[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු සිරිතයි පරිසරයයි

බුදු සිරිතයි පරිසරයයි

දෙව්දහ නුවර ලුම්බිණි නම් වූ සල් උයනේ, ඉතාමත් රමණීය පරිසරයක දී මහා මායා මව්තුමියගේ කුසින් සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවීම, මතු බුදු පදවියට පත්වෙන උතුමාණන් මොන තරම් නම් පරිසරයේ ම කොටසක් ද යන්න පැහැදිලි ය.

ඉන් අනතුරුව සිද්ධාර්ථ චරිතය දෙස බැලීමේ දී, සිදුහත් කුමරුට මාස තුනක් ගතවන නිමේෂයේ සුදොවුන් පිය මහ රජතුමාණෝ ඉතාම ඉහළින් පවත්වන්නට යෙදුණු රාජ්‍ය උත්සවය සුවිශේෂී ය.

සිදුහත් පුතු නින්දේ පසු වන්නේ යැයි සිතූ කිරි මව්වරු වප් මඟුල දෙස මොහොතකට නෙත් යොමු කළහ. ඒ ඇසිල්ලේම වෘක්ෂය මුදුණේ පළක් බැඳගෙන බවුන් වඩන පුංචි දරුවා දුටුවහ. බෝසතාණන් වහන්සේ ඉතා කුඩා වයසේ වුව ද, පරිසරයත් සමඟ පෙර බවවලදී තිබුණු ශක්තිය මතු කරගනිමින් ආනාපානසතිය වැනි භාවනාවක් වැඩීමට තරම් ශක්තිමත් වූහ.

සිද්ධාර්ථ කුමාරයාණන් අධ්‍යාපනය ලබන සමයේ, සර්ව මිත්‍ර බමුණානන් මේ දරුවා හදන්නේ පරිසරයත් සමඟ ය. එතුමාණෝ, කුමරුට පරිසරයේ ඉගෙනුම් න්‍යායන් ලබා දුන්හ. මෙහිදී සිදුහත් චරිතයේ් අපූර්ව කතාවක් සිහිපත් වේ. දෙව්දත් කුමරු දුනු ඊතල මානා විද බිම දැමූ හංසයා සුවපත් කර ගැනීමට සිදුහත් කුමරු සමත් විය. දෙව්දත් කුමරු හංසයාගේ අයිතිය ඉල්ලා කලබල කරන මොහොතේ කුමරු පැවසුවේ ‘මේ සතා මියගියා නම් අයිතිය ඔබටයි. ඒත් දැන් මේ සතා ජීවත් වෙනවා. ජීවත් කළේ මමයි. එනිසා මේ සතා අයිති මටයි.’ යනුවෙන් ය. මෙසේ සොබා දහමේ තිබෙන ගහකොළ සමඟ සතා සිවුපාවා සමඟ සිදුහත් කුමරු අපූර්ව බැඳීමක් ඇති කර ගත්තේ ය.

එමෙන් ම එකල අධ්‍යාපන ක්‍රමවේදයේ තිබුණු උපනිෂද් සහ වේදාංගවලින් ජල ගෝලය, වායුගෝලය මෙන්ම පෘථිවිය තුළ තිබෙන්නා වූ සියලු අංශ පිළිබඳව මනා අවබෝධයක් ලැබුණි. එමගින් පරිසරය සමඟ, ජීවත් වීමට මහා පිටුබලයක් ලැබුණි. විශේෂයෙන් උපනිෂද්තුළ මේ ස්වභාවය ධර්මයේ තිබෙන්නා වූ කරුණු පිළිබඳ ව ඉගැන්වීම සිදු කෙරේ. සෘග්, යුජර්, සාමන්, අතර්වන් වැනි වේදයන් ද ස්වභාව ධර්මය මුල් කරගත් ඉගැන්වීම් ය.

සුද්ධෝධන මහ රජතුමා හැම මොහොතකම උත්සාහ කළේ සිදුහත් කුමරු මාලිග තුනකට සීමා කර කාමභෝගී ජීවිතයකට යොමු කරවීමට ය. එහෙත් සිදුහත් කුමරු සෑම මොහොතකම උත්සාහ කළේ පරිසරයත් සමඟ ජීවත් වීමට ය. මහල්ලෙක්, ලෙඩෙක්, මල මිණියක්, පැවිදි රුවක් යන සතර පෙර නිමිති පිළිබඳ ව ඡන්නගෙන් අසා අවබෝධයක් ලබා ගන්නේ ඒ අනුව ය. පරිසරයේ වෙනස්වීම් පිළිබඳ, මිනිසුන්ගේ වෙනස්වීම් පිළිබඳ එතුමාණෝ අධ්‍යයනය කළහ. තමන්ගේ රජ මාලිගයෙන් එපිට ඉඳුල් ආහාර ටික අහුලාගෙන ආහාරයට ගන්නා මිනිසුන් දෙස එතුමාණෝ ඉතා හොඳින් බලා සිටියහ. ‘ඇයි මෙසේ වෙනසක්’ එතුමා කල්පනා කළේ ය. පිරිසකට ඉතා රසමසවුළු ආහාරයට තිබේ. පිරිසක් ඉඳුල් අහරින් කුස පුරවා ගනිති.

එතුමා මේ ගැන අධ්‍යයනය කළේ ය. කුමරු අභිනිෂ්ක්‍රමණයට යොමු වන්නේ මේ පරිසර සාධකත් සමඟිනි.

එදා ගිහි ගෙයින් නික්මුණු බෝසතාණෝ දුෂ්කර ගිරි නම් වූ පර්වතය වෙත ගමන් කොට පරිසරයේ තිබෙන විවිධ සාධක අධ්‍යයනය කළහ. හොල්මන් තිබෙනවා යැයි කී තැන්වලට උන්වහන්සේ ගමන් කළහ. ඒ හොල්මන් නොවන බවත්, ගසක සෙළවීමක්, සිව්පාවෙකුගේ ක්‍රියාවලියක් බව එතුමාණෝ දුටුවහ. ගංගාවේ ගීතය, පිරිත් ස්වරයක් බඳු ගහ කොළ සෙළවෙන ශබ්දය, පරිසරයේ නාද පිළිබඳව උන් වහන්සේ අසා සිටියහ. අධ්‍යයනය කළහ. වැඩ සිටි ගහ මුල සමීපයට වැටෙන ආහාරයෙන් පමණක් යැපෙමින් ආශ්වාසය, ප්‍රශ්වාසය පිළිබඳව විශාල පර්යේෂණයක් කළහ. පවත්තඵලභෝජී චර්යාව ලෙස අපි එය හඳුන්වමු.

ඒ ලෙස උන්වහන්සේ විශාල කැප කිරීම් කළහ. ඇතැම් අවස්ථාවල වස වර්ති මාරයා සුදොවුන් රජතුමා ඉදිරියේ පෙනී සිටිමින් පැවසුවේ සිදුහත් රජු මරණයට පත් වූ බවත්, භූමදාන කටයුතු කරන ලෙසත් ය. රජතුමා කිසිදු සැකයකින් තොරව පැවසුවේ ‘මගේ පුතා බුදු වී මිස කිසි දිනෙක වීර්ය අත් නොහරින්නේ ය. ඔබ බිය නොවන්න’ යනුවෙනි.

පරිසරයත් සමඟ ම ජීවත් වුණු බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව පරිසරයෙන් ම ඉගෙනුම ලැබූහ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ගාංග දෙක උන්වහන්සේ සොයාගත්හ. ඒ වන විට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හයක් තිබුණි. සීල කොටස හා සමාධි කොටස ය. සීලයට අයිති සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග ත්‍රිත්වය ම තිබුණි. ‘පස්වග මහණුන් තරම් සිල්වත් වෙන කිසිවෙක් නොවේ.’ යැයි බුදුරජාණන් වහන්සේ ම දේශනා කළහ. ඒ වගේ ම අසිත, කාලදේවල, ආලාර කාලාම, උද්ධකරාමපුත්‍ර වැනි අය සප්ත සමාපත්ති, අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටියහ.

ඒ නිසා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුනම තිබුණි. උන් වහන්සේ සොයා ගත්තේ ප්‍රඥා කොටස ය. ඒ සඳහා උන්වහන්සේට පිහිට වූයේ පරිසරයයි. පරිසරයෙන් කරන ලද අධ්‍යයනයෙනුයි උන්වහන්සේ විසින් විශ්ව ශක්තියට යොමු වී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනු ලැබුවේ.

ඊළඟට සිදුහත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ ද බෝධීන් වහන්සේගේ සෙවණේ ය. පරිසරයත් සමඟ තිබුණු බැඳීම මොන තරම් ද යන්නට මෙය ඉතාම වටිනා කරුණකි. මහරහත් පදවියට පත්වීමට, පච්චේක බුද්ධත්වයට වෘක්ෂයක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් කිසිදු බෝධි සත්ත්වයන් වහන්සේ නමකට වෘක්ෂයක් නොමැතිව ලොව්තුරා බුදු පදවිය ලද නොහැකි ය.

බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය ලැබ පන්සාළිස් වසක් මුළුල්ලේ සැවැත් නුවර මුල් කොට ගනිමින් වැඩ වාසය කළහ. ඒ සෑම මොහොතක ම උන්වහන්සේ විවේක ගත්තේ වන ලැහැබ් අසබඩ ය. පක්ෂීන් හා සිව්පා සතුන් සමඟ ය. විශේෂයෙන් මිනිසුන් අතර ගැටුම් ඇති වූ මොහොතක, තමන්ගේ භික්ෂු පූජාව තුළ ගැටුම් ඇති වූ මොහොතක උන්වහන්සේ වනයට යොමු වූහ. ඝෝෂිතාරාමයේ, විනයධර හා ධර්මධර භික්ෂූන් වහන්සේ අතර ඇති වූ මත භේදකාරී අවස්ථාවේ උන්වහන්සේ පාරිල්‍යෙය වනයට වැඩම කොට පාරිලෙය්‍ය වඳුරාගෙන් සත්කාර ලබමින් පරිසරයත් සමඟ ජීවත් වූ හ.

එ පමණක් නොවේ උන්වහන්සේ ධර්ම දේශනාවන් හි දී ගත් නිදර්ශන හැම විටෙක දී ම පරිසර සාධක ලෙස පෙන්වා දීමට පුළුවන. සිද්ධිවාචක ආනුරෝප්‍යතාවය යැයි අපි ඊට කියමු. එයින් අදහස් කරන්නේ තිබෙන දෙයක්ම, පවතින දෙයක්ම නිදසුන් කොට ගත් බව ය. අහසේ තිබෙන මල්, හාවුන්ගේ අං, ඉබ්බන්ගේ පිහාටු වැනි නිදසුන් කිසිවක් උන්වහන්සේ පාවිච්චි කළේ නැත. උදාහරණ ලෙස මිනිසෙකුගේ විඤ්ඤාණය නිරුද්ධ වී ගිය පසු, ආයු, උෂ්මාච ශක්තීන් දෙක නැති වී ගිය පසු මේ ශරීරය දර කඳක් සේ යැයි බොහෝ දෙනා විස්තර කරති. එහෙත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ‘කලිංඝරං’ යනුවෙනි. මිනියක් ආදාහනය කොට ඉතිරිවන අඟුරු කොටයක් හා සමානයි යනුවෙනි. ආදාහනයකට දර කොටයක් ගත් කල, එහි පිළිස්සී ඉතිරිවන කොටසක් තිබේ. එය කිසිවෙක් ලිපෙහි දැමීමට ගෙන යන්නේ නැත. ඒ අනුව මිය ගිය පසු මේ ශරීරය කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයකට පත්වන බවට නිදසුන් දැක්වූයේ එලෙසිනි. මේ ලෙස බුදුරජාණන් වහන්සේ සොබා දහමෙන් ගත් නිදසුනකට වඩා මේ දෙය නිදසුන් කොට ගත්තා නම් සුදුසුයි කියන්නට කිසිවෙකුටත් නොහැකි ය. එවැන්නෙක් අද වනතුරුත් පහළ වී නොමැත.

උන්වහන්සේ මුළු සංඝ සමාජය ම මහා සාගරයට සමාන කළහ. මේ පරිසරයේ පවතින දිය බුබුළ, මිරිඟුව වැනි දේ ජීවිතයට සමාන කර දැක්වූහ. අද ලෝකය විද්‍යාත්මක දැනුමෙන් ඉතාම ඉහළට ගොස් ඇත. දියුණුවක් ලබා ඇත. එහෙත් කිසිවෙකුටත්, ජීවිතය නම් තණ අග රැඳි පිනි බිඳුවක් වැනි නොවේ යැයි කිව නොහැකි ය. එය වර්තමානයේ කොරෝනා වයිරසය ඉදිරියේ ලෝකයටම ප්‍රත්‍යක්ෂ වී තිබේ. එපමණක් නොවේ. උන්වහන්සේ තම ශ්‍රාවකයින් වහන්සේ භාවනාවට යොමු කරන සෑම විටෙකම වන ලැහැබ භාවනා මධ්‍යස්ථානයට උචිත තැන බවට පත් කළහ.. ගිරි ගුහා, ලෙන්, ගස් බෙන, සුසාන භූමි වැනි තැන් නිර්දේශ කළහ. සුනාපරන්ත දේශයට යන පුණ්ණ හාමුදුරුවන් අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එය දරුණු මිනිසුන් සිටින භයානක තැනක් වන බව ය. එහෙත් පුණ්ණ හාමුදුරුවෝ එහි යෑමට අවසර ඉල්ලූහ. ඒ මනුෂ්‍ය ප්‍රජාව ද මේ සොබා දහමේ ම කොටසකි. ඒ අය ජය ගන්නා සැටි බුදුරජාණන් වහන්සේ ඉගැන්වූහ. ආලවක දමනය, නාලාගිරි දමනය, අංගුලිමාල දමනය, චිංචිමානවිකාව වැනි අයගේ සිදුවීම්වලට මුහුණදුන් ආකාරය, කරරෝම - රුචිරෝම දමනය, ශ්‍රී ලංකාවට වැඩම කොට මහියංගනයේ හා නාගදීපයේ ඇති වූ තත්ත්වයන් සමනය කළ ආකාරය අපට විශාල පාඩමක් උගන්වයි. ඒ සොබා දහමත් සමඟ ජීවත් විය යුතු වන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

උන්වහන්සේ නදී ග්‍රාම, භෝජ ග්‍රාම ආදී ගම්මාන පසු කරගෙන පැමිණ ඒ තැන් පිළිබඳව ඉතා රමණීය වර්ණනාවන් කළහ. අවසානයේ දී මල්ලව රජ දරුවන්ගේ උපවත්ත සල් උයනේ මහා පරිනිර්වාණයට පත් වූහ. උන්වහන්සේ තම ශ්‍රාවක ජනතාව සොබා දහමේ කොටසක් බවට පත් කළහ.

මිනිසුන්ට සොබා දහමට ආදරය කරන්නට ඉගැන්වූහ. පරිසරයට විරුද්ධ වන සෑම මොහොතකම සොබා දහම ද මිනිසාට විරුද්ධ වන බව පැහැදිලි කළහ. භයානක ප්‍රතිඵල ලැබෙන බව දේශනා කළහ. රතන සූත්‍රය, බොජ්ඣංග සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් හඳුන්වා දෙමින් පැමිණෙන රෝගාබාධයන්ට ස්වභාව ධර්මයෙන් ම විසඳුම් ලබා ගන්නා ආකාරය, ආදරය, මෛත්‍රීය, කරුණාව තුළින් විසඳුම් ලබා ගන්නා ආකාරය කියා දුන්හ. අවසානයේ සොබා ධර්මයෙන් ම මිදුණ තැන නිර්වාණය තිබෙන බව දේශනා කොට වදාළහ.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk