[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 උදායි මහරහතන් වහන්සේගේ උදානය

 උදායි මහරහතන් වහන්සේගේ උදානය

"මහ පාර අයිනේ කැළි කසළ බහාලන මඩ වගුරේ නෙළුම් මලක් පිපෙනවා. ඒ පිපෙන නෙළුම හරිම ලස්සනයි. සුවඳ හමනවා. ඒ වගේමයි කුණු කසළ බඳු අදහස්වලින් පිරුණ, බාල පුහුදුන් ජනතාව වාසය කරන මේ ලෝකයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවෙන් බබළනවා."

අසිරිමත් ප්‍රඥාවකින් හෙබි අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් හට ද ඒ ප්‍රඥාව බෙදා දුන් සේක. උන්වහන්සේලා ද ඒ සම්බුදු ප්‍රඥා මහිමයේ උපකාරයෙන් තම ප්‍රඥාව පුබුදුවා ගත්හ.

සාමාන්‍ය ලෝකයා සමඟ මිශ්‍ර නොවී සියල්ලට ම ඉහළින් සිටින්නට හැකිවූයේ ඒ ප්‍රඥා මහිමය නිසයි. බුදු සමිඳුන් ඒ බව පැහැදිලි කොට මෙසේ වදාළහ.

"මහ පාර අයිනේ කැළි කසල බහාලන මඩ වගුරේ නෙළුම් මලක් පිපෙනවා. ඒ පිපෙන නෙළුම හරිම ලස්සනයි. සුවඳ හමනවා. අන්න ඒ වගේමයි කුණු කසල බඳු අදහස්වලින් පිරුණ අ_බාල පුහුදුන් ජනතාව වාසය කරන මේ ලෝකය තුළම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාව කරණකොට අතිශයින්ම බබළනවා."

බුද්ධ ශාසනයේ සාරය වන අරහත්ඵල විමුක්තිය ලබා පිරිනිවන් පා වදාළ ඒ මහෝත්තම රහතන් වහන්සේලාගේ දිවි පෙවෙත අසිරිමත් ය. අපමණ වීර්යයකින් ,චිත්ත ධෛර්යකින්, ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේලා ධර්මයේ හැසිරුණු ආකාරය පුදුම සහත ය.

"සංඝං සරණං ගච්ඡාමි" යනුවෙන් අප සරණ යන ඒ ශ්‍රාවක සංඝරත්නය කෙ තරම් ශ්‍රේෂ්ඨ ද? මොනතරම් පිවිතුරු ද? කියා අපට වටහා ගැනීමට උතුම් රහතන් වහන්සේලාගේ උදානයන් මහෝපකාරී ය. උන්වහන්සේලා තුළ තිබූ විස්මිත අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත්, ප්‍රඥා මහිමයත්, අපමණ ගුණ සමුදායත් ඒ තුළින් මැනවින් ඉස්මතු වේ.

අද අප සිත පහදවා ගන්නේ උදායි නම් මහරහතන් වහන්සේ සිය නිකෙලෙස් හද මඩලින් ශාස්තෘන් වහන්සේගේ සම්බුදු ගුණ වර්ණනා කළ ආකාරය ගැනයි.

උදායි ස්වාමින් වහන්සේ ද අතීත බුද්ධ ශාසනවලදී තෙරුවන් කෙරෙහි සිත පහදවාගෙන ධර්මාවබෝධය පිණිස උපකාරි වන පින් රැස්කර ගත්තා.

අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ කපිලවස්තු නුවර බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද උදායි යන නාමය ලැබුවා. බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් රහතුන් විසිදහසක් පරිවරාගෙන ඤාති සංග්‍රහය පිණිස කිඹුල්වත් නුවරට වැඩි ගමනේ දී සම්බුදු අසිරිය දැක උතුම් පැවිදි බව ලබා ගත්තා. බලවත් සැදැහැ සිත් ඇති උදායි තෙරුන් සමථ - විදර්ශනා වඩා නොබෝ කලකින් උත්තම අරහත්වය සාක්ෂාත් කළසේක.

දිනක් භාග්‍යවතුන් වහන්සේ මහජනයා විසින් ප්‍රශංසා කරනු ලබන සියලු අලංකාරයෙන් යුතු සුදු ඇතෙකු අරමුණු කරගෙන දහම් කාරණා ඉස්මතු කරමින් නාගෝපම සූත්‍රය දේශනා කළ සේක. එම දේශනාව අවසානයෙහි උදායි තෙරණුවෝ තම ඤාණ බලයට අනුරූප ලෙස බුදුගුණ සිහිපත්කොට බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇති ව බුද්ධමහා හස්ති රාජයාගේ ගුණ ප්‍රකට කරන්නෙමියි සිතා මෙම ගාථා වදාළ සේක.

* "බෝසතාණන් වහන්සේ මිනිස් ලෝකයේ උපත ලැබුවා. තමා දමනය කර ගත්තා. සිත සමාධි කර ගත්තා. ඇවතුම් පැවතුම් ශ්‍රේෂ්ඨ කර ගත්තා. සිතේ සංසිඳීම ඇතිකර ගත්තා.

* ලෝකයේ තිබෙන හැම දෙයකින් ම එතෙර වුණා. ඒ බුදු හිමියන්ට මිනිසුන් වඳීනවා. දෙවියොත් වඳීනවා. මේ ගැන මම ඇසුවේ රහතන් වහන්සේලාගෙන්.

* හැම බන්ධනයකින් ම නිදහස් වුණා කෙලෙස් වනාන්තරයෙන් එළියට වැඩියා. කාමයන් අත හැර නිදහස් ජීවිතයකට ඇලුණා. බුදුරජාණන් වහන්සේ ගල් පර්වතයක් මුඳුනෙන් නිදහසේ බිම වැටෙන රත්තරන් ආභරණයක් වගේ.

* උන්වහන්සේ ඇත්තෙන් ම ලෝකයේ ඉන්න ලස්සන ම හස්තියා වාගෙයි. හැම පර්වතයක් ම පැරද වූ ලස්සන හිමාල පර්වතය වගෙයි. සියලු දෙනා අතර හස්තියෙක් වගෙයි. අතිශයින් ම ශ්‍රේෂ්ඨ යි. උන්වහන්සේට පැවසිය යුතු නම සත්‍යය යනුවෙන්.

* මම දැන් ඔබට ඒ සුන්දර හස්තිරාජයාණන් ගැන කියන්ටයි හදන්නේ. පව් කරන්නේ නැහැ. ඒ හස්තියාගේ ඉදිරි පාද දෙක තමයි සීලය යි, කරුණාව යි.

* ඒ හස්තියාණන්ගේ පසු පාද දෙක සිහියයි නුවණයි. ඒ ඇතාට ලස්සන හොඬවැලක් තිබෙනවා. එහි නම ශ්‍රද්ධාව. සුදෝ සුදු දළ දෙකක් තිබෙනවා. ඒ නම් උපේක්ෂාව යි.

* ඒ හස්තියාණන්ගේ ලස්සන ගෙල සත්‍යයි. පුළුල් හිස කියන්නේ ප්‍රඥාවටයි. මේ හස්තිරාජයාණන්ට තිබෙනවා නුවණින් විමසන ධර්ම චින්තාවන්. කුසල සද්ධර්මය යි. මේ හස්තිරාජයාණන්ට තිබෙනවා විවේකය නමැති වලිගයක්. තමා තුළ ඉතා හොඳීන් සමාධිගත වූ සිතකුයි තිබෙන්නේ. සම්පූර්ණයෙන් ම සංසිඳීලයි ඉන්නේ. භාවනා කරනවා. ඒ හස්තිරාජයාණන් ඇවිදින්නේ එකඟ වූ සිතින්. හිටගෙන ඉන්නෙත් එකඟ වූ සිතින්. ඒ හස්තිරාජයාණන් නිදා ගන්නෙත් එකඟ වූ සිතින්. වාඩි වෙන්නෙත් එකඟ වූ සිතින්. හැම තැනකදී ම සංවරයි. මේ හස්තිරාජයාණන්ගේ සම්පත්තිය කියන්නේ ඒකට යි.

* මේ හස්තිරාජයාණන් ඉතා දැහැමිව ලැබෙන දේ පමණයි වළඳන්නේ. වැළඳීම පිණිස දැහැමි නොවන කිසිම දෙයක් ගන්නේ නැහැ. ආහාරපාන වස්ත්‍ර ආදිය ලැබුණ විට කවදාවත් ඒවා එකතු කරන්නේ නැහැ.ලොකු කුඩා හැම බන්ධනයක් ම නැති කරලයි ඉන්නේ. යම් තැනකට යනවානම් කිසිම අපේක්ෂාවක් නැතිවයි යන්නේ.

* වතුරේ හටගත්ත සුදු නෙළුම් පිපුණ විට හරිම ලස්සනයි. සුවඳ හමනවා. නමුත් ඒ මල් තිබෙන්නේ වතුර ගෑවි ගෑවි නොවෙයි.

* මිනිස් ලොව පහළ වූ බුදු සමිඳුන් අන්න ඒ ආකාරයට ම යි මේ ලෝකයේ වැඩ වසන්නේ. වතුර නො ගෑවෙන නෙළුම් මලක් වගේ. උන්වහන්සේ ගේ ජීවිතය සමඟ ලෝකයට අයිති කිසිදෙයක් ගෑවෙන්නේ නැහැ.

* ඇවිලෙන ගින්න නිවී යන්නේ තවදුරටත් ඇවිලෙන්නට දර නැති වූ විටයි. ඒ ගින්න නිවී ගිහින් අඟුරු මතු වුණාම ගින්න නිවුණා යැයි කියනවා.

* නිකෙලෙස් උතුමන් විසිනුයි මේ උපමාව කියා තිබෙන්නේ. රහත් මුනිවරු කියන්නේ මහා හස්තීන් වගේ. මාත් ඒ වගේම හස්තියෙක් තමයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ නමැති හස්ති රාජයාණන් මේ වගේ ලස්සනට හඳුනා ගත්තේ.

* බුදු හිමි තුළ රාගයක් නැහැ. ද්වේෂයකුත් නැහැ. මෝහයකුත් නැහැ. ආශ්‍රවත් නැහැ. ආශ්‍රව නැති නිසාම මේ සිරුර අතහරින වි‍ටම පිරිනිවී යනවා.

භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලින් උපන් අරහත් ශ්‍රාවකයෙකු තම ශාස්තෘන් වහන්සේගේ ගුණ වැයු අයුරු කෙ තරම් අපූරු ද? ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ශාස්තෘ ගෞරවය කෙ තරම් අසිරිමත් ද?

ඒ රහතන් වහන්සේලා බොජ්ඣංග ධර්ම නම් වූ මාණික්‍ය රත්න හතෙන් යුක්තයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිධ ශික්ෂාවෙහි හික්මිලයි වැඩ සිටින්නේ. සමාහිත් සිත් ඇති උන්වහන්සේලා අරහත් ඥානය උපදවාගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් වී වැඩ සිටිනවා. රහතන් වහන්සේලාගේ සිත් කැළඹෙන්නේ නැහැ. උන් වහන්සේලා ලෝකය සමඟ තැවැරෙන්නේ නැහැ. කයින් යහපත් වචන කතා කරන එබඳු නිකෙලෙස් මුනිවරයන්ගෙන් තමයි මේ පරිසරය පවා ලස්සන වෙන්නේ යැයි කියා වරක් භාග්‍යවතුන් වහන්සේ වදාළා. මානය නැති කළ, අකම්පිත සිත් ඇති ඒ නිකෙලෙස් රහතන් වහන්සේ දෙවියන්ට පවා ඉතා ප්‍රියයි. ලෝකයෙහි බුදුරජාණන් වහන්සේ උත්තරීතර යැයි උන්වහන්සේලා මේ අයුරින් සිංහනාද පවත්වනවා. රහතන් වහන්සේ නමක් ගැන අසන්නට ලැබීම පවා ඇත්තෙන්ම වාසනාවක්. ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් වූ ඒ රහතන් වහන්සේලාගේ සුන්දර අදහස් උන්වහන්සේලාගේ උදාන තුළින් ඉගෙන ගන්නට ලැබීම ශ්‍රාවක අප ලත් භාග්‍යයක්. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හද මඩල ඔබ ඉදිරියේ විදහා දැක්වෙන මේ උතුම් උදාන කෙරෙහි පහන් සිත් ඇති කරගෙන ඔබත් මුළු හදවතින්ම තෙරුවන් සරණ යන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඒකාන්යෙන් ම සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමිචිපටිපන්න ගුණයන්ගෙන් යුක්ත සේක. ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලිකරණීය වන සේක. ලොවට උතුම් පින්කෙත වන සේක.

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk