙන් පොළෝ තලය බබළවන්නා වූ සූර්යයා උදා වෙනවා. එලෙස ස්වර්ණ වර්ණව පොළොව බබළවන්නා වූ සූර්යයාට වන්දනා කරමි. ඔබ විසින් මට අද ආරක්ෂාව සලසා දෙන්නැ’යි ඉල්ලීමක් කරනවා. එය සාමාන්‍ය දෙයක්. උතුම් දේ වන්නේ මහ රහතන් වහන්සේ නමක් සියලු දැනගත යුතු ධර්මයන් දැනගත්තේ නම්, ඒ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආරක්ෂාව මට ලැබේවා , අතීත බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.උන්වහන්සේලාගේ සෝවාන්, සකෘදාගාමී, අර්හත් මාර්ග ඵලයන්ට මාගේ නමස්කාරය වේවා. අරහත් ඵල විමුක්තීන්ට මාගේ නමස්කාරය වේවා. නිවනට පත් වුණා වූ අතීත බුදුවරයාණන් වහන්සේලා හට ද මාගේ නමස්කාරය වේවා, උන්වහන්සේලා තදංග විමුක්ති, විශ්කම්භන විමුක්ති, පංච විමුක්තීන්ට පත් වුණා, ඒ පංච විමුක්තීන්ටත් මාගේ නමස්කාරය වේවා, යනුවෙන් රණ මොනරා පිරිත සජ්ඣායනා කර දවසේ තනිව හැසිරෙනවා. එවිට මොනම දෙයකින්වත් කරදර බාධක නැහැ.

මෝර පිරිතේ රාත්‍රියට කියන කොටස සජ්ඣායනා කළොත්, රෑ පහන්වන තුරු ම ආරක්ෂාව පවතිනවා. මෙලෙස රණ මොනරා එය උදයටත්, සවසටත් කියන නිසා කරදර බාධා නැතිව ජීවත් වන්නට පුළුවන් වුණා. කිසිම දෙයකින් කරදර , පීඩා වුණේ නැහැ. බොහොම දර්ශනීය ව රන්වන් පැහැති වර්ණයෙන් බබළන නිසා රණ මොනරා යනුවෙන් සඳහන් කළා. බොහොම පිනැති, ගුණැති , වාසනාවන්ත සතෙක්. වනාන්තරයේ තනිව ම සැරි සරන මේ රණ මොනරා දුටු වැද්දෙකු රණ මොනරා අල්ලා ගන්නට වෙහෙස ගත්තත් එය අසීරු වූ නිසා රජතුමාට දැනුම් දුන්නා.

පසුව තවත් සෙබඩක් ගෙන ඒ අසලට පැමිිණි මේ රණ මොනරා දැලකින් දවටා ගත්තා. එදා මේ මන්ත්‍රය සිහි නොකළ රණ මොනරා වැද්දාගේ දැලට අසු වුණා. එතැන දී මොනරා මෙලෙස පැවසුවා. ‘මා ආරක්ෂක මන්ත්‍රය භාවිත කරන තාක් මට කරදරයක් වුණේ නැහැ. එදා මට මෙය කියන්නට නොහැකි වුණ නිසා සතුරාගේ ග්‍රහණයට ලක් වුණා යනුවෙන් පැවසුවා’

මෙලෙස ඔබ අප සැමටම උතුම් මන්ත්‍රයක් තිබෙනවා. බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය. මෙයට වඩා ඉහළ රත්නයක් ලොවේ නැහැ. යන එන විටදී ද බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සජ්ඣායනා කරන්න පුරුදු වන්න. එවිට අපේ ආරක්ෂාව, යහපත හොඳින් තිබෙනවා.

අද කොරෝනා වසංගතයෙන් ලෝකය බිලිගත් මොහොතක අපට සැනසුම ඇත්තේ තුනුරුවන්ගේ බලය සහ ශක්තිය නිස යි. රණ මොනරාට ආරක්ෂාව ලැබුණේ තුනුරුවන් සතු ගුණය නිස යි. එහෙමනම්, තුනුරුවන් සතු ගුණය හැර වෙන සරණක්, පිහිටක් අපට නැහැ. ඒ පාඨ තුනේ ගුණ විසි හතරක් තිබෙනවා. ඒ නිසා ‘සූවිසි ගුණ’ යනුවෙන් සඳහන් කරනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ නවයක්, නව ලොවුතුරා ධර්මයේ ගුණ හයක්, ආර්ය මහා සංඝරත්නයේ ගුණ නවයක්, ඉතිපි සෝ, ස්වාක්ඛාත, සුපටිපන්න වගන්ති තුන තරම් බලවත් තවත් දේශනාවක් ලොවේ කොහේවත් ම නැහැ.

රතන සූත්‍රයේ තිබෙන්නේ ම බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ පමණ යි. ඒ නිස යි, රතන සූත්‍රයේ මහත් බලයක් තිබෙන්නේ. අක්ෂර දාහක් පමණ තිබෙනවා. එක අකුරක තිබෙන ශක්තිය බලය සීමාවක් නැහැ. ඒ නිසා කවුරුත් තම රැකවරණය හොඳින් සකසා ගෙන ආරක්ෂාව සකසා ගන්න. රතන සූත්‍රය සජ්ඣායනා කරන විට මෝර පිරිත ද පරිශීලනය කරන්න. එය පිරිත් පොතේ සඳහන් ව තිබෙනවා.

මේ පිරිත අපට හොඳ පාඩමක්. මොකද? තිරිසන් සතෙක් ව වාසය කළ මොනරා කෙතරම් බලවත් ද? එසේනම්, අපට එහි ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ නිසා කවුරුත් තණ්හාවෙන්, තරහවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් නොසිට මෙවැනි පිරිත් පරිහරණය කරන්න. දවසට පිරිත් සූත්‍ර පහ හයක්වත් සජ්ඣායනා කරන්න. මෙයින් අපට පුදුම ආරක්ෂාවක් ලැබෙනවා. ලෝකයටම සෙත් පතන්න. මේ සෙත් පැතිය යුතු කාලය යි. ආශිර්වාද කළ යුතු යි. මෙහි බලය ලොවට පෙන්වා දිය යුතු යි. එය යි වැදගත් ම කාරණය.

බලන්න, රණ මොනරා සිටි යුගයේ තුනුරුවන් තිබුණා ද? නැහැ. එතුමා අතීත , අනාගත බුදුවරයාණන් වහන්සේලාට, මහ රහතන් වහන්සේලාට, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී උතුමන්ට වන්දනා කළා. ඒ වගේම අරහත් ඵල විමුක්තියට වන්දනා කළා. නිර්වාණයට වන්දනා කළා. බලන්න, වන්දනාව සුළු පටු වන්දනාවක් ද යනුවෙන්?

බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ එක්තරා ළමයෙකුගේ පාදයක් යක්ෂයකු ඇද ගත් මොහොතේ ‘නමෝ බුද්ධාය’ යනුවෙන් පවසා ඒ දරුවාට උතුම් රැකවරණය ලබුණා. අවසානයේ විශාල ධනයක් ලබන්නට හිමි කාරණයක් වුණා. එසේනම් සූවිසි ගුණයම කියන විට කෙතරම් බලවත් පිනක් ලැබෙයි ද? දවසක් අනාථ පිණ්ඩික සිටුතුමා ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ දකින්න යන ගමනේ දී දිව්‍ය රාජයෙක් මෙලෙස පැවසුවා. ‘සිටුවරය, ආපසු එන්නට එපා. ඉදිරියට යන්න. ඔබ බලාපොරොත්තු වන ජය සංකේතය ඉදිරියේ තිබෙනවා. ඔබ තබන පියවරක වැදගත්කම මා මෙලෙස කියන්නම්. ‘ ලෝකයේ මහා ධනවතෙක්, ඇතුන් සියයක්, අශ්වයන් සියයක්, ගවයන්, කිරිදෙනුන් සියයක් , රන් රුවන් පැළැදි යුවතියන් සියයක්, මෙලෙස සෑම දෙයකින් ම සියය බැගින් පරිත්‍යාග කරනවා. ඒ පිනට වඩා ඔබ බුදුන් දක්නයි මේ යන්නේ. ඒ සඳහා තබන එක පියවරක් මේ සෑම දෙයකට ම වඩා වටිනා බව පැවසුවා. එය සොළොස් කලාවකට බෙදුවත්, එක වටයක් ඔබ තබන පියවර වටිනා බව පැවසුවා.

එහෙමනම්, මහා වස්තු පූජාවට වඩා තුනුරුවන් දකින්න යන එක් පියවරක් වටිනවා. පියවර සියයක් තැබුවොත් කොහොම පිනක් ලැබෙයි ද? ඒ නිසා තම රැකවරණය හොඳින් හදා ගන්න. ඒ සඳහා ම තුනුරුවන් හොඳින් අපට ලැබී තිබෙනවා. නැවත තුනුරුවන් ලැබෙයි යනුවෙන් කිසිවෙක් සිතන්න එපා. තුනුරුවන්ගේ ආශිර්වාදය සෑම දාම, හැම තැනකම නැහැ. අපේ පිනට , අපේ වාසනාවට, බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය ලැබුණා.

නින්දෙන් පිබිදුණු විගස ‘බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි’, යනුවෙන් තුනුරුවන් සරණ යන්න. රණ මොනරා ද කළේ මේ ටිකම යි. රණ මොනරාට දිගු ආයුෂ, ආරක්ෂාව ලැබුණා. පිහිට , රැකවරණය ලැබුණා. තනිවම ජීවත් වුණා. එහෙමනම්, අප තනිවම පැමිණියා. තනිවම ජීවත්ව තනිවම මරණයට යනවා. එසේනම්, සිතට අවංකව කටයුතු කරන්න, සොරකම, වංචාව, සත්ත්ව ඝාතනය දුරු කර දමා, වාසනාවන්තයෙක් ලෙස ජීවිකාව ගෙන යන්න. පෝයට අටසිල් ගන්න. ගෙදර දොරත් පිනට දහමට ලැදි පිරිසක් සමඟ කටයුතු කරන්න. හැකිතාක් යමක් දන් දෙන්න. බුද්ධ පූජාව ශ්‍රද්ධවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් සිදු කර ගන්න. නැවත බුද්ධ ශාසනයක්, මනුෂ්‍යයෙක් වෙයි ද යනුවෙන් අපට සිතන්නට බැහැ. ඒ නිසා ජීවත්වන ටික කාලය පුරාවට ම බුදු දහමට ලැදිව කටයුතු කිරීම කෙතරම් වටිනවා ද? අපට සරණ පිහිට මෙපමණ යි. මරණයේ දී සිහි විය යුතු දෙයක් ඕනෑ.

දාන, ශීල, භාවනා වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා තිබෙනවා. ඒවායෙන් ලැබෙන ප්‍රතිවිපාක පහදා දුන්නා. මනු ලොව, දෙව් ලොව, බඹ ලොව උපදින්න පුළුවන්. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී,අර්හත් යන මාර්ග ඵල ලබන්නට පුළුවන්. බුදුන් වහන්සේගේ සරණ පිහිට හොඳින් ලැබී තිබෙන බව තප්පරයක් ගානෙම සිතන විට, ලොකු බලයක් ලැබෙනවා. දවස පුරාම සූවිසි ගුණය මෙනෙහි කර එහි බලය කෙතරම් ද බලන්න. පෝයට සිල් ගන්න ගිය විට රණ මොනරා සේ, උදේ සවස පමණක් මෙනෙහි නොකර සෑම මොහොතකම සූවිසි ගුණ මෙනෙහි කරන්න. එය පුදුම ශක්තියක්. බුදු ගුණ භාවනාව, දහම් ගුණ භාවනාව, සඟ ගුණ භාවනාව යනුවෙන්. තිරිසන් සතෙක් වුවද රණ මොනරා මෙලෙස ගුණ මෙනෙහි කළා නම්, මනුසත් බව ලැබූ අපට මෙලෙස මෙනෙහි කරන්න බැරි ඇයි? නිතර බණ අසන නිසා තමන්ගේ සිත පාලනය කරගත හැකි යි.

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]