[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැවෙන සිත් නිවන්නට සුමිතුරෙකි සාහිත්‍යය

දැවෙන සිත් නිවන්නට සුමිතුරෙකි සාහිත්‍යය

"ලෝකයේ අඳුරත්, ආලෝකයත් එක් වූ හැම විටම එම අඳුර ආලෝකයට බියෙන් පැන යයි. අඳුරු කුටියකට පහනක් රැගෙන ගිය විට එහි අඳුර ආලෝකයේ කෙළවර දක්වා පැන යයි. අඳුරත්, ආලෝකයත් සටන් කොට ජයගත් අඳුරක් නැත."

සත්වයාගේ සම්භවය කවදා කෙසේ සිදු වූවා දැයි පැහැදිලි නිගමනයකට එළඹීමට තවමත් ලොව කිසිවෙකුටවත් නොහැකි වී ඇත.

ඒ කෙසේ වෙතත් මානවයින්ගේ ආරම්භයෙන් දීර්ඝ කාලයකට පසුව විවිධ තර්ක විතර්ක වාද විවාද මගින් ඔවුනොවුන්ගේ දාර්ශනික මතවාදවල සංවාදවෙමින් ඥාන ගවේෂණයට පෙළඹී ගිය අයුරු මානව ඉතිහාසයේ සටහන් වී ඇත. මෙමගින් සිදු වූයේ මානවයින් ලොව අනෙක් සියලු සත්වයින් අභිභවා මොළය සංවර්ධනය කර ගනිමින් ඥාන ගවේෂණයේ පෙර ගමන් කරුවන් බවට පත් වීමයි. මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් පමණක් මිනිසා සම්පූර්ණත්වයට පත් නොවන බවට තේරුම් ගත් බවක් වැටහී යන්නේ මානසික සුවයක් බලාපොරොත්තුවෙන් ආගම දහම තම සමීපතමයින් ලෙස සලකා කටයුතු කිරීමට නැඹුරු වීමෙන් ය. ආගම දහම මෙන්ම මානව සිතට මෙකී සහනසීලී ආස්වාදයක් ලබාදෙන අනෙක් සුවිශේෂී අංගය වන්නේ සාහිත්‍යයි. සාහිත්‍ය සේවනයට යමෙක් මෙහෙයවනු ලබන්නේ ඔහු තුළ උපන් අසීමිත මානව දයාවයි. එහෙයින් ම සාහිත්‍යකරුවා සොඳුරු හිතවතෙකි.

සාහිත්‍ය යනු සහෘදයා ආන්නදයෙන් ප්‍රඥාවට රැගෙන යාමය යන්න සාහිත්‍ය විෂය ක්ෂේත්‍රය කෙරෙහි දැක්විය හැකි පරිපූර්ණ එක් නිර්චනයෙකි. අනුරාධපුර යුගයෙන් පටන්ගත් සිංහල සාහිත්‍ය වංශ කතාව පෝෂණය වූයේ බෞද්ධ දර්ශනය මුල් කොට ගෙන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එකී සාහිත්‍ය හෙළයන්ගේ ගමන් මඟ යහපත් ව ධාර්මික ව ඉදිරියට පවත්වා ගෙන යාමට මහඟු පිටුබලයක් සපයා ඇත. මෙහි දී අපගේ ව්‍යායාමය වන්නේ සිංහල සාහිත්‍ය තුළ අනර්ඝ නිර්මාණයක් වන පොළොන්නරු යුගයේ විද්‍යාචක්‍රවර්තීන් විසින් රචිත බුත්සරණ නම් කෘතියෙහි සමුදයාර්ථය විමසා බැලීමයි. බුදුන්වහන්සේ නාලාගිරි ඇතා දමනය කිරීම නිරූපණය කළ අවස්ථාව ලොව සමස්ත මානවයින්ට ම විශිෂ්ටතම පාඩමක් කියා දෙයි. එම අවස්ථාව නිරූපණය කළ අයුරු මෙසේ ය.

“ඈතැ ධූලීන් වැසීගිය ඇත්රජ යැ, මෑතැ සවණක් ඝන බුදු රසින් සැදී ගිය බුදුරජාණො යැ; ඈතැ කෝපයෙන් රත් වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජ යැ, මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණො යැ; ඈතැ එබු එබූ පයින් මහ පොළොව පළාපියන්නා සේ දිවන ඇත් රජ යැ, මෑතැ එබු එබූ පයින් මිහි කත සනහ සනහා වඩනා බුදුරජාණො යැ; ඈතැ බැලු බැලූවන් ‘අනේ! අනේ!’යි කියවන ඇත් රජ යැ, මෑතැ බැලු බැලූවන් ‘සාධු! සාධු!’ යි කියවන බුදුරජාණොයැ. එවේලෙහි එ ඇතු ළං වත් වත් සැදැහැත්තෝ ළෙහි අත් ගසන්නට වන්හ, මුහුණැ අත් දෙන්නට වන්හ, බලා සිටියැ නො හෙම්හ’යි මුහුණින් හෙන්නට වන්හ”

රා කළ දාසයක් පානය කළ නාලාගිරි ඇතු පවුරු පදනම් බිඳගෙන දූවිලි ද අවුස්සමින් මහපොළව දෙදරවමින් ඉදිරියට දිව ඒම අතිශයින් ම චිත්තරූප මවන්නකි. කෝපයෙන් රත්පැහැ ගැන්වුණ යවට මෙන් ඇස් ඇති ඇතුගේ දර්ශනය කාගෙත් සිත්වල බිය උපදවන්නකි. මෙහි දී චක්‍රවර්තී ඇතා මුල් කොට ගෙන තම සදාදරණීය ශ්‍රාවක මනසේ පියවරෙන් පියවර ලෝකයේ බිහිසුණු බව ජනිත කරවයි. රළු ගොරෝසු අමිහිරි තිත්ත මනෝභාවයන් ඇතා මුල්කොට ගත් මේ නිර්මාණය මගින් ශ්‍රාවක මනසේ ලොව බිහිසුණු ගොඩගැසී ඇත.

නාලාගිරි ඇතු හා බුදුන්වහන්සේ හමුවේ දී බුද්ධ චරිතය නිරූපණය කළ අයුරු අතිශයෙන් ම ප්‍රශංසනීයයි. සවනක් රැස් විහිදවමින් වඩින උන්වහස්සේගේ ශ්‍රීපාදවලින් මහී කාන්තාව සනසමින් නිල්මහනෙල් පෙති පරයන ජනක්‍රාන්ත දෙනෙත්වලින් බබළන මුව කමල ශ්‍රාවකයින්ගේ මනසේ නිවුණ සැනහුණ සුන්දර මාවනවාදී හැඟීම් ජනිත කිරීමට සමත් වී ඇත.

බුත්සරණ කර්තෘ විද්‍යාචක්‍රවර්තී එම අවස්ථාව නිරූපණය කර ඇත්තේ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමේ අරමුණින් බව ඉතා පැහැදිලි ය. ආන්නදය යනු සතුටයි. මෙහි දී එකී සතුට ඇති කරන්නේ කතුවරයා භාවිත භාෂාව විරිත උපමා රූපක කාව්‍යාලංකාර ආදි කාව්‍යෝක්ති මගිනි. සහෘද මනසේ සාහිත්‍ය මගින් එකී ආනන්දය ඇති කොට අනතුරුව රැගෙන යන්නේ ප්‍රඥාව කරා ය. මෙහිදී ප්‍රඥාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු ය. එනම් යම් සාහිත්‍ය මාර්ගයක් මගින් කිසියම් සමාජ යථාර්ථයක් පාඨකයින් ට අවබෝධ කරවීමට සමත් වීම ප්‍රඥාවයි. එසේම, එකී සාහිත්‍ය කෘතිය පාඨකයින්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වන සර්වකාලීන කෘතියක් වේ. බුත්සරණ සාහිත්‍ය කෘතියේ යථෝක්ත නාලාගිරි දමන අවස්ථාව මගින් පාඨකයා වෙත සමීප කරනු ලබන ජීවිතාවබෝධය කෙරෙහි මෙහිලා විශේෂ අවධානය යොමුවිය යුතු ය. ලෝකයේ ගින්දර බිහිසුණු ය. එය චණ්ඩ පරුෂ රළු ස්වභාවයෙන් යුක්ත ය. ගින්දර වෙත සමීප වන සෑම දෙයක්ම අළු බවට පත් කොට විනාශ කොට දමයි. සියලු සත්වයෝ ද ගින්දරට අතිශයන් ම බිය වන්නාහ.

එසේ වුව ද එකී චණ්ඩ පරුෂ බිහිසුණු ගින්දර සීතල ජලය හමුවේ පරාජයට පත්වේ. සීතල ජලයත් සමග සටන් කොට ජයගත් ගින්දරක් ලෝකයේ නැත. හැම විටම ජය ගන්නේ බිහිසුණු ගින්දර පරාජය කරන සීතල ජලයයි. මෙය විශ්වයටම පොදු සාධාරණ ධර්මතාවයකි. ලෝකයේ අඳුරත් ආලෝකයත් එක් වූ හැම විටම එම අඳුර ආලෝකයට බියෙන් පැන යයි. අඳුරු කුටියකට පහනක් රැගෙන ගිය විට එහි අඳුර ආලෝකයේ කෙළවර දක්වා පැන යයි. අඳුරත් ආලෝකයත් සටන් කොට ජයගත් අඳුරක් නැත. ජය ගන්නේ ආලෝකයයි. එම නිසා අඳුර ගමන් කරන්නේ ආලෝකයට පසු පසිනි.

බුත්සරණ කතුවරයා ස්වකීය නිර්මාණයේ දී එම අවස්ථාව නිරූපණය කරන්නේ මානව සිත්තුළ ජනිතවන වෛරය ක්‍රෝධය තරහව ආදි චෛතසිකවල බිසිසුණු බව කරුණාව මෛත්‍රිය ආදි මානව දයාවේ සීතල වතුරෙන් තෙමා නිවිය හැකි බවයි. බුත්සරණ කතුවරයා ස්වකීය සහෘදයිනට මෙම අවස්ථා නිරූපණයෙන් ආරාධනා කරන්නේ වෛරයේ ගිනිදැල් මෛත්‍රියේ සීතල වතුරෙන් නිවා දැමීමට ඉඩසලසා දෙන ලෙසයි. එවිට මේ මුළු මහත් ලෝකයම ගිනිනිවී සුවපත් වන බව කතුවරයා මෙයින් ද්වනිත කරවයි.

වර්තමාන අප ජීවත් වෙන ලෝකය අතිශයින් ම විවිධ ය, විෂම ය, සමාචාරවලට වඩා විශමාචාරවලින් යුක්ත ය. මම කැමති දේට ඔබ අකමැති ය. ඔබ කැමති දේට මම ද අකමැති ය. මාගේ කැමැත්තට ඔබ අකමැති වන විට මම ඔබට විරුද්ධ වෙමි. ඔබගේ කැමැත්තට මා අකමැති වන විට ඔබ මට ද විරුද්ධ වන බව මම දනිමි.

ලෝකයේ දෙපිරිසකට එකම මතයකට සමීපවීමට නොහැකි වීම නිසා ප්‍රශ්නකාරී, ගැටලුකාරී නොනවතින ගැටලුවකට මුළු ලෝකයම හසු වී ඇත. එවන් ලෝකයක් සුවපත් කිරීමට ආගම දහම මෙන්ම සාහිත්‍යකරුවා දැඩි උත්සාහයක් දරා ඇත. එම සාහිත්‍ය හිතවත් ව පරිශීලනය කිරීම සුන්දර ලෝකයක් බලා පොරොත්තු වන අප කාගේත් යුතුකමකි. සීතල ජලයෙන් බිහිසුණු ගින්දර නිවා දමන්නාක් මෙන් වෛරයේ ගිනිදැල් නිවා දැමීමට අප වග බලා ගත යුතු ය. බුදුන් වහස්සේගේ අපරිමිත කරුණාව ඉදිරියේ ලෝකයේ දැවැන්තම සතා වන නාලාගිරි ඇතු දණ නමන්නේ ද මෙම සමුදයාර්ථය ලෝකයාට පසක් කරමිනි.

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk