[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කවරයේ කතාව : තිස්ස හිමිට පූජා වූ අභයගිරිය

කවරයේ කතාව :

තිස්ස හිමිට පූජා වූ අභයගිරිය

වැව් බැඳි රාජ්‍යය නැතිනම් ඓතිහාසික රජරට රාජධානියේ අටමස්ථානයට අයත් සුවිශේෂී පුණ්‍ය භූමියක් වන අභයගිරිය සෑ රදුන් වහන්සේගේ සේයාරුවෙන් මෙවර කවරයේ කතාව සිතුවම් වෙයි. ලක්දිව ඉතිහාසයේ සුවිශේෂී පුණ්‍ය භූමියක් වන අභයගිරිය ඒ ඉතිහාසය කෙසේ සැකසුණුදැයි විමසීමම අනාගත වාදීන්ට ලබා දෙන්නා වූ උත්තේජනයක් ය. ඒ නිසාවෙන් අභයගිරිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි ස්වාමීන් වහන්සේ ඒ ඉතිහාසයට වත්මනෙහි අප සතුව ඇති ඥානමණ්ඩලයයි.

මනරම් මුතු මැණික්වලින් අලංකාර කරන ලද ධාතු ගර්භයෙහි රනින් කරන ලද ගවයකුගේ කුසෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත්කොට වළගම්බා මහා නිරිඳුන් විසින් අභයගිරිය කර පූජා කොට තිබෙනවා. අඩි 400 ක පමණ උසකින් හා අඩි 1100 ක වට ප්‍රමාණයකින් යුක්තව නිර්මාණය වී ඇති අභයගිරිය දාගැබ් වහන්සේ පිළිබඳ ලියැවුණු ඉතිහාස කතා බොහෝමයි.

මේ අතරින් ක්‍රි.පූ. 89 - 77 දී රාජ්‍යත්වයට පත් වට්ටගාමිණී අභය හෙත් වළගම්බා මහා නිරිඳුන් විසින් අභයගිරිය නිර්මාණය කළ බවයි වංශ කතා සාක්ෂි දරන්නේ. මේ පිළිබඳ මහා වංශය මෙන්ම නිකාය සංග්‍රහය දීප වංශය, වංසත්ථප්පකාසිනිය වැනි ඓතිහාසික ග්‍රන්ථ රැසක අභයගිරියේ ප්‍රභවය පිළිබඳ සඳහන් වෙන කරුණු කාරණාවන් රැසක් අඩංගුයි.

එක් මොහොතකදී වළගම්බා රජු හා ද්‍රවිඩ සොලී කුමාරවරු අතර ඇති වූ රාජධානි අරගලය නිසා සිය සේනා ශක්තිය පිරිහුණු වළගම්බා රජු රාජධානිය අත්හැර පළායාමට තීරණය කොට තිබේ. එහිදී රාජ්‍ය අතහැර පළායනවිට ගිරි නිඝන්ඨයා මහා කළු සිංහලයා පළායන්නේ යැයි’ ඝෝෂා කර තිබේ.

එහිදී වළගම්බා රජු තමා කවදා හෝ රාජ්‍යත්වයට පත්වන්නේ නම් මෙම ස්ථානයෙහි විහාරස්ථානයක් ගොඩනගන්නේ යැයි අදිටන් කරගත් බවයි මහාවංශය සඳහන් කරනුයේ.

මෙහිදී අභයගිරිය කේන්ද්‍රකර ගනිමින් තවත් අපූරු හෙළිදරව්වක් සඳහන් කළ යුතුමයි. වළගම්බා රජු සිය සේනා සංවිධානය යුද ශක්තිය සියල්ල මැනවින් සකස්කොට යළි සිය බලය ලබා නොගත්තේ නම් මෙවැනි සෑයක් බිහිනොවන්නට තිබුණි.

නමුත් ඒ සඳහා ශක්තිය ලබා දුන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා. කුප්පිකල විහාරවාසී මහාතිස්ස හිමියන් සහ හඹුගල්ලක විහාරයේ තිස්ස හිමියන් එහිදී කැපීපෙනෙන චරිත. වළගම්බා රජු මානසිකව මෙන්ම කායිකව ශක්තිමත් කරලීමට උන්වහන්සේලා මහත් වීර්යයක් ගත් බව මහාවංශය පෙන්නුම් කරනවා. පිඬු සිඟා වඩමින් රජුට ආහාරපාන ලබාදුන් බව පවා සඳහන්. විශේෂයෙන්ම දුර්භික්ෂයන්ට පවා මුහුණ දෙමින් වළගම්බා රජු රාජ්‍ය බලයට පත්කළ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

ඒ අයුරින් පාලනයට පත් වළගම්බා රජු සිය අරමුණ සඵල කර ගැනීම සඳහා ගිරි නිඝන්ඨයා වාසය කළ ආරාමය විනාශ කොට එම ස්ථානය ආශි‍්‍රත ව රජුගේ නමෙහි අවසාන කොටස වූ අභය යන්න හා ගිරි නිඝන්ඨයාගේ නමද එකතු කොට අභයගිරිය යන නම යොදා පිරිවෙන් දොළසකින් යුතුව දාගැබ් වහන්සේ සාදවා, තමන්ට උපකාර කළ කුප්පිකල විහාරවාසී මහාතිස්ස හිමියන්ට පූජා කොට තිබේ.

එතැන් පටන් ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් අභයගිරිය විහාර ආශි‍්‍රතව සිදුවූ සේවාව සුවිශාලයි. වළගම්බා රජු පමණක් නොව ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ද අභයගිරිය විහාරයේ සංවර්ධනයේ කොටස්කරුවන් වූ බැව් දක්නට ලැබේ.

ඒ වගේම වළගම්බා රාජ්‍ය සමයෙන් පසුව වුවද අභයගිරිය විහාරයෙහි සංවර්ධනය උදෙසා පාලකයින් සිය අවධානය යොමුකර ඇති බැව් දකින්නට පුළුවන්. මෙතැන දී ‘මහසෙන් රාජ්‍ය සමය’ අභයගිරිය විහාරය සම්බන්ධ විශේෂ කාරණාවන් සඳහන්.

එහිදී මහා විහාරය පිළිබඳ යමක් සඳහන්කොට යුතුයි. එක් මොහොතකදී මහසෙන් රාජ්‍ය කාලයේ දී මහාවිහාරය බිමට සමතලා කොට උඳු වැපිරූ බව මහාවංශයේ සඳහන්. ඒ නිසා මහාවිහාර භූමියෙහි සියලුම ද්‍රව්‍ය අභයගිරියට ගෙන ගිය බවයි සඳහන් වෙන්නේ. මෙහිදී අභයගිරි වාසි භික්ෂූන් වහන්සේලාගේ ශක්තිමත් ස්වරූපය මහසෙන් රාජ්‍ය සමයෙන් මනාව හෙළිදරව්වන කරුණක්.

මහසෙන් රාජ්‍ය සමයෙදී මහායාන ඉගෙනීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ද අභයගිරිය විහාරය හඳුනාගෙන තිබෙනවා. වහඳුමූල, උත්තර මූල, කපාරා මූල හා මහනෙත්පසද මූල වශයෙන් මූල හතරකින් යුක්තව අධ්‍යාපනය ලබාදෙන අධ්‍යාපන ආයතනයක් පැවති අතර විදේශීය සිසුන් පවා පැමිණ අධ්‍යයන කටයුතු කළ බවයි අභයගිරිය පිළිබඳ ඉතිහාස කාරණ හෙළිදරව් කරනුයේ

රජරට රාජධානියේ අටමස්ථානයට අයත් සුවිශේෂ පුණ්‍ය භූමියක උරුමය අප ඉතිහාස මූලාශ්‍රයන්හි දීර්ඝව සඳහන් වෙතත් අභයගිරියේ උරුමය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ජාතික හා ආගමික කේන්ද්‍රස්ථානයක් වශයෙන් අභයගිරි රජමහා විහාරය සැලකීම යුක්ති යුක්ත ය.

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk