[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අද දිනයේ අපේ වගකීම

අද දිනයේ අපේ වගකීම

" බුදු දහමේ ඉගැන්වීම් සමාජගත වී සියලු පුරවැසියන්ට සාමයෙන් ජීවත්වීමේ සමාජ පරිසරයක් ගොඩනැංවෙන බව පෙනේ. හැම දෙන ඉවසීමෙන් කොරෝනා වයිරසය සමග ජීවත්වීමට සිදුව ඇති මේ යුගයේ අපේ වගකීම තේරුම් ගෙන කටයුතු කළහොත් සෞභාග්‍ය සම්පන්න අනාගතයකට අප හැමදෙනාටම හිමිකම් කිවහැකි වනු ඇත."


ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට කොරෝනා (කෝවිඩ්-19) වයිරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මේ රෝගය ලෝකය පුරා ලක්ෂ පනහක පමණ ජනතාවට ආසාදනය වී ඇත. ආසාදිත රෝගීන් 325,000ක් පමණ මේ වන විට මිය ගොස් ඇත.

තවමත් ලෝකය පුරා රටවල රෝගය පැතිරෙමින් තිබේ. ඇතැම් රටවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. එබැවින් තව කොපමණ පිරිසකට රෝගය ආසාදිත වේද හෝ කොපමණ පිරිසකට ජීවිතය අහිමි වේද යන්න හෝ කිසිවකුට පුරෝකතනයක් කළ නොහැකිය.

මෙයට පෙර වසූරිය වසංගත රෝග තත්වයක් ලෝකය පුරා පැතිරිණි. 17-18 සියවස්වලදී යුරෝපය ඇතුළු රටවල් ගණනාවක විශාල පිරිසක් වසූරිය හේතුවෙන් මරණයට පත් වූ බව වාර්තා වේ. වසූරිය හේතුවෙන් 20 වන සියවස දක්වාම ජනතාව මිය ගියහ. වසූරිය ලෝකයෙන් තුරන් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන විට එම රෝගයෙන් මිලියන 3 ක පමණ ජනතාව මිය ගොස් තිබුණි. කොලරාව ද සියවස් ගණනාවක් මුළුල්ලේ මේ වන විටත් ලෝකයේ පවතින වසංගතයකි.ඉතිහාසයේ මාරාන්තිකම වසංගතය

මිනිස් ඉතිහාසයේ මාරාන්තිකම වසංගතය ලෙස වාර්තා වී ඇති ‘ස්පාඤ්ඤ උණ‘ වසංගතය 1920 දී ලොව පුරා මිලියන 500 ක ජනතාවට එනම් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ආසාදනය විය. මරණ සංඛ්‍යාව ඇතැම් තැනෙක මිලියන 17 සිට 50 අතර ප්‍රමාණයක් ලෙස වාර්තා වන අතර එය මිලියන 100ක් තරම් විශාල සංඛ්‍යාවක් වූ බව ද කියැවේ. වසංගතවලට දුප්පත්කමක් පොහොසත්කමක්, උගත්කමක් නූගත්කමක්, ආගමක්, ජාතියක්, පළාතක්, තත්වයක් ආදී කිසිවක් අදාළ නොවේ. කවර කෙනෙකු වුවද ආරක්‍ෂක ක්‍රම පිළිපැදිය යුතු වේ. සාම්ප්‍රදායික නීතිරීතිවලට එකඟ නොවේය කියා හෝ තම ප්‍රතිපත්තිවලට නොගැළපේය කියා හෝ මේ නොපිළිපැද සිටිය නොහැකිය.

බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දී ස්වාමීන් වහන්සේලාට පවා දේශනා කර ඇත්තේ තමන් ජීවත්වන දේශයේ රජය පනවනු ලබන නීතිරීතිවලට අනුවර්තනය වී ජීවත් වන ලෙසයි.

අවනත වීම

“අනුජානාමි භික්ඛවෙ රාජානං අනුවත්තිතුං”. කාලීනව සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලබන තීරණවලට සෑම පුද්ගල ඒකකයක්ම අවනත විය යුතු වෙයි. අනෙක් අයගේ ප්‍රතිචාර කවරේදැයි විමසීමට වඩා තමන්ගේ නිවැරදි ප්‍රතිචාරය දැක්විය යුතුය.

“අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ” යන පාඨයෙන් අවධාරණය කරන්නේ තමන් මුලින්ම මානව හිතවාදී චින්තනය ගොඩනඟා ගත යුතු බවයි.

බුදුදහමෙහි හඳුන්වා දී ඇති පංචශිල ප්‍රතිපත්තිය බුද්ධිමත්ව අධ්‍යයනය කිරීමෙන් සමාජයට ඉමහත් සේවාවක් තනි පුද්ගලයෙකුට කළ හැකිය. එහි නිශේධාත්මක අර්ථය මෙන්ම ධනාත්මක ප්‍රවේශය අවබෝධ කරගත යුතුය. ප්‍රාණඝාතයෙන් වැළකීම තුළින් ගොඩනැඟෙන මෛත්‍රියෙන් තමාට බාධා හිරිහැර හා සතුරන්ගෙන් තොරව සුවසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟෙනවාත් සමඟම සමාජයේ සෙසු පිරිසගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සහ එම අයිතියට ගරු කිරීමද සිදු වේ. කොරෝනා පැතිරෙන ක්‍රමවේද වැළකීමට ලබා දී ඇති උපදෙස් පිළිපැදීම යනු එක පැත්තකින් අනෙක් අයගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් බව තේරුම් ගත යුතුය. මේ දේ කළ හැකි වනුයේ පුද්ගල සංවරය තුළිනි. පුද්ගල සංවරය අද දිනයේ වඩාත් වැදගත් වේ. පුද්ගල සංවරය නැති තැන ඉවසීම ද පලා යයි. පුද්ගල සංවරය සහ ඉවසීම අන්‍යොන්‍ය වශයෙන් බැඳුණු ආධ්‍යාත්මික ගුණ ධර්මයෝ වෙති. මේ අප එම ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කළ යුතු වකවානුවකි. අද දිනයේ එය අපේ වගකීමක් බව කිවයුතු නොවේ.

සමාජ සංවරය

මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ද පුද්ගල සහ සමාජ සංවරය දියුණු කිරීමට යොදා ගත හැකි බෞද්ධ ඉගැන්වීමකි. අන්‍යොන්‍ය සුහදශීලිත්වය මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට මෛත්‍රිය හොඳ උපකරණයකි. කථා කරණ වචනයකින් කරණු ලබන ක්‍රියාවකින් තවත් කෙනෙකුගේ හදවත වේදනාවකට පත් නොකළ යුතුයි.

එයට මිත්‍රශීලිත්වය සමග කරුණාව තිබිය යුතු වේ. වෙනත් කෙනෙකුගේ පීඩාවක දී අපේ හදවතේ ගැස්මක් ඇති විය යුතුයි. ඒ ගැස්ම වන්නේ උදව් උපකාර කිරීමට ඉදිරිපත්වීමයි.

සමාජය තුළ ඇතිවන අසහනය, නොසතුට, අතෘප්තිකර බව ආදිය නැති කර ලීමට නම් පුද්ගල අවශ්‍යතා ඉටු කළ යුතු බව සමාජ මනෝ විදාඥයෝ පෙන්වා දෙති. ඇල්ෆ්‍රඩ්ඞ් මාර්ෂල් සමාජ මනෝ විද්‍යාඥයා පවසන ආකාරයට අසහනය නොසතුට සහ අතෘප්තිකර භාවය සමාජයෙන් ඉවත් කිරීමට නම් ඒ සමාජයේ පළමුව ආහාර පාන සුලභවීම ද දෙවනුව ආරක්‍ෂාව තහවුරුවීම ද සිදු විය යුතුය. බලාපොරොත්තු නොවන ව්‍යසනකාරී තත්වයන්හි දී මේ අවශ්‍යතා ඉටු කර ගැනීමට යම් පමණකින් අසමත් වෙයි.

එහි දී මුළු මහත් සමාජයම එම තත්ත්වය අවබෝධ කර ගනිමින් දරා ගැනීමට ශක්තිය ගොඩනඟා ගත යුතුය. ඒ සඳහා පාලක පක්‍ෂය සහාය විය යුතුවේ. එම නිසා රජු දසරාජ ධර්මවලින් සමන්විතව පාලනය කළයුතු බව බුදුදහමෙහි නිර්දේශ කර ඇත. පසුගිය කාලයේ ලිච්ඡවි පාලන ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන්නේ යයි ද, දසරාජ ධර්ම අනුගමනය කරන්නේ යයි ද හඬ ගා කීව ද එවැනි සමඟි සම්පන්න පාලන ක්‍රමයක් ආගම දහම ආරක්‍ෂා කෙරෙමින් රටේ අභිවෘද්ධියට පැවතියාදැයි යන්න විමසුම් ඇසින් බලන්නෙකුට තේරුම් ගත හැකිය.

සෘජු හා නිවැරැදි තීරණ ගන්නා නායකයෙක්

“දානං සීලං පරිච්චාගං
අජ්ජවං මජ්ජවං තපං
අක්කෝධෝ අවිහිංසා ච
ඛන්තී ච අවිරොධතා”

රාජ්‍ය නායකයාගේ දසරාජ ධර්ම අනුගමනය කොරෝනා වයිරසය පැතිරෙන මේ යුගයේ දී පැහැදිලිව දැක ගත හැකිය. ව්‍යසනයකට මුහුණ දුන් අවස්ථාවකදී තම ජනතාව ජීවත් කරවීම පිණිස ගත හැකි සෑම යහපත් මාර්ගයක්ම ගනිමින් අර්ථවත්ව ක්‍රියා කිරීම නායකයාගේ වගකීම වේ. තම පාක්‍ෂිකයාගේ පමණක් නොව තම රටේ මුළු මහත් ජනතාවම තමන්ගේ දරුවන්ය යන හැඟීමෙන් ක්‍රියා කළ යුතු වෙයි. ඒ යුතුකම ඉටු කෙරෙන යුගයක් අද අපට දැකගත හැකිය. රාජ්‍ය නායකයා තපස් ගුණයෙන් යුතුව සරල ජීවිතයක් අනුගමනය කරමින් ආදර්ශ සම්පන්නව ජීවත්වීම ද දැකිය හැකිය. තම බලය අහිමිවේය යන බියකින් සෘජු තීරණ නොගැනීම එකල සිදු විය. නමුත් මෙකල සෘජුව හිඳගෙන නිවැරදි තීරණ ක්‍රියාත්මක කරනු පෙනේ.

දශක ගණනාවක් මුළුල්ලේ ජාතික උරුමයන් වශයෙන් පැවැති පෞරාණික සිද්ධස්ථාන සතුරු හස්තයන්ට ග්‍රහණය වෙද්දී නොඇසුණා කන් ඇතිව සිටි යුගය අවසන් වෙමින් පවතී. හොඳම උදාහරණය පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටි භූමිය ක්‍රමයෙන් සිදු වූ සංවෘතයට තිත තබා ආරක්‍ෂා කිරීමට වත්මන් නායකත්වය සෘජු තීරණයක් ගැනීම නිසාය. එය පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂාව පිළිබඳ ලැදියාව අති හැමදෙන ගේම අමන්දානන්දයට හේතු වෙයි. මෙවැනි නායකත්වයකට සහයෝගය දැක්වීම ද අද අපගේ වගකීමක් වෙයි.

බුදුදහමේ ඉගැන්වීම් සමාජගත වී සියලු පුරවැසියන්ට සාමයෙන් ජීවත්වීමේ සමාජ පරිසරයක් ගොඩනැංවෙන බව පෙනේ. හැම දෙන ඉවසීමෙන් කොරෝනා වයිරසය සමග ජීවත්වීමට සිදුව ඇති මේ යුගයේ අපේ වගකීම තේරුම් ගෙන කටයුතු කළහොත් සෞභාග්‍ය සම්පන්න අනාගතයකට අප හැමදෙනාටම හිමිකම් කිවහැකි වනු ඇත.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]