[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප : සීගිරිය අසල පිහිටි පිදුරංගල මහා බුදු පිළිම වහන්සේ

සීගිරිය අසල පිහිටි පිදුරංගල මහා බුදු පිළිම වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ

සිරිසමන් විජේතුංග

පුරාවිද්‍යා
Msc පර්යේෂණ

" සීගිරියේ ඉහළ ගල් ලෙනක පිහිටා තිබෙන සැතපෙන බුදු පිළිම වහන්සේ ගඩොලින් සාදන ලද, සොරුන් විසින් කඩා බිඳ දමන ලද්දකි. මෙහි ශරීරයේ කොටස් කීපයක් ඉතිරි වී ඇතත් ඒ අනුව මෙම බුද්ධ ප්‍රතිමාවේ ස්වරූපය පැහැදිලි ය."

සීගිරියට කිලෝමීටරයක් පමණ උතුරින් පිහිටි පිදුරංගල පුරාණ ගල්ලෙන් පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා 1899 වර්ෂයේ දී පුරාවිද්‍යා වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. සීගිරියේ වාගේම පිදුරංගල ගල්ලෙන්වලත් ක්‍රිස්තු පූර්ව සියවස් කාලයේ දී භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කර තිබෙනවා.

මේ බව දැනට එහි විහාරයක් ලෙසට භාවිත වන ලෙනේ කටාරමට යටින් බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති පාඨයෙන් පෙනෙනවා. ගල මුදුනට කිට්ටුව විශාල ලෙනක ගඩොලින් සහ හුණු බදාම යොදා සාදා ඇති යෝධ සැතපෙන බුදුපිළිම වහන්සේ සීගිරියේ මාලිගා සෑදූ කාලයේ දී ම සාදා ඇති බව ඉතා පැහැදිලි ය. මෙසේ කීමට හේතුව මේ සැතපෙන බුදු පිළිම වහන්සේ පිහිටි ලෙන ඉදිරිපිට ඇති ගලක පස්වැනි සියවසට හෝ ඊට ආසන්න කාලයකට අයත් වන එක ශිලා ලිපියක් තිබෙන නිසා ය.

(පුරා විදු පරියේෂණ - මහාචාර්ය සෙනරත් පරණවිතාන. පි. 182 - 1972)

මෙම සැතපෙන බුදු පිළිම වහන්සේ පිළිබඳ මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා මෙසේ සඳහන් කරයි.

සීගිරියේ ඉහළ ගල් ලෙනක පිහිටා තිබෙන සැතපෙන බුදු පිළිමය ගඩොලින් සාදන ලද, සොරුන් විසින් කඩා බිඳ දමන ලද්දකි. මෙහි ශරීරයේ කොටස් කීපයක් ඉතිරි වී ඇතත් ඒ අනුව මෙම බුද්ධ ප්‍රතිමාවේ ස්වරූපය පැහැදිලි ය. බුදු පිළිමය ගඩොලින් සාදා සම්පූර්ණයෙන් ම හුණු බදාමයෙන් කපරාරු කර ඇතත්, එය වර්ණ ගන්වා නැත. ලංකාවේ හමුවන ගඩොලින් කරන ලද පැරණිතම බුදුපිළිමය මෙය වන අතර මේ පිළිමය ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී පළමුවන කාශ්‍යප රජතුමා විසින් කරවන ලද්දකැයි විශ්වාස කෙරේ.

මෙම ප්‍රතිමාවේ වම් අතත්, උකුල ප්‍රදේශයෙන් පහළ කොටස් හා දෙකකුල් ආදියත් දක්නට ලැබෙන අතර, සිවුර අනුරාධපුර කාලයේ සාදන ලද බුදුපිළමවල දක්නට ලැබෙන ආකාරයේ තනි රැලිවලින් යුක්ත වේ. බුදු පිළිම වහන්සේගේ අත්වල ඇඟිලි බෙහෙවින් ම සජීවි බවක් පෙන්වයි. ශරීරය දිගට ගලා යන සිවුරුපට එකතු කරන ලද රැළි සමූහයකින් යුක්ත වේ. සිවුරට යටින් අඳනයේ කොටසක් දැකිය හැකි ය.

එකිනෙක මත පිහිටි පාද දෙකේ ඇඟිලි සියල්ලම විනාශ කර තිබේ.

මේ පිළිම වහන්සේගේ සිරසට සම්බන්ධ වූ අක්බමරු කෙහෙරැළි බොහෝ ප්‍රමාණයක් හමුවී ඇත. ඒවා වෙනම තැනක තැන්පත් කර තිබේ. දිගින් අඩි 49 වන මෙම සැතපෙන ඉරියව්වෙන් යුත් බුදුපිළිම වහන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කර තිබේ.

(ලක්දිව බුද්ධ ප්‍රතිමා මහාචාර්ය මාලිංග අමරසිංහ - පි. 140 - 141 - 2010)

මෙම විශේෂිත වූ බුදුපිළිම වහන්සේ අපේ පුරාණ මූර්ති ශිල්පීන්ගේ දක්ෂතාවය හෙළි කරන නිර්මාණයකි. සැතපෙන ඉරියව්වෙන් යුක්ත මෙම බුදු පිළිමයට අමතර ව පිදුරංගල පුදබිමෙහි පර්වතය පා මුල සම බිමෙහි දා ගැබක බෝධිඝරයක්, පෝය ගෙයක් (උපෝසථඝරයක්) පිළිම ගෙයක හා ආවාස රාශියක නටබුන් (භික්ෂූන් වහන්සේ වාසය කළ) හමු වී ඇත.

පිදුරංගල පිහිටි ස්තූප (දාගැබ්) ගොඩනැගිල්ලක පෙදෙසේ වාසය කළ ජනතාවගේ විශේෂ ගරු සැලකිලිවලට ලක් වී ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. ඒ සඳහා එතුමා විසින් දාගැබ තිබූ ස්ථානය එළි පෙහෙළි කර පුරාවිද්‍යා කැණීමක් ද සිදුකර ඇත.

ඒ අනුව 1951 දී මෙම පුදබිම පුරාවිද්‍යා ආරක්ෂිත භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. ඒ වර්ෂයේ දී පරණවිතාන මහතා විසින් ස්තූපය තිබුණු ස්ථානය ගවේෂණය කර, කැණීමක් ද සිදුකර තිබේ. ඒ අනුව දාගැබේ ගොඩැල්ල හෙළි කර ගැනීමත්, සුන්බුන් ඉවත් කර දාගැබේ නටබුන් සහ ඒවා පිහිටි මළුව පාදා ගැනීමත් එහි අභ්‍යන්තරය පරීක්ෂා කර බැලීමත් 1951 දී ආරම්භ කර තිබේ.

එම දාගැබ පිහිටා ඇත්තේ සතරැස් මළුවක ය. අවට බිම් මට්ටමට වඩා අඩි හයක් උස් කර සාදා ඇති මෙම මළුවේ එක් පැත්තක දිග අඩි 80 කි. එහි බැම්මේ උඩ කොටස හා යට කොටස කැටයමින් අලංකාර කර ඇත. මෙම මළුවේ සතර පැත්තේ ගල් පඩි පේළි තිබුණි.

(පුරා විද්‍යා පාලන වාර්තාව 1951 ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 1718)

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]