[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රෝගීන් අතර නිරෝගී වීම සැපයකි

රෝගීන් අතර නිරෝගී වීම සැපයකි

පුරා වසර හතළිස් පහක් පුරා බුදුරජානන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය සාරාංශ ගත කළ විට සෑම සත්ත්වයෙක් තුළම ප්‍රධාන ලක්ෂණ හතරක් ඇති බව තහවුරු වෙනවා.

එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ධර්මතාවයන්. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම යන ලක්ෂණ හතරෙන් ගැලවීමට හැකි සත්ත්වයෙක් මේ විශ්වයේම නැහැ. ඉහත කරුණු අතරින් මේ දිනවල අපට වඩාත් සමීප ව දැනෙන්නේ ව්‍යාධිය හෙවත් ලෙඩවීමයි. එයට හේතුව අද මුළු ලෝකයම කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳීමයි. මෙය ලෝකයේ මුලින්ම ඇතිවූ වසංගතය නොවේ.

ලෝක ඉතිහාසයේ මෙවැනි වසංගත විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විශාලා මහනුවර ඇති වූ රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂය නිසා තුන් බියක් හටගත් බව අප දන්නවා. එකල අහිවාතකනම් දරුණු රෝගයක් පැතිරුණු අතර එය පාලනය කිරීම සඳහා වර්තමානයේ භාවිතා කරන සමාජ දුරස්ථකරණය භාවිත වී තිබෙනවා. අහිවාතක රෝගය වැළඳුණු රෝගීන් බිත්තියක් බිඳගෙන හෝ වහළයේ උළු ගලවාගෙන ගිය බව සඳහන්වෙනවා.

මහාවංශයේ 36 වෙනි පරිච්ඡේදයේ සඳහන් වන ආකාරයට සිරිසඟබෝ රජතුමාගේ පාලන සමයේදී “රක්තාක්ෂි” නම් උවදුරක් ඇතිවී තිබෙනවා. එය අමනුෂ්‍ය බලපෑමක් නිසා ඇති වූ රෝගයක්. රජතුමා ඒ අවස්ථාවේදී උතුම් උපෝසථ ශීලයේ පිහිටා අමනුෂ්‍යයන් දමනය කර රට නිදහස් කරගත් ආකාරය මහාවංශයේ සඳහන් වෙනවා. තවත් අවස්ථාවකදී නියංසාය දුරු කිරීමට එතුමා විසින් මහාසෑයේ දැඩි අධිෂ්ඨානයක් සිදු කරනවා. අවසානයේ රටට වැසි ලැබී සෞභාග්‍යය උදා වූ බව එහි සඳහන් වෙනවා.

ලෝකයේ බලවතුන් අතර ශ්‍රීලංකාව ඉතා කුඩා රටක් ලෙස මේ වසංගත ව්‍යාප්තිය වළක්වා ගැනීමට කටයුතු කර තිබෙන ආකාරය ඉතා විශිෂ්ටයි. මේ නිසා අපට සැනසුම් සුසුමක් හෙළීමට හැකියාවක් තිබෙනවා. මේ මොහොතේදී අමනුස්සකමින් පිරුණු මිනිසුන් කොපමණ සිටියත් අප අතර තවමත් සත්පුරුෂ ගුණසම්පන්න දෙවියන් වැනි අන් අය වෙනුවෙන් කැපවුණු තම දිවි පරදුවට තබා කටයුතු කරන උත්තම පුරුෂයන් සිටින බවද තහවුරු කළා. ඒ අතර ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමා ප්‍රමුඛ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයන් ද විශේෂඥ වෛද්‍යවරුන් හෙද හෙදියන්, සුළු සේවකයන්ද, හමුදාපති ඇතුළු සියලු හමුදා නිලධාරීන්ද, පොලිස්පති ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආදී පිරිසද ජනමාධ්‍ය හා මහාසංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයින්ද සිහිපත් කළ යුතුය. අප රට තුළ යම් ආකාරයක රෝග පැතිරීමක් සිදු වී තිබෙන්නේ වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම නිසාම බව ප්‍රඥා ගෝචර පිරිසට පැහැදිලි වෙනවා.

එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ජාති, ජරා, ව්‍යාධි, මරණ යන විශ්වීය ධර්මතාවලින් අපට ගැලවීමට පුළුවන් කමක් නැහැ. ගිරිමානන්ද සූත්‍රයේදී මේ බව මනාව පැහැදිලි කෙරෙනවා. ආරෝග්‍ය පරමාලාභා” නිරෝගිකම උතුම්ම ලාභයයි. කොතරම් ධනය, බලය තිබුණද රෝගයකට යටත් වීමට සිදුවෙනවා. පංචකාමයෙන් උන්මාදයට පත් වී සදාතනිකව ජීවත් වීමට සිටි සියලු දෙනා තුෂ්නිම්භූත භාවයට පත් කරමින් මුළු ලෝකයම උඩු යටිකුරු කිරීමට මේ වයිරසයට හැකි වී තිබෙනවා. පෘතුගාලයේ ධනවත්ම බිලියනපතියකු හා බැංකු හිමිකරුවකු වන අන්තෝනියෝ පියර් මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වුණා. ”කොපමණ මුදල් තිබුණත් නොමිලයේ ලැබෙන හුස්ම ගැනීමට බැරිවීම නිසා මගේ පියා මියගියා” යනුවෙන් ඔහුගේ දියණිය ප්‍රකාශ කර තිබුණා. මිනිසා මානව පරිණාමයේ සිට අද දක්වා ආ ගමන් මගේදි ස්වභාව ධර්මයට එරෙහිව යාම නිසා ස්වභාව ධර්මය විසින්ම මිනිසාට පාඩම් උගන්වා තිබෙනවා. තවදුරටත් ස්වභාව ධර්මයට හානි සිදු කළහොත් සදහටම මිනිසා පෘථිවියෙන් අතු ගා දැමීමට සොබාදහම කටයුතු කරනු නොඅනුමානයි. මේ ගෝලීය වසංගත තත්ත්වය නිසා වාහන ගමනාගමනය අඩුවීම හේතුවෙන් පරිසර දූෂණය අවම වී තිබෙනවා.වෙනදා කොටු වී සිටි කුරුල්ලන්, වන සතුන් ස්වභාව සෞන්දර්ය විඳීමින් නිදහසේ සැරිසරන අයුරු පෙනෙනවා. එමෙන්ම මේ වසංගතය නිසා පවුලේ සාමාජිකයන් සමග වැඩිවේලාවක් එක්ව ජීවත්වීමට, වගා කටයුතු කිරීමට, නිවෙස් වල තිබූ අඩුපාඩු සකස් කිරීමට, පින් දහම් කිරීමට, පොත් කියවීමට අවස්ථාව ලැබුණා. මේ අවස්ථාවේදී මිනිසුන්ට ජීවිතය ගැන නැවත සිතීමට හොඳ අවස්ථාවක් ලබා දී තියෙනවා. ලද දෙයින් ජීවත්වන ආකාරය ඉගෙන ගැනීමට සිදුවීම, දිනකට විශාල ආහාර ප්‍රමාණයක් ඉවතට දමන රටකට ආහාර අරපිරිමැස්ම පුරුදු වීම, මත්පැන් බිඳක් තොල නොගා දිනයක් ගෙවා ගන්නට බැරි වූ පුද්ගලයන්ට කහට කෝප්පයෙන් යැපීමට සිදුවීම මෙහිදි සිදු වූ යහපත් සිදුවීම්. මේ සරල දිවි පැවැත්ම ජීවිතාන්තය දක්වාම පවත්වාගෙන යාමට අවශ්‍යයි. මේ වසංගතතත්ත්වයෙන් බේරීමට ඇති ධර්මානුකූල පිළිවෙත වන්නේ පිරිත් සජ්ජායනයයි. එදා විශාලා මහනුවර තුන් බිය දුරුකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළා.

එබැවින් රතන සූත්‍රය, ඛන්ධ පිරිත, අංගුලිමාල පිරිත ආදී දේශනා උදේ සවස දේශනා කර සත්‍ය ක්‍රියා කිරීම වැදගත්.

සුසුඛං වත ජීවාම
ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු
විහරාම අනාතුරා

රෝගීන් අතර නිරෝගීව සිටීම සැපයක්. රෝග පීඩා තිබෙන මනුස්සයන් අතර අප නිරෝගීව සිටිය යුතුයි.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]