[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත නිරවුල් නම් මරණය සොඳුරුය

සිත නිරවුල් නම් මරණය සොඳුරුය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සමයෙහි දිනක් උන්වහන්සේ හමුවට පැමිණි අනේපිඩු සිටුවරයා අමතා “ගෘහපතිය සිත අවුල් වූ කල්හී කායික කර්ම ද වාචසික කර්ම ද මානසික කර්මද අවුල් වෙයි. අවුල් වූ කාය කර්ම වචීකර්ම හා මනෝ කර්ම ඇති තැනැත්තාට යහපත් මරණයක් යහපත් කලුරිය කිරීමක් සිදු නොවේ” යනුවෙන් දේශනා කොට වදාළහ.

අංගුත්තර නිකායේ තික නිපාතයේ සම්බෝධි වග්ගයේ එන අටවන සූත්‍රයෙහි මෙම බුද්ධානුශාසනය ඇතුළත් වේ. සිත හා පුද්ගල චර්යාව අතර සම්බන්ධය මෙන්ම එහි බලපෑම කෙසේ ද? යන්න මෙමගින් පැහැදිලි වේ. සිත අවුල් සහගත වූ කල්හී පුද්ගලයා විසින් සිදුකරනු ලබන කායික වාචසික හා මානසික කර්ම සියල්ල අවුල් සහගත වේ. මිනිසාගේ සිත මෙන්ම චර්යාවත් හේතුඵල සන්තතියකට අනුව ක්‍රියාත්මක වේ. එසේම ඒ සියල්ල අන්‍යොන්‍ය සම්බන්ධතාවෙන් යුක්ත ය. මෙය බුදු දහමෙහි එන නාම-රූප විශ්ලේෂණයෙන් පැහැදිලිකොට ඇත. සිත පිළිබඳ බෞද්ධ විග්‍රහය අතිශය විසිතුරු මෙන්ම අතිශය ගැඹුරු එකකි. සිත කිලිටි වූ විට පුද්ගලයා කිලිටි වේ (චිත්ත සංකිලෙසා සත්ත සංකලිස්සන්ති) සිත පිරිසිදු වූ විට පුද්ගලයා පිරිසිදු වේ (චිත්තවෝදානා සත්තා විසුඡ්ඣන්ති). සිත කිලිටි වන්නේ ලෝභ දෝස මෝහ යනාදි සංකිලේස ධර්මවලින් ය. සිත තුළ ඇතිවෙන යහපත් මෙන්ම අයහපත් සිතිවිලි ක්‍රියාවට නැගෙන්නේ කාය වචනය හා සිත යන ත්‍රිවිධද්වාරයන්ගෙන්ය. සිත අපිරිසිදුවන සංකිලෙස ධර්ම රැසක් බුද්ධ දේශනාවෙහි ඇතුළත් වේ. එම මනෝභාවයන් අකුසල විතර්ක, නීවරණ, ක්ලේශ, උපක්ලේශ, අනුසය, ආසව ආදි වශයෙන් විවිධ නම්වලින් හඳුන්වා ඇත. කවර නාමයකින් හැඳීන් වුවද ඒ සියල්ලෙන් සිදුවන්නේ සිත අපිරිසිදු වීම ය.

සිත පිරිසුදු කිරීමට පෙර

බුදුරදුන්ගේ අනුශාසනය වූයේ සිත කිලිටි කෙරෙන කෙලෙස් ධර්ම ප්‍රඥාවෙන් දැන දැක බැහැර කළ යුතු බවයි. එසේ නුවණින් දැනගන්නාට හා දකින්නාට ආශ්‍රව බැහැර කළ හැකි බවත් එසේ නොදන්නාට හා නොදකින්නාට ආශ්‍රව බැහැර කළ නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ අනුව සිත පිරිසිදු කිරීමට පළමුව සිති කිලිටි කෙරෙන විවිධ කෙලස් ධර්මවල ස්වභාවයත් ඒවා ඇතිවන ආකාරයත් මැනවින් හඳුනා ගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා ධර්මය අධ්‍යයනය කිරීම හෝ ධර්මය දත් කෙනෙකු සමග සාකච්ඡා කිරීම කළ යුතුවේ. කට පාඩම් කිරීම කෙලෙස් ධර්ම නිසි ලෙස හඳුනා ගැනීම යනු වට්ටෝරුවක් ලෙස ඒ සියල්ල කටපාඩම් කිරීම නොවේ. කෙලෙස් ධර්ම නුවණින් දැකීම යනු ධර්මයේ විස්තර කෙරෙන එම කෙලෙස් ධර්ම තම සිතතුළ ක්‍රියාවට නැගෙන්නේ කෙසේද යන්න අත්දැකීම් මගින් වටහා ගැනීමයි. එසේම ඒවා ක්‍රියාවට නැගීමෙන් තමන්ට මහුණ දීමට සිදුව තිබෙන ආදිනව ඉන්ද්‍රීය ප්‍රත්‍ර්‍යක්‍ෂයෙන් වටහා ගැනීමයි. මෙසේ අතිදැකීම මගින් අවබෝධකරගන්නා තැනැත්තාට ඒ සියල්ල හේතුඵල සම්බන්ධයකට අනුව ඇතිවන බවත් නැතිවන බවත් දැකිය හැකි වේ. සන්තානගත කෙලෙස් ධර්ම ප්‍රභවය වන්නේ අයෝනිසෝ මනසිකාර හෙවත් නුවණින් තොරව මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. තම සිතෙහි පහළවන සියලු මනෝභාවයන් (කුශල හෝ අකුශල) නුවණින් මෙනෙහි කරන්නාට ඒවා වෙන්කර හඳුනාගත හැකිවේ. ඉතා සියුම්ව විමසා බැලීමේදි පෙනීයන්නේ ඒ සියල්ල ලෝභ දෝස මෝහ යන අකුශල මූලයන් හෝ අලෝභ අදෝස අමෝහ යන කුශල මූලයන් පදනම්කරගෙන ඇති බවයි.

මනස හැඳිනීම

මෙය ක්‍රියාවට නගන්නේ කෙසේද යන පුහුණුව සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා යටතේ දක්වා තිබේ. එහිදි කෙනෙකු තම සන්තානයේ

පහළවන විවිධ චිත්තවේග කවරේදැයි වෙන් වෙන් වශයෙන් හඳුනා ගනී මෙසේ ඒ ඒ චිත්තවේග දැකීමෙහිලා සතිය හෙවත් සිහිය දියුණු කිරීම අවශ්‍ය වේ. සතිය දියුණු කළ පුද්ගලයාට තම මනස හා එහි ක්‍රියාකාරිත්වය මැනවින් දැකිය හැකි වේ. ඉහතින් දැක්වූ සූත්‍ර දේශනාව අනුව මනස අවුල් සහගත වූ විට පුද්ගල චර්යාව ද අවුල් සහගත වේ. සිත අවුල් සහගත වන්නේ යථෝක්ත කෙලෙස් ධර්මයන්ගේ බලපෑමෙන් ය. කෙලෙස් ධර්මවලින් සිත අවුල් වීමට හේතුව සිහිය දියුණු නොකිරීමය යන්න පැහැදිලි ය. සිහිය දියුණු කළ තැනැත්තාට මනස හා එහි ක්‍රියාකාරිත්වය මැනවින් දැකිය හැකි අතර තමන්ගේ සිත තම වසඟයට ගෙන අකුසල සිතිවිලි වර්ධනය වීමට ඉඩ නොතබා පාලනය කරගැනීමට හැකි වේ.

සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන ආකාරයට සිත අවුල් වූ විට එහි බලපෑම නිසා කාය කර්ම වචී කර්ම හා මනෝකර්ම අවුල් සහගත වේ. ලෝභයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් යුත් මනසකින් ක්‍රියාවට නැගෙන්නේ අකුසල සහගත කායික වාචසික හා මානසික ක්‍රියා ය. ප්‍රාණඝාතය වැනි අකුසල ක්‍රියාවට පදනම් වන්නේ මනසේ පවතින ලෝභ දෝස මෝහ යන අකුසල චේතනාවලින් එකක් දෙකක් හෝ තුනමය. චේතනාව කර්මය යනුවෙන් බුදුරදුන් වදාළේ මෙම ක්‍රියාකාරිත්වය නිසයි. අකුසල චේතනා පදනම් කරගෙන තිදොරින් ක්‍රියාවට නැංවෙන සැම ක්‍රියාවක්ම අකුසල සහගත වේ. මෙසේ සිත අකුශල චේතනාවලින් අවුල් සහගත වූ විටෙක එහි ප්‍රකාශන මාධ්‍ය වන චර්යාවද අකුසල වේ. ඇතැම් විට එම අකුශල චර්යාව කායිකව සිදුවන ප්‍රාණඝාතාදි ත්‍රිවිධ දුශ්චරිතයක් හෝ, වාචිකව සිදුවන බොරු කීම ආදි සිව් වැදෑරුම් දුශ්චරිතයක් හෝ මානසිකව සිදුවන අභිධ්‍යාව ආදි ත්‍රිවිධ දුශ්චරිතයක් හෝ විය හැකි ය. කවර ආකාරයේ අකුසල කර්මයක් කළද එවන් තැනැත්තෙකුට යහපත් සොදුරු මරණයක් හිමි නොවන බව ඉහත සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ.

සෙවිලි නොකළ වහලය

මෙම ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ සිත්ගන්නා සුළු උපමාවක් භාවිත කරති. ඒ අනුව මැනවින් සෙවිලි නොකළ උස වහලක් සහිත කූටාගාරයක මුදුන ද, පරාළ ද, බිත්ති ද අවුල් සහගත වේ. නැතහොත් අපිළිවෙල ය. එසේම අනාරක්‍ෂිත ය. එමෙන්ම සිත නැමැති කූටාගාර වහල මැනවින් සෙවිලි නොකළහොත් ත්‍රිවිධද්වාරයෙන් සිදුවන ක්‍රියා නැමැති මුදුන ද පරාළ ද බිත්ති ද අවුල් සහගත වේ. එසේම අනාරක්‍ෂිත වේ. එහෙත් සිත නැමති කුළුගෙය මැනවින් සෙවිලි කළහොත් ත්‍රිවිධද්වාරය නැමැති මුදුන ද පරාළද, බිත්තිද නිරවුල් වේ. ආරක්‍ෂිත වේ. උපමාවට අනුව සමස්ත කුළු ගෙයිම ආරක්‍ෂාව රඳා පවතින්නේ මැනවින් සෙවිලි කළ වහලයේය. එය අවුල් වුවහොත් සෙසු කොටස් ද අසම්පූර්ණ වේ. එමෙන්ම පුද්ගල චර්යාවට පදනම වන මනස අවුල් වුවහොත් සියල්ල අවුල් සහගත වේ.

මනස නිරවුල් වන තරමට පුද්ගල චර්යාව ද නිරවුල් වේ. නිරවුල් මනසක් හිමි අයෙකුට සොඳුරු මරණයකට හිමිකම් කිව හැකි වේ. අනේපිඬු සිටුවරයාට දේශනා කළ ධර්මය අනුව සිත නිරවුල්ව තබා ගැනීම අනිවාර්ය වේ. බුදුරදුන් වදාළ ශික්‍ෂා පද සියල්ල තමාට රැකිය නොහැකියැයි ළතැවුණු එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරබයා බුදුරදුන් වදාළේ ඒ සියල්ල ගැන වද නොවී සිත පමණක් රැකගන්නා ලෙසයි. සිත රැකගැනීමට සතිය අවශ්‍ය වේ.

සතිය හෙවත් සිහිය දියුණුකළ පුද්ගලයාට නීතිය හෝ ශික්‍ෂාපද රැකීම පිළිබඳ අමුතු වෙහෙසක් අවශ්‍ය නොවේ. එයට හේතුව නීතිය හා ශික්‍ෂාපද කැඩීමට තුඩුදෙන අකුශල සහගත මනෝභාවයන් පිළිබඳ මනා දැක්මක් ඇති හෙයිනි. එබැවින් වඩා වැදගත් වන්නේ සිත රැකගැනීමය. නැතහොත් සිත නිරවුල්ව තබා ගැනීමයි. සිත නිරවුල් වූ විට චර්යාව නිරවුල් වන අතර එවැනි නිරවුල් සිතක් හා චර්යාවක් සහිත තැනැත්තාට නිරායාසයෙන්ම සොඳුරු මරණයක් හිමි වේ.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk