[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 04 කොටස: පද්මසිරිට සුනඛ ප්‍රහාරයක්

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 04 කොටස:

පද්මසිරිට සුනඛ ප්‍රහාරයක්

පද්මසිරිගේ ඔලුව තෝන්තු වී ඇත. අඩවන් වූ සිහියෙන් ඔහු හතර අත බැලූවද ඔහුට ක්ලාන්ත වන ලකුණු පෙනෙන්නට විය. සියල්ලෝම තැති ගත්හ. පද්මසිරිට අනතුරක් වේයැයි ඔවුහු සිතූහ. පද්මසිරි බිම දිග ඇදුණු ගමන් ය.

නාගදීප විහාරාධිපතිව වැඩ සිටි රන්දොඹේ සෝමසිරිතිස්ස නාහිමියන් අපවත් වී තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් කුල දරුවන් කිහිප දෙනෙක් පැවිදි කරවන්නට එහි නව විහාරාධිපති ධුරයට පත් බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති නා හිමියෝ කටයුතු කළහ.

නවදගල බීටින් මහතාගේ බාලම පුත‍‍්‍රයා වූ පද්මසිරි නාගදීපයට පැමිණෙන්නේ ඒ අනුවය. පැවිදි වන්නට ගියද ඒ ගැන වගක් නොවූ පද්මසිරි විහාරස්ථානයේ සිටි තවත් ගැටවු තිදෙනෙක් හා දෙමළ ගැටවුන්ද සමඟ කණේරු මල් කැඩීමට ගියේය.

දෙමළ තරුණයින් ගස්වලට නැඟ කැඩූ මල් ඇහිලුවේ විහාරස්ථානයේ සිටි සිංහල ගැටවුන් විසිනි.

මල් එකතු කරමින් සිටියදී අශ්වයකුගේ පෙනුම ඇති දැවැන්ත කලු සුනඛයෙක් එක්වරම කැළෑවෙන් මතු විය. සුනඛයා මල් අහුලමින් සිටි පද්මසිරි වෙත කඩා පැන්නේය. ඒ දත් විළිස්සාගෙන මහ හඬින් බුරාගෙන ය. පද්මසිරි බිම ඇද වැටුණේ ය. සුනඛයා දත් විළිස්සාගෙනම පද්මසිරි බිම පෙරළා ගත්තේ ය. ගස් උඩ සිටි දෙමළ තරුණයින් පිරිස දනි පනි ගා ගස්වලින් බිමට පැන පොලු පහර දී සුනඛයා එළවා දැමූහ.

පද්මසිරිගේ ඔලුව තෝන්තු වී ඇත. අඩවන් වූ සිහියෙන් ඔහු හතර අත බැලූවද ඔහුට ක්ලාන්ත වන ලකුණු පෙනෙන්නට විය. සියල්ලෝම තැති ගත්හ. පද්මසිරිට අනතුරක් වේයැයි ඔවුහු සිතූහ. පද්මසිරි බිම දිග ඇදුණු ගමන් ය.

‘‘යේක... අප්පිල දැන් මොකද කොරන්නෙ..‘‘ දෙමළ තරුණයෙක් ඇසී ය.

දයාවංශ පද්මසිරිගේ සිරුර පුරා පරීක්ෂා කරන්නට විය.

‘‘බල්ලා කාලා නැහැ, අඩු ගානෙ සීරුම් පාරක්වත් නැහැ.‘‘

‘‘අම්මෝ ඇති යන්තම්“ සියල්ලෝම සැනසුම් සුසුම් හෙළූහ.

අසල පිහිටි කුඩා පැල්පතක් බඳු නිවසකට ගිය ඔවුහු වතුර පොල්කටුවක් ගෙනවිත් පද්මසිරිට බොන්නට දුන්හ. ඔහුගේ මුහුණට ද ටිකක් ඉස්සේ ය.

විනාඩියකින් දෙකකින් පමණ පද්මසිරි ප්‍රකෘති තත්ත්වයට පත් විය. පද්මසිරි නැගිට්ටේ ය.

‘‘නායක හාමුදුරුවන්ට නම් මුකුත් කියන්න එපා“ පද්මසිරි ලොකු ඉල්ලීමක් කෙළේ ය.

“මල්ලියාට.... අමාරුව ඇවිල්ල නැහැ නේද“ තවත් දෙමළ තරුණයෙක් විමසුවේ ය.

පද්මසිරි සිනා සී ඇගේ තිබුණු වැලි ගසා දමා නැඟිට්ටේ ය.

‘‘අපි යං....“ පද්මසිරි ඉස්සර විය.

කණේරු මල් රැගෙන දෙමළ තරුණයන් ඒවා අලෙවි කිරීමට විහාරයේ පිවිසුම් දොරටුව අසලට ගිය අතර පද්මසිරි ඇතුළු පිරිස සෙමෙන් සෙමෙන් විහාරස්ථානයට පැමිණ කිසිත් සිදු නොවූ අයුරින් කාමරවලට රිංගූහ.

එහෙත් සවස් වන විට පද්මසිරිට උණ ගැනුණි. වෙව්ලීමට තරම් වන අසනීපයක් ඔහුට ඇති විය. ඔහු කෙඳීරි ගාන්නට විය. කෙඳීරිය ඇසුණු සින්නදොරේ පැමිණ පද්මසිරිගේ නළලට අත තබා උණ බලා වහා දිව ගියේය. ක්ෂණයකින් ධම්මකිත්ති නා හිමියෝ කාමරයට වැඩියහ. සින්නදොරේද පසුපසින් පැමිණියේය.

‘‘දෙයියෝ සාක්කි සහලෝලා උණනෙ‘‘ නළලට අත තබා බැලූ නා හිමියෝ කීහ.

උන් වහන්සේ ප්‍රේමරත්න, දයාවංශ සහ හෙක්ටර් කාමරයට කැඳවූහ.

‘‘ඇත්ත කියපල්ල කොහොමද මේ හොඳට හිටිය පද්මසිරිට උණ ගැනුණේ‘‘

පද්මසිරි අඩවන් ඇස් විවර කර දයාවංශ ඇතුළු තිදෙනා දෙස හොරැහින් බලා ‘කියන්නට එපා‘ යැයි ඉඟි කරන්නට උත්සාහ කළද එය සාර්ථක සංඥාවක් නොවී ය.

හෙක්ටර් ගොත ගසන්නට විය.

‘‘බ.... බ...බල්ලෙක්‘‘

‘‘ඔව්, ඔව්. ඉතින් බල්ලෙක් කෑවද?‘‘ නායක හාමුදුරුවෝ ඇස් ලොකු කරමින් ඇසූහ.

‘‘නැ.. නෑ...... පැන්නා, එච්චරයි..‘‘

‘‘මේක බලාගෙන ඉඳල හරියන්නෙ නැහැ‘‘

සින්නදොරේ දෙසට හැරුණු නායක හාමුදුරුවෝ, ‘‘ තිරිනාවුකරසු දොස්තර මහත්තය ගෙන්න ගන්න තිරික්කලේ ලෑස්ති කරමු හනිකට“ යනුවෙන් පැවසූහ.

එසේ පවසමින් නායක හාමුදුරුවන් පිටතට වඩිනු පද්මසිරිට යන්තමට පෙනුණි. හෙක්ටර්, ප්‍රේමරත්න හා දයාවංශද ඒ සමඟම පිටත් වූහ. අඩවන් වූ පද්මසිරිගේ දෙනෙත් ඉදිරියේ පෙනුණේ සින්නදොරේ පමණි.

වරක අඩ අවදියෙන් හා වරෙක නින්දෙන් මෙන් පද්මසිරිගේ සිත දෝලනය වන්නට විය.

දොරකඩ සිටි සින්නදොරේ පද්මසිරි දෙස රෞද්‍ර බැල්මක් හෙළීය. ඔහු අත ලොකු දොර පොල්ලක්ද විය. ඒ සමගම නායක හාමුදුරුවන් කාමරයට වැඩම කරනු පද්මසිරි දුටුවේය. නායක හාමුදුරුවන් පිටුපසින් සිටි සින්නදොරේ දොර පොල්ලෙන් නායක හාමුදුරුවන්ගේ හිසට දෑත බදා පොලු පහරක් එල්ල කරනු පද්මසිරි දුටුවේය. සින්නදොරේ වියරු වැටුණකු මෙන් දත් හපමින් සිටියේය. පද්මසිරි ඇෙඳන් පැන හාමුදුරුවන් හා සින්නදොරේද පෙරළාගෙන දිව්වේය.

‘‘මෙන්න සින්නදොරේ නායක හාමුදුරුවන්ට ගහනවෝ, බේරගනියෝ‘‘

කාමරයෙන් එළියට පැන ආ පද්මසිරි විහාරස්ථානයේ මිදුලට පැන කෑගසන්නට විය.

‘‘සින්නදොරේ හාමුදුරුවන්ට ගහනවෝ, බේරගනියෝ‘‘

විහාරයේ ඇතුළත මල් දෝතින් ගත් වන්දනාකරුවන් පද්මසිරි දෙස බලන්නට විය. පද්මසිරි කෑගසමින් විහාරයෙන් එළියට පැමිණ පාර දිගේ කෑගසමින් දුවන්නට විය.

“ඔන්න ඔය පොඩි කොල්ලව අල්ල ගනිල්ලා උණ විකාරෙන් දොඩවලා පැනල දුවන්නේ‘‘ පද්මසිරිගේ පිටි පස්සෙන් කිහිප දෙනකුගේ හඬ ඇසිණි. ඒ සමඟම වන්දනාකරුවන් කිහිප දෙනකුගේ ග්‍රහණයට පද්මසිරි අසු විය. සින්නදොරේ පද්මසිරිව ඔසවා ගත්තේය. දයාවංශ හා හෙක්ටර්ද පිටි පස්සෙන් ගමන් කරන්නට විය.

පද්මසිරිගේ කෑගැසිල්ලට අවට නිහඬ වී ඇත. පද්මසිරි කාමරයට ගෙනවිත් ඇෙඳ් හාන්සි කරවා සින්නදොරේ කාමරයෙන් ගියේ හෙක්ටර් එහි මුරට තබමිනි. ඒ සමඟම පද්මසිරිට පියවි සිහිය ලැබුණි.

නාගදීප රෝහලේ වෛද්‍යවරයා වූ තිරිනාවුකරසු මහතා පන්සලට පැමිණියේ තවත් සේවකයකු සමඟ ය. කුමන වෛද්‍ය අවශ්‍යතාවයක් වුවත් පන්සලට පැමිණීමට ඔහු කටයුතු කළේය.

‘‘පැවිදි පින්කමට තව දවස් දෙකයි මහත්තය තියෙන්නෙ, බලන්නකො මේ ළමයින්ට මේ දවස් ටිකවත් එක විදිහට ඉන්න බැරි හැටි‘‘ නායක හාමුදුරුවෝ වෛද්‍යවරයාට පවසන්නට වූහ.

‘‘හරි, හරි, මම වෙලාවට සනීප කරල දෙන්නම්‘‘ වෛද්‍යවරයා සිනාමුසු මුහුණකින් නායක හිමියන් දෙස බැලුවේ ය. ඔහු ගෙනා බෙහෙත් කුප්පිවලින් එකක් ගෙන පද්මසිරිට එන්නත් කෙළේය.

පසුදින පද්මසිරිගේ උණ ගතිය තරමක් අඩුව තිබුණි. එහෙත් පිටතට යාමට නායක හිමියෝ ඉඩ ලබා නොදුන්හ.

පද්මසිරිට එදින මහ කම්මැලි දිනයක් විය. පසුදින වන විට පද්මසිරිගේ උණ ගතිය හොඳටම බැස ගොස් තිබුණි. ඔහුට අමුතු ප්‍රබෝධයක්ද ඇති විය. පසුදින පද්මසිරිගේ පැවිදි පින්කමය.

පද්මසිරි කුස්සියට දුව ගොස් කෑමට විශේෂ යමක් ඇත්දැයි සොයා බැලුවේය. එක් එක් අය පින්කමේ විවිධ වැඩවල නිරතව සිටී. ඒ අතර චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් අඳීනු පද්මසිරිට පෙනුණි. මුළුතැන්ගෙයට ආසන්නව අඩි 5ක් 6ක් පමණ උසින් යුක්ත කළු පැහැති දැවැන්ත කබඩ් එකක් පද්මසිරි දුටුවේය. එහි දොර පලු දෙකක් වූ අතර පද්මසිරි එය විවෘත කෙළේය. කබඩ් එක තුළ තට්ටු 4ක් තිබුණු අතර සියලු තට්ටු පුරා පැරැණි කැටයම් සහිත විසිතුරු පිඟන් බඳුන්වලින් පිරී තිබුණි. ඒවා නාගදීපයේ කාලාන්තරයක් තිස්සේ තිබෙන පැරැණි පිඟන් බව බැලූ බැල්මට ම පෙනී ගියේ ය. දොර පලු දෙක වසා දැමූ පද්මසිරිගේ නෙත ගැටුණේ කබඩ් එක මත ඉහළින්ම තිබූ කැටයම් කළ රන්වන් පැහැති හක් ගෙඩියකි.

(මතු සම්බන්ධයි)

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]