[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රමාද වී පසු නොතැවෙන්න

ප්‍රමාද වී පසු නොතැවෙන්න

" සිල් රකින කෙනෙකුට ඕනෑම අතුරු ආබාධයකින් වැළැක්වීම සඳහා එය හොඳ පළිහක් බවට පාවිච්චි කරන්නට පුළුවන්. සීලයක් පිරූ කෙනෙකුට ඕනෑම මොහොතක දී තමන්ට උවදුරක් කරදරයක් එනවිට ඒ සීලය මෙනෙහි කරලා සත්‍යක්‍රියාවක් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා."


බුදු දහමේ ඉගැන්වෙන ශ්‍රේ්ෂ්ඨ ඉගැන්වීම් අතර සීලය ප්‍රධාන තැනක් ගනී. විශේෂයෙන් ම බුදු දහමේ සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් ත්‍රිශික්ෂාවක් ඉගැන්වේ.

ත්‍රිශික්ෂාව නම් මනුෂ්‍යයන් විසින්, සත්පුරුෂයන් විසින් පුරුදු පුහුණු කළ යුතු තත්ත්වයන් හැටියටයි හඳුනා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. එහි ප්‍රධාන අංගය හැටියට, භාග්‍යවතුන් වහන්සේ උගන්වන්නේ සීලයයි. එනම් සීලයෙන් තොර සමාධියක් අපට දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සමාධිය තුළින් ලබා ගන්නා වූ ප්‍රඥාවටත් සීලයයි පදනම බවට පත්වන්නේ. “යම් කිසි ගොඩනැගිල්ලක් සකස්වෙනවා නම්, එහි පාදම ශක්තිමත් විය යුතු වෙනවා. ඒ වගේ ම ආර්ය ශ්‍රාවකයා එසේත් නැති නම් යම් කිසි පුද්ගලයෙක් ආර්ය භාවයට පත්වීම සඳහා උත්සාහයක් ගැනීමේ දී ඔහු තුළ ගොඩනගා ගත යුතු ප්‍රධාන ලක්ෂණය වන්නේ සීලයයි.

බුදුරජාණන් වහන්සේගේ තවත් ඉගැන්වීමක් වන්නේ, මේ ලෝකයේ මනුෂ්‍යයන් ගොඩනගා ගත යුතු ආර්ය ධනයන් හතක් පිළිබඳව. ඒ ආර්ය ධනයන් හත අප හඳුන්වන්නේ සප්ත ආර්ය ධනය යනුවෙනි. සප්ත ආර්ය ධනය, එනම් ශ්‍රේෂ්ඨ වූ උසස් වූ ධනයන් හතක්. මේ ලෝකයේ කොයි කවුරුත් මේ ධනයන් හත සම්පූර්ණ කර ගැනීමට උත්සාහවත් විය යුතු වෙනවා. එහි පළමු ධනය වන්නේ සද්ධා ධනං, සීල ධනං පළමු ධනය ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව තුළින් සීලය ගොඩනැගෙන්නේ. ත්‍රිශික්ෂාවන් හි මුල සීලය හැටියට හඳුන්වනවා. සීලය ගොඩනගන්නට නම් ශ්‍රද්ධාව තිබිය යුතු වෙනවා. ශ්‍රද්ධාව පසුබිම් කරගෙනයි, සීලය ගොඩනැගෙන්නේ. සීලය පදනම් කරගෙනයි සමාධිය ගොඩනැගෙන්නේ. ඒ තුළිනුයි ප්‍රඥාවට යා හැකි වන්නේ.

ඒ වගේ ම දස රාජ ධර්ම අතර බුදුරජාණන් වහන්සේ දෙවැනි තැන් හි ලා හඳුන්වනවා. “දානං සීලං පරිත්‍යාගං” කියා. සීලය බලවත් වෙනවා, පාලනයක් ගෙනයෑම තුළ දී. නායකත්වයක් දැරීම තුළ දී තමන්ට තමන්ගේ ඉන්ද්‍රියයන් යම් සංයමයකින් තබා ගත නොහැකි නම් ඔහු අසාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ නිසා රාජ්‍ය කරන රජ දරුවන් පවා ඉන්ද්‍රිය සංවරය පිණිස සීලය ආරක්ෂා කළ යුතු වෙනවා. “කාය වාචානං සමොදානං සීලං” සීලයේ ප්‍රධාන ඉලක්කය වන්නේ කය, වචනය දෙකෙහි සංවරය බවයි. මනාසික ඒකාග්‍රතාවය භාවනාවෙන් ඇති කරන විට, සීලය කයෙහි සංවරයත්, වචනයෙහි සංවරයත් අපේක්ෂා කරනවා. ඒ නිසා දස රාජ ධර්මය උගන්වන තැන දී, දස පාරමිතා උගන්වන තැන දී බුදුරජාණන් වහන්සේ සීලය අනිවාර්ය අංගයක් හැටියට පුරුදු පුහුණු කළ යුතු බවට දේශනා කර තිබෙනවා.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් අපට දැනගන්නට පුළුවන් සීලය බිඳගත් කෙනෙකුට කිසිදු ආර්ය මාර්ග තත්ත්වයකට ළඟාවිය නොහැකි බව. ඒ නිසයි උපසම්පදා භික්ෂූන් වහන්සේලා තමන්ගේ අතින් යම් අඩුපාඩුවක් සිදු වූ වේ නම්, වැඩිමහල් භික්ෂුවකට ඒ බව දන්වා එයින් පිරිසුදු විය යුතු වන්නේ. මේ කාර්යය නැතිනම්. පවිත්‍රත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ය. ඒ නිසා ගිහි වේවා, පැවිදි වේවා කිසියම් සීලයක පිහිටා සිටීම අනිවාර්යය අංගයක් වෙනවා. නැතිනම් කායික වශයෙනුත් වාචික වශයෙනුත් පුද්ගලයා තුළින් දුශ්චරිත බිහි වීමේ ප්‍රවනතාව ඉහළ තලයට පත්විය හැකියි. දිනක් බුදුරජාණන් වහන්සේ චුන්ද හිමියන් අමතා සිදු කරන ප්‍රකාශය ඉතාම බලවත් “චුන්දය ශ්‍රාවකයන්ට හිතවත් වූ ඔවුන්ට අනුකම්පා කරන යම් ශාස්තෘවරයෙක් මේ ලෝකයේ සිටී ද, ඒ ශාස්තෘවරයා විසින් තම ශ්‍රාවකයන්ට කළ යුතු යුතුකම් සියල්ලක් ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ද ඔබට දේශනා කරයි. චුන්දය අර තිබෙන්නේ රුක් මුල්ය. ශුන්‍යාගාර ය. එබැවින් ධ්‍යානය සඳහා යොමු වන්න. ධ්‍යානය නම් භාවනාව යි. භාවනාවෙහි නිරතවන්න. පමා නොවන්න එසේ නොකර පසුබට වන ඔබට අනාගතයේ දී විපලිසර තත්ත්වයක් ඇති කර නොගන්න කියා. එසේ නැතිනම් චුන්දය පමා නොවන්න. පමා වී පසුතැවෙන්න එපා. යන්නෙන් බුදුරජාණන් වහන්සේ චුන්ද හිමියන්ට දේශනා කරනවා.” මෙම කාරණාවෙන් අපට පැහැදිලි වන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ අප කෙරෙහි මොනතරම් අනුකම්පාවකින්, මොනතරම් උවමනාවකින් අපව මේ සසර දුකින් මුදවීම සඳහා අනුශාසනා කර තිබෙනවා ද? මඟ පෙන්වා තිබෙනවා ද? චුන්දය පමා නොවන්න, පමා වී පසුතැවෙන්න එපා යනුවෙන් කරන කාරුණික දේශනය අපි කොයිකාටත් තදින් සිතට දැනෙන කාරණාවක්. ඒ නිසා සීලය පිරීමට අදින් අධිෂ්ඨාන කර ගන්නට ඕනේ. තමන්ගේ ජීවිතය එක සිල්පදයක් හෝ ආරක්ෂා කර ගැනීමට පෙළඹෙන්නේ නම් එය විශාල ආධ්‍යාත්මික ශක්තියක් බවට පත්වෙනවා. බාහිිරෙන් අපට සිදුවන්නට තිබෙන උවදුරු වළක්වා ගැනීමේ හොඳ පළිහක් බවට සීලය පත්වෙනවා. ජිවන දැකීමට අවශ්‍ය වන නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය හොඳ පහන් ආලෝකයක් බවට ද පත්වෙනවා.

දිනක් දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියෝ බිමට දන ගසා වන්දනා කරන අවස්ථෘවේ දී මාතලී දිව්‍ය පුත්‍රයා මෙලෙස අසන ලදී. දෙදෙව් ලොවට අධිපති වූ ඔබතුමා මොකද මේ මනුෂ්‍ය ලොවට වන්දනා කරන්නේ යැයි කියා. ඒ අවස්ථාවේ දී ශක්‍ර දෙවියෝ මාතලී දිව්‍ය පුත්‍රයාට මෙසේ ප්‍රකාශ කරනවා. “මාතලී, මේ මනුෂ්‍ය ලෝකයේ යම් කිසි ගිහියෙක් පින්කම් කරමින්, සිල්වත් ව සිටිමින් කටයුතු කරන උපාසකයෙක් වේද? ඒ උපාසකයා ධාර්මික ජීවන උපාය ක්‍රමයන් අනුගමනය කරමින් අඹු දරුවන් පෝෂණය කරමින් ඉන්නවා ද? මාතලී මම ඒ තැනැත්තන්ට වන්දනා කරනවා” යැයි ශක්‍ර දෙවියෝ සඳහන් කරනවා.

මෙයින් පැහැදිලි වන්නේ සීලයක් පුරන කෙනෙක් දෙවියන් ඉදිරියේ යදින්නට යන්නේ නැහැ. ගිහි වේවා පැවිදි වේවා යම් කිසි කෙනෙක් දෙවියන්ගෙන් යදිමින්, දෙවියන්ගෙන් ඉල්ලමින් සිටිනවා කියන්නේ ඔහුට තමන් පිළිබඳව ප්‍රතිපත්ති පුරලා ආධ්‍යාත්මික ශක්තියක්, එසේ නැතිනම් අභිමානයක් නැති පුද්ගලයෙක් බවට පත්වෙලා තිබෙනවා. එයයි අප සඳහන් කළේ සිල් රකින කෙනෙකුට ඕනෑම අතුරු ආබාධයකින් වැළැක්වීම සඳහා එය හොඳ පළිහක් බවට පාවිච්චි කරන්නට පුළුවන්. සීලයක් පිරූ කෙනෙකුට ඕනෑම මොහොතක දී තමන්ට උවදුරක් කරදරයක් එනවිට ඒ සීලය මෙනෙහි කරලා සත්‍යක්‍රියාවක් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. වට්ටක ජාතකය සත්‍යවාදීකමේ ප්‍රතිමූර්තියක් . ඒ නිසා කොයි කවුරුත් කායික වශයෙනුත්, මානසික වශයෙනුත් සුවපත්වීම සඳහා සීලය පිරීම අත්‍යවශ්‍ය වෙනවා.

සීලයේ අනුසස් ලෙස ගත් විට උපදින සෑම භවයක දී ම මනා වූ රූපසම්පත්තියක් ඇතිව උපදින්නට හැකියි. විශේෂයෙන් ම කාමමිච්ඡාචාරය වැනි දුසිරිත්වලින් වැළැකී බ්‍රහ්ම චරියාව වැනි සුසිරිත්වල යෙදෙන අයෙක් උපදින සෑම භවයකදී ම ඉතාමත් ම ශෝභා සම්පන්නයි.

ඉතාමත් ම උපදිසම්පත්තියෙන් යුක්ත පුද්ගලයන් හැටියට උත්පත්තිය ලබනවා. ඒ වගේ ම කීර්තිය, ප්‍රශංසාව, නම්බුනාම මේ සියල්ලත් සීලයේ අනුසස් ලෙස සසර පුරාවට ම උරුම කර ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ කල්පනාවට ගන්නට ඕනෑ තමන් මෙතෙක් ආරක්ෂා කළ යම් සිල්පදයක් වේ නම්, ඒ සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්න අවශ්‍යයයි.

බුදුරජාණන් වහන්සේ වරක් අප කෙරෙහි විශ්වාසයක් තබනවා. එනම් මගේ ශ්‍රාවකයෝ නම් ජීවිත හේතුවක් නිසාවත් ශික්ෂා ගරුත්වය ඉක්මවා යන්නේ නැහැ යන්නයි. ඒ නිසා මොනම අමාරු අවස්ථාවකදී වූවත් දිවි දෙවැනි කොට සිල්වත් වන්නට, සිල්පද ආරක්ෂා කරන්නට අධිෂ්ඨාන කර ගන්න. සැබවින් ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වන්නට උත්සාහ කරන්න.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]