පරමාදර්ශී
ශ්‍රාවක පිළිවෙත
බෙංගමුවේ නාලක අනුනාහිමි
ලෞකිකත්වයෙන් බැහැර ව, නිවන අරමුණු කරගත් පිළිවෙතක යෙදෙමින් බොහෝ දෙනාගේ හිත සුව
පිණිස ක්‍රියා කිරීම බෞද්ධ භික්ෂුවගේ කාර්ය භාරයයි. එවන් උත්තරීතර අරමුණක් ඇතිව
ක්‍රියාත්මක වූ භික්ෂූන් ඇතුළත් සමාජය පරමාදර්ශී සමාජයක් ලෙස හැඳින්විය හැකි ය.
ලෝකයේ පවතින ස්වභාවයත්, එය දුක් සහගත බවත්, එයින් මිදී නිවන් ලැබීම තම ශ්‍රාවකයන්ගේ
පිළිවෙත විය යුතු බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. බුදු සසුන බිහි වී වසර 20 ක් තරම්
කල් ගතවන තුරු සියලුම භික්ෂූන් වහන්සේලා තුළ එම පරමාදර්ශී ලක්ෂණ පැවතුණි. විවිධ
ආගමික කණ්ඩායම් පැවතුණු එදා භාරතීය සමාජයේ එම සියලු කණ්ඩායම් අභිබවා භික්ෂු සමාජය
ප්‍රචලිත විය. ඒ නිසාම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වී භික්ෂූන්ට ප්‍රත්‍ය පහසුකම්
ලැබීම ද වැඩි වන්නට විය. එම වාතාවරණය යටතෙහි ධර්ම විනයට අනුව එතරම් දුරට හික්මීමක්
නොලද පුහුදුන් භික්ෂූන් ප්‍රත්‍යලාබයට හා කීර්ති ප්‍රශංසාවලට ගිජු වී ක්‍රියා
කිරීමට පෙළඹුණු අතර ඒ පිරිස ක්‍රමයෙන් වැඩි වන්නට විය.
ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා පසු පස හඹා ගිය අය අතර ප්‍රථමයෙන් ම මතු වී පෙනුණේ
දෙවුදත් තෙරුන් ය. තෙරුන්ට ලැබෙන අධික ලාභ සත්කාර පිළිබඳ ව පුහුදුන් භික්ෂුවක් බුදු
රදුන්ට සැළ කර සිටි විට උන්වහන්සේ වදාළේ දෙව්දත්ට ලැබෙන ලාභ සත්කාරවලට ඊර්ෂ්‍යා
නොකරන ලෙස හා එම ලාභ සත්කාර නිසාම උන්වහන්සේ පිරිහී යන බවයි. එය එසේ සිදුවිය. නිවන්
මග යනු එකක් බවත්, ලාභ සත්කාර ලැබීමේ මග අනෙකක් බවත් ‘අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා
නිබ්බාණගාමිනී’ යනුවෙන් බුදු හිමියන් පෙන්වා දී ඇත.
බුදුන් ජීවමාන කාලය තුළම ලාභ කීර්ති ප්‍රශංසාවලට ගිජු වූ භික්ෂූන් අශාසනික
පිළිවෙත්වල යෙදෙන්නට වූහ. ධර්ම විනය විරෝධී එවැනි භික්ෂූන්ගෙන් ධර්ම විනය ආරක්ෂා
කරගැනීමටත්, පිවිතුරු බුද්ධ වචනය එලෙසින් ම තහවුරු කර තැබීමටත් මහා කාශ්‍යප මහරහතන්
වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූහ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර
100 ක් යන විට එම පිරිස වර්ධනය වී වජ්ජිපුත්තක නමින් කණ්ඩායමක් හැදී විනය විරෝධී දස
වස්තුවක් ඉදිරිපත් කරගෙන එය සම්මත කර ගැනීමට උත්සාහ දැරූහ. ධර්ම විනය ගරුක භික්ෂූහු
ඔවුන්ට එරෙහි වූහ. එම භික්ෂු පිරිසේ ප්‍රධානියා වූ ඛදිරවනිය රේවත මහ රහතන් වහන්සේට
අල්ලස් දීමට පවා වජ්ජිපුත්තකයෝ උත්සාහ දැරූහ. එහෙත් එය සාර්ථක නොවිනි.
පරිනිර්වාණයෙන් වසර 236 ක් ගිය තැන තුන්වන ධර්ම සංඝායනාව පැවැත්වීමට ප්‍රධාන හේතුව
වූයේ ද ඒ වන විට විශාල වශයෙන් භික්ෂූන් ලාභ සත්කාර පසු පස හඹා යෑමයි.
භික්ෂුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වීමේ භයානකකම හා ආදීනව පිළිබඳව බුද්ධ
දේශනා සංයුක්ත නිකායේ තුන්වන කොටසේ මහා කස්සප හා ලාභ සත්කාර සංයුක්ත වල එන සූත්‍රවල
පැහැදිලි කර ඇත. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන එක සූත්‍රයක් නම් මීලහක සූත්‍රයයි.
එහි මෙසේ සඳහන් වේ. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉතා දරුණු ය. අසූචි ආහාරයට
ගන්නා පණුවෙක්, ඉදිරියේ ඇති ලොකු අසූචි ගොඩක් දැක මට අසූචි කන්න අවස්ථාවක් පෑදී ඇත.
අනෙක් පණුවන්ට වඩා තමා වාසනාවන්ත යැයි හේ සිතයි.
එසේම මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වී එයින් මඩනා ලද සිත් ඇති
භික්ෂුව ද පිඬුසිඟා ගොස් ඇති තරම් පිණ්ඩපාතය ලබා පසු දිනයට ද ඇරයුම් ලබාගෙන
භික්ෂූන් ඉදිරියට පැමිණ තමාගේ ප්‍රත්‍ය ලාභය පිළිබඳ වර්ණනා කරයි. අනෙකුත් භික්ෂූන්
තමන් සේ ලාභී නොවන බව ද සිතයි. එහෙත් ඔහුගේ එම ලාභ කීර්ති ප්‍රශංසා ඔහුගේ විනාශයට ම
හේතු වෙයි.’
කස්සප සංයුක්තයේ තතිය ඕවාද සූත්‍රයේ සඳහන් කරුණු සැකෙවින් මෙසේ ය. ‘දිනක් බුදු
රදුන් වෙත පැමිණි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන් වහන්සේ හා සම සමව සලකා
භික්ෂූන්ට අවවාද කරන ලෙස සැළ කළහ. එවිට උන්වහන්සේ දැන් භික්ෂූන් දුර්වල බවත්,
ධර්මයට අනුව කරන අවවාද පිළි නොගන්නා බවත්, ඒවා නුහුරට ගන්නා බවත් කීහ. ඒ ඇසූ බුදු
හිමියෝ ඉස්සර භික්ෂූන් මෙන් දැන් සිටින භික්ෂූන් ධර්මානුකූල පිළිවෙත් ගරු නොකරන හා
පිළි නොපදින බවත් වීර්යාරම්භයේ නොයෙදෙන බවත් වදාළහ. එදා පිළිවෙත්ගරුක භික්ෂූන්, මහ
තෙරවරු සේ ම, නවක භික්ෂූහු ද පිළිගත්හ. උන්වහන්සේලාට ගරු කළහ. එහෙත් දැන් එසේ නොවේ.
එවන් උසස් ගතිගුණ ඇති භික්ෂූන්, සමහරු පිළි නොගනිති. ප්‍රසිද්ධියට පත් ලාභ කීර්ති
ප්‍රශංසාවලින් අග තැන්පත් භික්ෂූන්ට ඇතැම්හු සලකති. නවක භික්ෂූහු ද ඒ අනුව ක්‍රියා
කරති. මහණෙනි මෙය බ්‍රහ්මචර්යාවට ඇති වූ උවදුරකි. බ්‍රහ්මචර්යාව නිසා ලැබෙන ලාභ
කීර්ති ප්‍රශංසා පිළිබඳ ව අධික ගිජුකම බ්‍රහ්මචර්යාවට (භික්ෂු ශාසනයට) බොහෝ කලක්
අහිත පිණිස, දුක් පිණිස පවතී.”
ශාසන ඉතිහාසය පුරාම ඒ ඒ යුගවල කිසියම් භික්ෂු කණ්ඩායමක් බුද්ධ විනයට එරෙහිව ලාභ
කීර්ති ප්‍රශංසා පසුපස යමින් ක්‍රියා කර ඇත. මෙතෙක් ශාසනය ආරක්ෂා වී ඇත්තේ එවන් ගති
පැවතුම්වලින් බැහැර වූ ධර්ම විනයානුකූලව කටයුතු කරමින් ලාභ කීර්ති ප්‍රශංසාවලට ගිජු
නොවූ භික්ෂූන් වහන්සේ නිසයි. පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසි යන බටහිර
අධිරාජ්‍යවාදීන්ට වසර 400 ක් තරම් කාලයක් උත්සාහ කළ ද රට අත්පත් කරගත නොහැකි වූයේ
ලාභ, කීර්ති, ප්‍රශංසා පසුපස හඹා නොගිය සිංහල භික්ෂූන් වහන්සේගේ අනුශාසනා හා මඟ
පෙන්වීම් ලැබූ වීරෝදාර සිංහල ජන නායකයින් හා ජනතාව නිසයි. මේ තත්ත්වය වටහා ගත්
ඉංගී‍්‍රසිහූ භික්ෂූන් වහන්සේට නායක පදවි හා විහාරාධිපතිකම් පිරිනමා ඒ පිළිබඳ ව
භික්ෂූන් තුළ ආශාවක් ඇතිවන ලෙසට කටයුතු යෙදූහ. මේ නිසා එතෙක් පරමාදර්ශී සමාජය තුළ
ක්‍රියාත්මක වූ සමහර භික්ෂූන් වහන්සේ ඉන් ඈත් වී ක්‍රියා කිරීමට නැඹුරු වූහ.
ක්‍රමයෙන් ලාභ සත්කාර හා කීර්ති ප්‍රශංසාවලට ගිජු වී ඒවා පසුපස හඹා යන තැනට පත්වූහ.
බුද්ධ ශාසනයේ පැවැත්මට අතිශයින්ම අහිතකර වූ ලාභ සත්කාරවලට හා කීර්ති ප්‍රශංසාවලට
ගිජු වී ක්‍රියා කිරීමට හා එසේ ක්‍රියා කරන අයට වැට බැඳීමට ධර්ම විනයධර ශාසනමාමක
භික්ෂූන් වහන්සේලා මෙන්ම සැදැහැවත් බුද්ධිමත් ගිහි පින්වතුන් ද ක්‍රියා කළ යුතුව
ඇත. පෙර රජුන් දවස මෙන් සංගායනාවක් කිරීම හෝ කතිකාවතක් සකස් කිරීම මෙහිලා වැදගත්වන
බව සඳහන් කළ යුතු ය. |