[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපත් සමාජයකට බෞද්ධ ආචාර ධර්ම

යහපත් සමාජයකට බෞද්ධ ආචාර ධර්ම

" නිවන් අවබෝධ කිරීමට විදර්ශනා ප්‍රඥාව අවශ්‍ය වන්නා සේම පින් සිදු කර ගැනිමෙන් ඊට සුදුසු පරිසරය සකසා ගෙන තිබිය යුතු ය. කෙතරම් බණ භාවනා කළත් පින් මදි නම් ඔහුට නිවන් අවබෝධය දුරස් වනු ඇත."

බෞද්ධ පින්වතුන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව වැඩි වශයෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි නියැළෙන කාල පරිච්ඡේදයකට අපි එළඹ සිටිමු. එනිසාවෙන් ම බෞද්ධයන් විසින් සිදු කරන පුදපූජා සහ බෞද්ධ ආචාර මාර්ගය පිළිබඳ යම් විමසීමක් කිරීම කාලෝචිතයැයි සිතමි.

බුද්ධ දේශනය සම්පුර්ණයෙන්ම ආගමක් නොව දර්ශනයකි. එහෙත් එම දර්ශනය තුළින් සකස්වුණු සාමාජයීය ලක්ෂණ ආගමික සංස්කෘතිය වශයෙන් හැඳීන්විය හැකි ය. මේ අනුව බෞද්ධයා තුළ මුල්බැසගෙන ඇති බෞද්ධ සංස්කෘතික ලක්ෂණ බෞද්ධ ආගම වශයෙන් වෙන් කළ හැකි ය. සමාජයක් ගොඩනැඟීමේදී සත්‍ය වශයෙන්ම ඒ හා සබැඳී යහපත් යැයි සම්මත සාර ධර්ම පද්ධතියක් නොමැති නම් එම සමාජයේ ගොඩනැගීම් කෙලෙස සිදුවේදැයි සිතාගැනීම වත් අපහසුය. බෞද්ධයා තුළ මුල් බැසගෙන ඇති උත්සව, පෙරහර, බුද්ධ පුජා, බොධි පුජා, දානාදි පින්කම් ඔවුන්ගේ සංස්කෘතිය පිළිබද හෙළිදරව් කිරිමකි.

බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ඨාව වන නිවන සාක‍ෂාත් කර ගත හැක්කේ සාදාචාරය මගින් මිස දුරාචාරය මගින් නොවේ. ඒ ආවසානික නිෂ්ඨාව දෙසිනි. එපමණක් නොව මෙලොව පරලොව දෙකේ සැපවත් ජිවිතයක් ගත කළ හැක්කේ ද සදාචාරය මගිනි. එම සාදාචාර ධර්ම පින් සහ පව් වශයෙන් බුදු දහමේ උගන්වා තිබේ. ඒ අනුව විවිධාකාර වු පුද පුජා, පින්කම් වශයෙනුත් ඊට ප්‍රතිිවිරුද්ධ දේ පව්කම් වශයෙනුත් සඳහන් කළ හැකිය. මිහිදු හිමියන් ලක්බිමට වැඩමවන විට විවිධාකාර වු පුද පුජා හා ඇදහිලි ක්‍රම රාශියක් මිනිසුන් අතර තිබු නමුත් උන් වහන්සේ ඒවා එකහෙලාම අසාර දේ ලෙස ප්‍රතික‍්ෂේප කොට බැහැර කළේ නැත. ඒ වෙනුවට නව අර්ථකථන සමඟ ඒවා යළිත් මිනිසුන්ට හඳුන්වා දුන් අතර එම පුද පූජා අඩු වැඩි වශයෙන් අද දක්වාත් මිනිසුන් අතර දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ කිසියම් ක්‍රියාවක හොඳ, නරක විමසීමේ දී වඩාත් නිවැරදි මිම්මක් ධම්මපදයෙන් හඳුන්වා දී තිබේ.

තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො - විපාකං පට්සෙවතී
නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පතී
යස්ස අස්සමුඛො රොදං - විපාකං පටිසෙවති

මෙය මෙලොව, පරලොව සහ පුද්ගල මානසිකත්වය ගැන සිතා කළ දේශනාවකි. ඉන් ප්‍රකට වන්නේ යමක් කොට පසුතැවිලි නොවේ ද, එහි විපාකය ලැබෙන විට සතුටුදායක ප්‍රතිඵල ගෙනදේ ද, එම කර්ම කිරීම යහපතකි. එය සාදාචාරයයි. පසුතැවිලි ගෙන දෙන, දුක් විපාක ගෙන දෙන කර්ම කිරීම අයහපතකි. එය දුරාචාරයකි.

මෙම දේශනාවෙන් බුදු දහමේ ආචාර මාර්ගය පිළිබඳව අපට යම් අවබෝධයක් ලබාගත හැකි ය. පැහැදිලිවම බුදු දහම හා සබැඳි මෙම සියලූම පුද පුජා බෞද්ධ පින්වතුන් සිදු කරනු ලබන්නේ මානසික සුව සහනය සඳහා ය. ඉන් දුක් විපාක ගෙන දේ නම් අයහපත් නම් කවර කලෙක වත් ඔවුන් ඒවාට නොපෙළඹෙනු ඇත. මින් වඩාත් පැහැදිලි වන කරුණක් වන්නේ බුදු දහමේ ඉගැන්වෙන ආචාර ධර්ම පින්, පව් වශයෙන් මෙන්ම නිර්වාණගාමි ප්‍රතිපාදාවේ එක් පැතිකඩක් වශයෙන් ද විග්‍රහ කළ හැකි බවයි. බෞද්ධයා විවිධාකර වු පුද පුජාවන් සිදු කරනු ලබන්නේ ලෞකික අර්ථ සිද්ධිය අපේක්‍ෂාවෙන් නොව හුදෙක් පරලොව ශුභ සිද්ධිය සලසා ගෙන ම ය. එහිදි හෙතෙම ප්‍රථමයෙන්ම කරනු ලබන්නේ පංච ශිලය සාමාදන් විමයි.

තෙරුවන් වන්දනා කිරීම පින්කමක් වන අතරම සමසතළිස් භාවනා ක්‍රම අතුරින් භාවනා ක්‍රමයක් ද වෙයි. සිත සමාධි ගත කර ගැනිමට අවශ්‍ය කරන භාවනාවක් ඉන් සිදුවේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආචාර මාර්ගය බුද්ධිගෝචර සහ විචාරාත්මක එකක් බව පෙනෙයි. සියලූ බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව ලෙස මෙම ආචාර මාර්ග කෙටියෙන් හකුළුවා දැක්විය හැකිය.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

මෙයින් ප්‍රකාශ කෙරෙන්නේ කායික, වාචයික, මානසික වශයෙන් සිදුකෙරෙන ත්‍රිවිධ වු පාපයන් හෙවත් දුරාචාර නොකිරීමත්, කුසල් එක්රැස් කිරීමත් සිත දමනය කිිරීමත් සියලූ බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව බවයි. නිර්වාණගාමී ප්‍රතිපදා මාර්ගයේ ප්‍රථම පියවර වන්නේ ශීලයයි. ඉන් චරිත සංවර්ධනයක් සිදුවෙයි. එහෙත් ශීලයෙන් පමණක් නිවන් අවබෝධ කළ නොහැකි ය. සමාධියෙන් සිදුකරනු ලබන්නේ සදාචාරාත්මක හික්මීම පදනම්කොට ගෙන සකසාගත් ආධ්‍යාත්මය සංවර්ධනය කර ගැනිමයි. මෙහිදි අත්‍යවශ්‍යම දෙය වනුයේ ප්‍රඥාවයි. ඒ අනුව පෙළෙහි ශිල, සමාධි, ප්‍රඥා යනු ත්‍රිශික්ෂාව හැටියටත් එය විස්තර කිරීමේ එක් මාධ්‍යයක් ලෙස ආර්යය අෂ්ඨාංගික මාර්ගයත් ඉදිරිපත් කර ඇත. විසුද්ධි මාර්ගය ලියැවෙන්නේ දේවතාවකු විසින් නගන ලද පැනයකට ලැබෙන පිළිතුරු ගාථාව පදනම් කරගෙන ය. එනම්,

සිලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයේ ජටං

කෙලෙස් තවන, වීර්ය ඇති භික්‍ෂුව ශිලයේ පිහිටා සිතත් ප්‍රඥාවත් වඩා මේ අවුල ලිහන්නේයැයි, ඉන් පැවසෙයි. මෙහිදි ශීලය වශයෙන් ගැනෙන්නේ කාය, වාක් දෙකේ සංවරයයි. සිත වැඩිම යනු සාමාධිය යි. ප්‍රඥාව යනු විදර්ශනාව වැඩිමයි. මෙහිදි පැන නගින ගැටලුවක් වන්නේ මෙවන් ධර්ම පාර්යායක් තුළ මෙම ආගමික පුද පූජාදිය කෙලෙස අර්ථවත් කළ හැකිද? යන්නයි. ඒ පිළිබද විචාරයක යෙදෙන්නෙකුට තර්කානුකුලව විමතියක් ඇතිවිය හැකිය.

නිවන් අවබෝධ කිරීමට විදර්ශනා ප්‍රඥාව අවශ්‍ය වන්නා සේම පින් සිදු කර ගැනිමෙන් ඊට සුදුසු පරිසරය සකසා ගෙන තිබිය යුතු ය. කෙතරම් බණ භාවනා කළත් පින් මදි නම් ඔහුට නිවන් අවබෝධය දුරස් වනු ඇත.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]